කොරෝනා වලින් පසු ලෝකය

මිනිස් ශිෂ්ටාචාරය හදිසි තැති ගැන්මකින් සලිතව මාස දෙකක පමණ කාලයක් ගෙවා දමා ක්‍රමක්ක්‍රමයෙන් නැවතත් සුපුරුදු ජීවිතයට පියමන් කරමින් සිටින බව පෙනේ. කොරෝනා භීතිකාව තවමත් සහමුලින් පහවී ගොස් නැතත්, භීතියෙන් සලිත වූ උච්චතම නිමේෂය ගෙවා දමා තිබේ. තව මසකින් පමණ සියල්ල යථා තත්වයට පත් වෙනු ඇත.

කොරෝනා ජයගත්  මිනිස් ශිෂ්ටාචාරය නැවත හැල්මේ දිවීම අරඹනු ඇත. නමුත් කොරෝනා කාලයෙන් පසු ලෝකය නැවත පරණ තිබුණ ලෝකයම නොවන බව පිළිගත යුතුය. මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසයේ අවස්ථා ගණනාවක්ම මේ ආකාරයෙන් ශිෂ්ටාචාරයේ ජීවිතය අලුතින් ඇරඹූ අවස්ථාවන් තිබේ. පළමු සහ දෙවන ලෝක යුද්ධ ඒ සදහා තිබෙන හොදම උදාහරණ වේ.

කෙසේ වෙතත් ඒ ඉතිහාසයේ සිදුවීම් වලට වඩා මේ මොහොතේ යම් යම් විශේෂ හේතු කිහිපයක් හදුනාගත හැක. ලෝක යුද්ධ වැනි සිදුවීම් හිටිගමන් ආකෂ්මිකව සිදුවූ සිදුවීම් නොවේ. යම් කාලයක් ගත වූ දේශපාලන ක්‍රියාවලියකින් පසුව එහි උච්චතම මොහොතේදී ලෝක යුද්ධ ඇතිවිය. කොලරාව, මැලේරියාව, වැනි මෙවැනිම වසංගතයන් මිනිසාට දැවැන්ත බලපෑමක් කරනු ලැබූ ඉතිහාසයේ, වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු මට්ටමක පැවති බව මිනිස් වර්ගයා විශ්වාස කලේ නැත. එනම් වසංගත තත්ත්වයන්ගෙන් මිනිස් සමාජයේ පැවැත්මකට බලපෑම් විය හැකි බව මිනිසා දැනගෙන සිටියේය. එනම් එම වසංගතයන් යම් ආකාරයකට මිනිසා අපේක්ෂා කල ව්‍යවසනයන් විය.

නමුත් හිටි ගමන් කඩාපහත් වූ කොරෝනා ඇබැද්දිය කුමක්ද? අපි විද්‍යා ප්‍රබන්ධ වලින් මෙවැනි සිදුවීම් ඕනෑ තරම් දැක තිබුණි. මීට දශකයකට පමණ පෙර “ලොක් ඩවුන්” සංකල්පය තේමා කරගත් චිත්‍ර පටියක්ද තිරගත වූවා මතකය. එක්කෝ පිටසක්වල ජීවී වර්ගයක් සමග නැතහොත් මිනිසා විසින්ම ගොඩ නැගූ රොබෝ මිනිසුන් සමග පෘතුවියේ මිනිසුන් යුධ වදින යොමු දැහැගැන්වෙන ජවනිකා රසවිදිමින් චිත්‍ර පටිවල මේ ත්‍රාසය අපි සෞන්දර්‍යක් ලෙස අත් වින්දෙමු.

ඒ සිහින ලෝකයේ ත්‍රාසයේ සෞන්දර්‍යය කොරෝනා විසින් පියවි ලෝකය තුල අපිට අභිමුඛ කලේය. මෙය රසායනාගාරයක් තුල නිපදවනු ලැබූ ජෛව රසායන ආයුධයක් ආදී විවිධ කථා අසන්නට ලැබුනත් දියුණු යැයි විශ්වාස කල මේ යුගයේ මෙවනි උභතෝකෝටියක් සෞඛ්‍යමය වශයෙන් මානවයාට අභිමුඛ වේ යැයි සාමන්‍ය පොදු ලෝක සමාජය නොසිතූ බව පිළිගත යුතු සත්‍යකි.

කෙසේ වෙතත් ඒ අනපේක්ෂිත ත්‍රාසයේ නිමේෂය කොරෝනා විසින් අපෙ ජීවිත වලට පැමිණි බව දැන් යථාර්ථයයි. ක්‍රමයෙන් මිනිසා මර භියෙන් අත්මිදෙමින් සිටියි උදාවුන පශ්චාත් කොරෝනා මොහොත කිනම් ආකාරයේ එකක්ද? වැදගත්ම කරුණ වන්නේ එයයි.

පශ්චාත් කොරෝනා යුගයේදී ඉතිහාසයේ මීට පෙරත් සිදු වූ ආකාරයට ක්‍රමක් ක්‍රමයෙන් මිනිසා මෙතෙක් කරගෙන පැමිණි වැඩ ලෝකයට ක්‍රමයෙන් ගමන් කරන බව අපි දනිමු.

නමුත් ඒ අළුත් ලෝකයේ මිනිස් සමාජයක් වශයෙන් මෙන්ම රටක් වශයෙන්ද අළුත් අභියෝග අප ඉදිරියේ ගොඩ නැගී තිබෙන බව සමාජයක් වශයෙන් අපි ආබෝධ කරගෙන සිටිමුද?

එළබෙන්නට නියමිත ආර්ථික අර්බුදයට මුහුණ දීමට රටක් වශයෙනුත් පොදු මිනිස් ප්‍රජාවක් වශයෙනුත් අපි සූදානම්ද? මේ ආර්ථික යුද්ධය ජයගැනීම උදෙසා සාමුහික ප්‍රයත්නයක් දැරීමේ සහ කැප කිරීම් කිරීමේ විනය සහ දැක්ම ගොඩ නගා ගැනීමට අපි සමත් වෙමුද?

එමෙන්ම බිද වැටුණු සමහර කර්මාන්තයන් නැවත මුල සිටම නව ජවයකින් ඇරඹිය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන් සංචාරක කර්මාන්තය උදෙසා නව ප්‍රවේශයක අවශ්‍යතාවය අනිවාර්ය වේ. ලෝක ආර්ථිකය තුල කර්මාන්තයක් වශයෙන් සංචාරක කර්මාන්තය හිමිකරග්‍රන තිබූ අද්විතීය ස්ථානය රැක ගැනීමට නම් පශ්චාත් කොරෝනා නිමේෂයේ, සංචාරක කමාන්තයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ඉදිරියේ නිර්මාණශීලී දැක්මක් සහ වැඩ පිළිවෙලක් සොයා ගැනීමේ අභියෝගය තිබේ.

මේ අර්බුදයේ බලපෑම ආර්ථික ක්ෂේත්‍රයට පමණක් කිසිසේත්ම ලඝු කල නොහැක. සමාජ දේශපාලන සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයකම කොරෝනා අර්බුදය විසින් සිදුකල ඉරිතැලීම් මකා ගැනීමේ අභියෝගය ලෝකය ඉදිරියේ පවති.

ඇමරිකාවේ සහ චීනයේ රාජතාන්ත්‍රිකයින් අතර කොරෝනා අර්බුදය ආශ්‍රිතව ඇති වූ ආඩපාලි කියා ගැනීම් සහ බැන අඩගසා ගැනීම් වලින් පෙන්නුම් කරන්නේ මේ මගින් ලෝක දේශපාලනයේ සිදුකර තිබෙන ආතතියේ ප්‍රමාණයයි. 

මේ සියල්ල මෙසේ වුවත් ලෝකය ඉබේම අළුතින් සිතන්නට හෝ අළුත් භාවිතාවක් කරා ගමන් කිරීමට කටයුතු කරනු ඇතැයි සිතුව හොත් එය සැබැවින්ම දවල් සිහිනයක් පමණ කිසිසේත්ම මේ ධනේශ්වර ක්‍රමයේ ව්‍යහාත්මක වෙනසක් සිදුකිරීමට මේ ධනේශ්වර ලෝකය සූදානම් නැත. ප්‍රථමයෙන් පිළිගත යුතු යථාර්ථය එයයි.

කොරෝනා මොහොත යනු පැවති පවතින ලෝක යථාර්ථය වී තිබෙන විකුණන සහ විකිණෙන ධනේශ්වර ආර්ථික සමාජ දේශපාලන ක්‍රමය එක් නිමේශයකට ගල් ගැස්ස වූ තැති ගැන්මකට ලක්කල මොහොතක් පමණි. කොරෝනා වලින් පසුව මේ දැවැන්ත එන්ජිම තම සුපුරුදු දැති රෝද සමග නැවත පරණ පුරුදු ආකාරයටම ක්‍රියාත්මක වීමට අවස්ථාව ලැබෙන තුරු පුල පුලා බලා සිටින බව යථාර්ථයයි. නමුත් කොරෝනා විසින් මේ පවතින ක්‍රමයට විකල්පයක් පිළිබදව සිහින දුටු ඉතා සුළුතරයක් වූ ලෝකයේ මිනිසුන්ට සහ ගැහැණුන්ට ස්වකීය සිහිනය නැතහොත් ආශාව වෙනුවෙන් වැඩ කිරීමට යම් උත්තේජනයක් ලබාදී තිබේ.  

කොරෝනා නිමේෂය විසින් උදා කරනු ලැබූ බිහිසුනු මනෝභාවය තුලින් ඉදිරියේදී මිනිසුන් ගොඩ නගන ක්‍රියාකාරිත්වයන් විසින් පශ්චාත් කොරෝනා යුගය තීරනය වනු ඇත.

අප දන්නා සාමන්‍ය ඉතිහාසයට අනුව ලෝකය 1917න් පසුව මුහුණ දුන් බරපතලම අභියෝගයට මුහුන දෙන නිමේෂය මෙයයි. රටක් වශයෙන් අපි 1948 නිදහස ලබා ගැනීමෙන් පසුව සිවිල් අරගල යුද්ධය ලේ ගැලීම් වලට දශක ගණනාවක් මුහුණ දී ඇතත් මේ තරම් දීර්ඝ කාලයක් අදිරිනීතියේ රස බැලුවේ මේ කාලයේ දීය. එයින්ම කියා පාන්නේ ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් කොරෝනා අර්බුදයේ බලපෑමේ ප්‍රමාණයයි.

ඉදින් මෙය අවිවාදිතවම ඉතිහාසයේ හමු වූ දැවැන්තම අර්බුදයේ නිමේෂයකි. ශිෂ්ටාචාරය අර්බුදයත් සමග තවමත් පොර බදිමින් සිටියි. අර්බුදයෙන් පසු යුගය අළුත් යුගයකි. එම අලුත් යුගයත් පරණ පාරේම දැක්කවීමට මේ සමාජ දේශපාලන ක්‍රමය බලා සිටියි. අළුත් නිමේෂයේ අළුත් ඇරඹුමක් වෙනුවෙන් අලුත් මිනිසුන්ට මාවතක් විවර වී තිබේ. කොරෝනා අදුරු වලාවේ රිදී රේඛාව එයයි.

                                                                   සුදේශ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *