එන්. ජී. ඕ. යක්ෂයෙක්ද?

එන්.ජී.ඕ නැතහොත් රාජ්‍ය නොවන සංවිධාන පසු ගිය දශක දෙකක පමණ ඉතිහාසයේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුල විශේෂ අවධානයට ලක් වූ සහ සංවාදගත වූ මාතෘකාවකි. ඇත්ත වශයෙන්ම සරලවම මොනවද මේ එන්.ජී.ඕ

වචනයෙන්ම අර්ථවත් වන ආකාරයට රාජ්‍ය නොවන සංවිධාන, නැතහොත් රජයේ මෙහෙයවීමකින් පාලනයකින් හෝ අරමුදල් වලින් ක්‍රියාත්මක නොවන ඕනෑම සංවිධානයක් එන්.ජී.ඕ එකකි. ඒ අර්ථයෙන් ගමේ මරණාධාර සමිතිය, තරුණ සමිතිය, ළමා සමිතිය ඇතුළු මේ සෑම සංවිධානයක්ම එන්.ජී.ඕ වශයෙන් හැදින්වීම නිවැරදිය. එවැනි බිම් මට්ටමේ ඉතාම කුඩා සංවිධාන වල සිට යුනිසෙෆ්, රතුකුරුස සංවිධානය, ආදී ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන දැවැන්ත සංවිධාන දක්වාම රාජ්‍ය නොවන සංවිධාන වල පරාසය විහිදේ.

මෑත දශක දෙක තුනක ඉතිහාසයේ පටන් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුල එන්.ජී.ඕ. පිළිබදව යම් ආකාරයේ අවධානයක් සහ සංවාදයක් ඇතිවුවද නිදහසට පෙර යුගයේ තරම් අතීතයේ ලංකාවේ ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන තිබී ඇත. මැලේරියා වසංගත යුගයේ ලංකාවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වාමාංශික දේශපාලන නායකයන්ගේ සක්‍රීය දායකත්වයෙන් ක්‍රියාත්මක වූ “සූරිය මල් ව්‍යාපාරයද” සැබැවින්ම එන්.ජී.ඕ. එකකි. නැතිනම් රාජ්‍ය නොවන සංවිධානයකි. එවැනි ඉතා පැරණි  උදාහරණ ඕනෑ තරම් තිබේ. අපේ රටේ එන්.ජී.ඕ. පිළිබද වන මේ කථිකාව ආරම්භ වීමට පෙර යුගයේ ශ්‍රමදාන ව්‍යාපාරය මතින් ඒ.ටී. ආරියරත්න මහතාගේ නායකත්වයෙන් බිහි වූ වර්තමානය වන විටත් දීපව්‍යාප්ත මට්ටමින් විවිධ ව්‍යාපෘති මගින් සක්‍රීයව ක්‍රියාත්මක වන සර්වෝදය ව්‍යාපාරයද එන්.ජී.ඕ එකකි. 1994 දී පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයෙන් පහකර චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ගෙන ඒම සදහා ඉතා විශාල දායකත්වයක් ලබාදුන් මාධ්‍ය ක්‍රියාකාරිකයින් සක්‍රීයව ක්‍රියාත්මක වූ නිදහස් “මාධ්‍ය ව්‍යාපාරයද” රාජ්‍ය නොවන සංවිධානයකි.

­

එන්.ජී.ඕ. යනු විදේශ කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්ය, ඩොලර් වලට රට ජාතිය ආගම පාවා දෙන්නන් එන්.ජී.ඕ ක්‍රියාකරිකයන්ය, මේ එන්.ජී.ඕ නඩ උත්සහ දරන්නේ අපේ ජාතිය ආගම රට වනසා දැමීමටය ආදී වශයෙන් ඉතා ජනප්‍රිය මතයක් ලංකාවේ මේ එන්.ජී.ඕ නැතිනම් රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිකයින් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන බව කවුරුත් ඉතා හොදින් දනිති. සැබැවින්ම මෙවැනි සමාජ මතයක් රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවායේ ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන්නේ ඇයි සහ එම මතය සාධාරණ සහ සත්‍ය එකක්ද යන්න සම්බන්ධයෙන් කෙටි විමසා බැලීමක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ප්‍රථමයෙන් අවධාරණය කල යුතු වැදගත් කාරණයක් තිබේ. එනම් ඕනෑම සංකල්පයක් වැඩ පිළිවෙලක් අවභාවිතා කරන සහ ඒ මගින් ලාභ ප්‍රයෝජන ලබා ගන්නා මුග්ද නරුමයන්ගෙන් අපේ රට පොහොසත්ය. ආගම දේශපාලනය කලාව සංස්කෘතිය අධ්‍යාපනය ආදී මෙකී නොකී ඕනෑම ක්ෂේත්‍රයක් අවභාවිතා කරනු ලැබූ වංචනිකයින් නිසා එම ක්ෂේත්‍රයන්ට දැවැන්ත කළු පැල්ලම් ඇති වූ බව පිළිගත යුතු යථාර්ථයකි.

මුලින්ම කිව යුත්තේ එවැනි වංචනිකයින්ගෙන් මේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේද කිසිදු අඩුවක් නොමැති බවයි. සමස්ථ රටේම ආයතන සහ පුද්ගලයින් දූෂිත සහ කුණුවී ගිය තත්ත්වයක් තුළ එක ක්ෂේත්‍රයක් පමණක් එම ජරාජීර්ණත්වයෙන් වියුක්තව පවති යැයි විශ්වාස කරන්නේ නම් එය දවල් සිහිනයකි. සියල්ල දූෂිත සහ කුණුවූ සමාජයක එක් එක් වියුක්ත ආයතන හෝ පුද්ගලයින්ගෙන් එවැනි වටිනා ප්‍රමිතීන් බලාපොරොත්තු වීමත් අර්ථ විරහිතය.

ඒ අර්ථයෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයද පසුගිය කාලයේ ඉතා ජරාජීර්ණ සහ දූෂිත තත්ත්වයකට පත් වූ බව අපි මුලින්ම පිළිගත යුතුව ඇත. විශේෂයෙන්ම තම පෞද්ගලික න්‍යාය පත්‍ර සහ පටු ලාභ ප්‍රයෝජන උදෙසා රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවාගෙන සිවිල් සංවිධාන යන සංකල්පය අවභාවිතා කරනු ලැබූ සංවිධාන කිහිපයක් සහ පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බව අපි පිළිගත යුතුය. වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක දූෂිතයින් සම්බන්ධයෙන් වන පිළිකුල විරෝධය එම තැනැත්තන් සහ සංවිධාන වලට එරෙහිව ලැබිය යුතු බවට කිසිදු විවාදයක් තිබිය නොහැක.

නමුත් ගැටළුව වන්නේ එය නොවේ. ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් සුවිශාල සමාජ දේශපාලන කාර්යභාරයක නියැලුනු සහ දැනටමත් නියැලෙන සිවිල් සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ට පහර දීමට සහ අපහාස කිරීමට ලංකවේ ජනප්‍රිය එන්.ජී.ඕ විරෝධී මතය භාවිතා කිරීම සම්බන්ධයෙන් සංවාදයක් ආරම්භ විය යුතු බව අපි විශ්වාස කරමු.

මුලින්ම මේ එන්.ජී.ඕ. විරෝධය සමාජගත කිරීමේ ප්‍රධාන කස කරුවන් වූයේ කවුදැයි විමසා බැලීම වැදගත් වේ. අන්තවාදී සහ අවස්ථාවාදී දේශපාලකයිනුත් වර්ගවාදී හරසුන් චීවරධාරීන් ඇතුළු නඩයත් මේ මතවාද ස්ථාපිත කිරීමේ පුරෝගාමින් වූ බව අපි දුටිමු. බඩගෝස්තරවාදී එන්.ජී.ඕ. කරුවන් සහ මේ අවස්ථාවාදීන් එකම කාසියේ දෙපැත්තකි. මෙහි පවතින වඩාත් උත්ප්‍රාසජනක කරුණ වන්නේ එන්.ජී.ඕ විරෝධීන් ලෙස සමාජයේ පෙනී සිටිමින් එන්.ජී.ඕ. වලට පහර දෙන සමහර තැනැත්තන්ද එන්.ජී.ඕ. කරුවන්ම වීමය. උදාහරණ වශයෙන් හිටිහැටියේ මාධ්‍ය කැමරා පිරිවරාගෙන පොලිස් මූලස්ථානය ආදී ස්ථාන වල රගපෑමේ යෙදෙන බොහෝ අවස්ථා වල එක් භික්ෂුවක් පෙනී සිටිමින් වොයිස් කට් දෙන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය වැනි සංවිධානද එන්.ජී.ඕ සංවිධාන වේ. නමුත් එම සංවිධානයම තවත් විටක එන්.ජී.ඕ විරෝධයක් වෙනුවෙන් හඩ තලයි. මේ එක උදාහරණයක් පමණි. මෙවැනි ඕනෑතරම් උදාහරණ තිබේ.

මේ කරුණ පිලිබද මධ්‍යස්ථ ස්ථාවරයක හිදිමින් යථාර්ථවාදීව දකිනවා හැරුණු කොට අපිට එක පාර්ශවයකට සුදුහුණු තවරා අනෙක් පාර්ශවයට මඩගැසීමේ කිසිදු උවමනාවක් නොමැත. මානව හිමිකම්, ස්ත්‍රී අයිතිවාසිකම්, පරිසරය වැනි සංවේදී සමාජ ප්‍රශ්න පිළිබදව පෙනී සිටීම සදහා පිහිටුවාගෙන තිබෙන බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ඵලදායි කාර්යක් සිදුකරන්නේ නැත. මේ සංවිධාන වල බොහෝ ව්‍යාපෘති තමුන්ට ලැබෙන විදේශ ඩොලර් පවුම් වල හැටියටය. බොහෝමයක් ව්‍යාපෘති හුදු නාමික ව්‍යාපෘති පමණක්මය. අවසාන අර්ථයෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැති තරම්ය. බොහෝ විට ව්‍යාපෘති වශයෙන් සිදු කරන්නේ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කිරීමයි. මේ සදහා සහභාගී වන සෑම දෙනාටම ගමන් ගාස්තු සමග කෑම බීම ව්‍යාපෘතියේ අරමුදල් වලින් ලබා දෙනු ලබයි. සම්පත් දායකයින්ටත් එම පහසුකම් සමග එම තැනැත්තා ගොඩ නගාගෙන තිබෙන සිවිල් බලයට සාපේක්ෂව දීමනාවක් ලබා දෙනු ලැබේ. ඉතින් මේ වැඩ සටහන් වලින් සිදුවන්නේ එකතු වී කාබී කථාකර විසිර යෑමයි.

මේ යුගයේ රාජ්‍ය නොවන සංවිධාන වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වී තිබෙන්නේ ඉහත සදහන් කල යථාර්තයයි. ඒ පිළිබදව සිවිල් සමාජය තුලින්ම සංවාදයක් ඇරඹිය යුතුය. සමාජ ක්‍රියාකාරිකයින් තමන්ගේ භාවිතාව පිළිබදව ස්වයං විවේචනයක් කරගත යුතුව ඇත. විශේෂයෙන්ම ලංකාව සම්බන්ධයෙන් සලකන විට වර්තමානය වන විට ලංකාව මැදි ආදායම් ලබන රටක් වශයෙන් සැලකෙන නිසා ජාත්‍යන්තර වශයෙන්, රාජ්‍ය නොවන සංවිධාන වලට ආධාර ලැබීම ඉතාම සීමිත වී තිබේ. ඒ වෙනුවට එම සංවිධාන විසින් සිදු කරනු ලබන ව්‍යාපාර මගින් ආදායම් උපදවා එම මුදල් වලින් ස්වකීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල යුතුව තිබේ. ” සමාජ ව්‍යාපාර” වශයෙන් එම ව්‍යාපාරයන් හදුන්වනු ලබයි. අනිවාර්යෙන්ම මේ ව්‍යාපාරයන්ද සාමාන්‍ය ව්‍යාපාර සමග වෙළදපොලේ තරගකර ලාභයක්  ඉපැයිය යුතුව තිබේ. එම ලාභයෙන් තම සංවිධානයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කල හැක. ප්‍රවණතාවයක් වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි ස්වයංපෝෂිත තත්ත්වයකට පත්වීම එක්තරා ආකාරයකට එවායේ දූෂණ අක්‍රමිතා අඩුවීමටද හේතු වේ.  

මේ ආකාරයෙන් මේ සංවිධාන වල ක්‍රියාකරිත්වය සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවීම යහපත්ය. නමුත් කූට අන්තවාදීන්ගේ සහ අවස්ථාවාදීන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව සමස්ත සිවිල් ව්‍යාපාරය සහ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයම යක්ෂයෙක් ලෙස අර්ථගන්වා සිදු කරනු ලබන විවේචන සහ පහර දීම් වලට විරුද්ධව සමාජයක් වශයෙන් අප නැගී සිටිය යුතුය. සැබැවින්ම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම උදෙසා සක්‍රීය සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාවය අනිවාර්ය අංගයක් බව අපි තෙරුම් ගත යුතුය.

                                                                           සුදේශ් ජයවර්ධන    

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *