ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ භූමිකාව.

මේ මාතෘකාව එනම් ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ භූමිකාව පිලිබදව කථිකාව අතිශය සංකීර්ණ සහ විවාදාත්මක මාතෘකාවක් බව ලිපියේ ආරම්භයේම සටහන් තබමි. එමෙන්ම එය ඉතාම දීර්ඝ වශයෙන් සාකච්ඡා කල යුතු මාතෘකාවක් වන බවද අපි සිතමු.

ලංකාවේ දේශපාලන සමාජ සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයක් සමගම මේ බෞද්ධ භික්ෂුවගේ සෙවනැල්ල දැවැන්ත වශයෙන් වැටී තිබේ. අප කැමති වුවත් අකමැති වුවත් යථාර්තය එයයි.

මුලින් සදහන් කල ආකාරයටම ඒ පිළිබදව දීර්ඝ ලිපියකින් ඉදිරියේදී සාකච්ඡා කරන නිසා අද මේ කෙටි සටහනේ අවධානය යොමු වන්නේ භික්ෂුව විශයේහි වෙනත් කාරණාවක් දෙසටයි.

සැබවින්ම අන්තගාමී නොවන විවෘත මනසකින් සහ පටු දෘෂ්ටි කෝණයන්ගෙන් තොරව සාධාරණව ලෝකය දකින ඕනෑම අයෙක් බහුතරයක් බෞද්ධ භික්ෂූන්ගේ වර්තමාන වර්ගවාදී, ආගම්වාදී, ප්‍රචණ්ඩ හැසිරීම් අනුමත නොකරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙයින් අප ප්‍රකාශ කරන්නේ බහුතරයක් ජනතාව නොවේ. අපේ රටේ බහුතර සාමාන්‍ය ජනතාව අතිශය පටු ගෝත්‍රවාදී අදුරු අගාධයක හිරවී ඇති බව යථාර්තයයි.අපි මුලින් සදහන් කලේ සධාරණව හිතන මධ්‍යස්ථ සහ බුද්ධිමත් බහුතරය ගැන බව විශේෂයෙන් සදහන් කල යුතුය.

මේ ලිපියේ මුලින් පෙන්වා දුන් ආකාරයට මොන තත්ත්වයක් යටතේ වත් ලංකාවේ භික්ෂු භූමිකාව නොසලකා හැරිය නොහැකි නම්, දවසින් දවස වේගයෙන් ගෝත්‍රවාදයක් කරා පියමන් කරන බෞද්ධ භික්ෂුව පිළිබදව අපි සමාජයක් වශයෙන් මැදිහත් වීමක් යම් සංවාදයක් ඇතිකර ගත යුතු නැද්ද? මෙය ආගම හා බැදී පවතින නිසා ඉතා ප්‍රවේශමෙන් සිදුකල යුතු සංවේදී කලාපයක් බව විශේෂයෙන් කිව යුතු නැත. නමුත් එය අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්ය යන්න අපගේ අදහසයි.

මෙහිදී අපි විශ්වාස කරන්නේ අන්තගාමී නොවන ඉදිරිගාමිව සහ ප්‍රගතිගාමීව සිතන මධ්‍යස්ථ සහ බුද්ධිමත් එමෙන්ම නිර්මාණශීලී කාර්‍යභාරයක් කරන බෞද්ධ භික්ෂූන් පිළිබදව යම් ඇගයීමක් කලයුතු බවයි. මොවුන්ගේ මධ්‍යස්ථ සහ සාමකාමි අදහස් වලට බෞද්ධ සමාජයේ පිලිගැනීමක් ඇතිකල හැකි නම් ගෝත්‍රවාදී ප්‍රචණ්ව මුග්ධ චීවරධාරීන්ට ඇති සමාජ බලය හා පිලිගැනීම නැති කර දැමිය හැකි වෙතැයි අපි සිතමු. එම නිසා ප්‍රජාබලය වෙබ් අඩවියේ එවැනි ඉදිරිගාමී භික්ෂූන් සම්බන්ධ යම් කථිකාවක් ඇරඹීමට අපි අපේක්ෂා කරමු.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *