සාහිත්‍ය වෙනුවෙන් විද්‍යුත් මාධ්‍යයෙන් ඉඩක් ඉල්ලමුද?

ලංකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි ඇතුළු විද්‍යුත් මාධ්‍ය වල අරමුණු සහ න්‍යාය පත්‍රයන් සම්බන්ධයෙන් කථා කිරීම තරම් පිලිකුල් සහගත මාතෘකාවක් තවත් නැති තරම්ය. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශයන් දෙකේම මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ සාමාන්‍ය පුරවැසියෙකුට කිනම් තත්වයක් යටතේ වත් තෘප්තිමත් විය නොහැක.

ආරම්භයේ පටන් රාජ්‍ය මාධ්‍ය පවතින රජයේ නිල හොරනෑ වශයෙන් කොන්දේසි විරහිතව කටයුතු කල බව අවිවාදිතය. වැඩ සටහන් නිෂ්පාදනය කිරීම ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම පමණක් නොව ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි විකාශය කිරීම දක්වාම මේ දේශපාලන වන්දි භට්ට භාවිතාව රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයේ අනන්‍යතාවයම විය. ප්‍රේමකීර්ති අල්විස් වැනි සුන්දර මිනිසුන් තම නිර්මාණශීලි භාවිතාවන් ගුවන් විදුලිය සහ රූපවහිනිය වැනි මාධ්‍යයන්ගෙන් සමාජය වෙත මුදාහැරියද සමස්තයක් වශයෙන් මේ ආයතනවල නිර්ලජිත ආණ්ඩු ගැති මාධ්‍ය භාවිතාව වෙනස් කිරීමට ඒ කිසිවෙකුට කල හැකි යමක් නොවීය.

අනූව දශකයේ මුල් භාගයේ මහාරාජා ආයතනය ආරම්භ කල පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව සමග අපේ රටේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධ කථිකාව ආරම්භ විය. ආරම්හයේ ජනප්‍රිය සංස්කෘතිය තුල වෙළද අරමුණු මුල් කර ගනිමින් ගුවන් විදුලියේ වැඩ සටහන් සන්දර්භය ජනප්‍රියවාදී සහ නව මානයකට රැගෙන යාමට මේ ගුවන් විදුලි නාලිකාව කටයුතු කල බව කිව හැක. මහාරාජා ව්‍යාපාරය මූලික කරගෙන ක්‍රමයෙන් රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි  නාලිකා කිහිපයකින් සමන්විත මාධ්‍ය ජාලයක් ගොඩ නැගුනු බව අපි දනිමු.  ක්‍රමයෙන් රටේ ජනප්‍රිය සංස්කෘතියේ මතවාදීමය ආධිපත්‍යය මේ මාධ්‍ය ජාලය අත්පත් කර ගත්තේය. එමෙන්ම දේශපාලන චරිත බිහි කිරීම, ආණ්ඩු මාරු කිරීම, දේශපාලන පක්ෂ විවේචනය කිරීම ආදී වශයෙන් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේද ඊනියා බලවේගයක් බවට මේ මාධ්‍ය ජාලය පත්විය.

ඉන්පසුව රෙනෝ සිල්වා, දිලිත් ජයවීර වැනි ලුම්පත් වෙලෙන්දන් මේ කර්මාන්තයට කඩා වැදීමෙන් පසුව මේ එකිනෙකා අතර තමන්ගේ රේටින් ඉහල නන්වා ගැනීමේ සහ වඩා ප්‍රබල ජනමාධ්‍ය චන්ඩියාවීමේ දැවැන්ත සටනක් ඇති වූ බව අපි හොදින්ම දනිමු. මේ ආකාරයට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ මාතෘකාව කථාකර නිමා කල නොහැකි තරමේ සිදුවීම් බහුල මාතෘකාවකි. ඒ එක් එක් කරුණු සම්බන්ධයෙන් දීර්ඝ  වශයෙන් කථා කිරීමේ තේරුමක්ද නැත. මේ බොහෝ කරුණු පිලිබදව පුරවැසි සමාජයක් වශයෙන් අපි හොද අවබෝධයකින් සිටිමු. පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය නොසලකා හැරියත්, ප්‍රධාන පුද්ගලික නාලිකා දෙකක් ජනාධිපතිවරණය ආශ්‍රිත ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් නිර්ලජ්ජිතව කටයුතු කරනු ලැබූ ආකාරය සාක්ෂි දරන්නේ මේ මොහොතේ ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පිරිහී ඇති තරමේ ප්‍රමාණයයි.

පසුගිය කාලයේ සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ කලාකරුවන් එක්ව කලුමාධ්‍ය අධිරාජ්‍ය වශයෙන් ඊනියා ජනමාධ්‍ය වලට විරුද්ධව ව්‍යාපාරයක් ක්‍රියාත්මක කලා මාතකය. ඒ අවස්ථාවේදී පවා අවම වශයෙන් හෝ තමුන්ගේ භාවිතාවන් සම්බන්ධයෙන් කණගාටු වනවා වෙනුවට බොහෝමයක් නාලිකා හැසිරුනේ පාතාලේ චන්ඩීන් ලෙස බව අපට මතකය.

ඉදින් මෙවැනි ඛේදජනක විද්‍යුත් මාධ්‍ය සන්ස්කෘතියක් හිමි රටක එම මාධ්‍ය වල භාවිතාව හෝ වැඩ සටහන් වලින් ගුණාත්මක වටිනාකමක් හෝ වෙනත් එවැනි යමක් බලාපොරොත්තු වෙනවා නම් එය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමට වඩා වැඩියමක් නොවේ.

නමුත් ඉබ්බන්ගෙන් වුවත් පිහාටු ඉල්ලීමට මේ මොහොතේ සිදුවී තිබේ. කොරෝනා ඇදිරිනීතියට හිරවූ රටවැසියා අකමැත්තෙන් වුවත් තමන්ගේ දවසේ කාලයෙන් සැලැකිය යුතු කාලයක් මේ ඊනියා මාධ්‍ය වලට ලබා දී තිබේ. මෙතෙක් මේ නාලිකා විකාශය කරමින් තිබුන මෙගා නාට්‍ය ඇදිරිනීතිය නිසා රූ ගත කිරීම නවතා තිබේ. බොහෝ දුරට ඒ ගුවන් කාලය චිත්‍රපටි සහ කාටුන් ප්‍රදර්ශනයට වෙන්කර ඇත. එමෙන්ම  සෑම දිනකම ගුවන් කාලයෙන් වැදගත් වෙලාවක් ජ්‍යෝතිෂකාරයින්, කට්ටඩින් වැනි හොර තක්කඩියන්ට වෙන් කිරීමටත් මේ මාධ්‍ය මහත්වරු පැකිලෙන්නෙ නැත.

 ඉදින් මේ ව්‍යවසනයක් මොහොතේ වත්, ජනතාව වැඩියෙන් විද්‍යුත් මාධ්‍ය භාවිතාවට පෙලබීම සහ මෙගා නාට්‍ය ප්‍රදර්ශනය නොකිරීම නිසා වැඩිපුර ලැබී තිබෙන ගුවන් කාලයෙන් ඉතා සුළු කාලයක්වත් සාහිත්‍ය වැනි සමාජයක සංස්කෘතික ජීවිතය පුළුල් කරන ක්ෂේත්‍රයකට ලබාදීමට කටයුතු කරන මෙන්  මේ මාධ්‍ය වලින් අපිට ඉල්ලා සිටිය නොහැකිද? එමෙන්ම එවැනි උසස් රස වින්දනයක් වෙනුවෙන් තම ගුවන් කාලයෙන් සුළු ප්‍රමාණයක් වත් ලබා දීමට තරම් මේ මාධ්‍යවල මුල් පුටු හොබවන මහත්වරු කල්පනා කරොත් තමන්ගේ මාධ්‍යයන් වල තැවරී තිබෙන මඩ පැල්ලම් එකක් දෙකක් වත් සෝදා ගැනීමටද හැකි වනු ඇත. සැබැවින්ම මෙය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමකි. වෙන කලහැක්කක් නොමැති නිසා අපි ඉබ්බන්ගෙනුත් පිහාටු ඉල්ලමු.

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *