ලංකාවේ ශිෂ්‍ය දේශපාලනයේ අද දවස

ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ මාතෘකාව වීර ක්‍රියාවන්ගෙන් ලේ කඳුළු දහඩිය තැවරුණ මතකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන බව අපි හොඳින්ම දනිමු. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය සැලකුවත් ලෝකයේ ශිෂ්‍ය දේශපාලනය සැලකුවත් මේ කරුණ එකසේම අදාලය. ශීෂ්‍ය දේශපාලනය ගැන කතා කිරීමට සහ ලිවීමට බොහෝ කරුණු තිබේ. නමුත් අද මේ කෙටි ලිපියේ මාතෘකාව ලංකාවේ ශිෂ්‍ය දේශපාලනයේ වර්තමානය පිළිබඳවයි. මේ මාතෘකාව මේ ලිපියට යොදා තිබුණත් ලංකාවේ ශිෂ්‍ය දේශපාලනයේ  වර්තමානය පිලිබඳව කිසිවක්ම මේ ලිපිය තුළ නොලියා සිටීමට මම අදහස් කළෙමි.

සැබවින්ම ශිෂ්‍ය දේශපාලනයේ වර්තමානය යනුවෙන් නම් කර ඇති ලිපියක එම මාතෘකාව පිළිබඳව කිසිවක් නොලියනවා යැයි කියන්නේ නම් සැබවින්ම එය අප්‍රභංසයකි. මම එය පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

ලංකාවේ සමාජ දේශපාලන ඉතිහාසය තුළ යම් යම් සීමාකම් සහ අඬු ලුහුඬුකම් යටතේ වුවත් නොතකා හැරිය නොහැකි යම් මුද්‍රාවක් තැබීමට ශිෂ්‍ය ව්‍යාපාරය නැතහොත් ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය සමත් වූ බව අපගේ විශ්වාසයයි. බරපතල දේශපාලන විවේචන පැවතිය හැකි වුවත් 88 – 89 යුගයේදී ජීවිත පරිත්‍යාගයෙන් තමුන් විශ්වාස කල දේශපාලන මතය වෙනුවෙන් කැපකිරීම් කල ශිෂ්‍ය ව්‍යාපාරයක් මෙරට තිබුණි. එය ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ශීෂ්‍ය ව්‍යාපාරය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණෙන් පරිභාහිර සහ සමහර විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධව කටයුතු කළ ශිෂ්‍ය කණ්ඩායම් පවා ඉමහත් කැපකිරීමෙන් සහ නිර්මාණශීලීව ස්වකීය කාර්යයේ නියැලුණු බව අපගේ විශ්වාසයයි. නිෂ්මි, දයාපතිරණ රංජිතම් ගුණරත්නම් වැනි ශිෂ්‍ය ක්‍රීයාකාරිකයින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නොමැකෙන මතක සටහන් තැබූ ශිෂ්‍ය නායකයින්ය යන්න ඔවුන්ගේ දේශපාලන අදහස් නොපිළිගන්නා අයෙකු වුවත් නොපැකිලව පිළිගනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ අතකොලුවක්ය යන්න, හෝ කිසිදු නිල පිළිගැනීමක් සහිත සංවිධානයක් නොවේය, යනාදි වශයෙන් විවිධ විවේචන පැවතියත් ලංකාවේ ශීෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව වන සාකච්ඡාවකදී අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු ශිෂ්‍ය සංවිධානයක් වන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. එම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ බොහෝ කාලයක් එය මෙහෙය වනු ලැබූ දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණය යන්න රහසක් නොවේ.  නමුත් පෙරටුගාමී සමාජවාදි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී වෙන්වී යාමෙන් පසුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද එම දේශපාලන ව්‍යාපාරය සමඟ එක් වූ බව දැන ගන්නට  ලැබුණි.

සැබවින්ම ශිෂ්‍ය ව්‍යාපාර අතර ප්‍රමුඛ භූමිකාවක් අන්තරය විසින් නිරූපණය කරනු ලැබුවත් ලංකාවේ එදාත් අදත් එකම ශිෂ්‍ය ව්‍යාපාරය වන්නේ අන්තරේ පමණක් නොවේ. විවිධ අනන්‍යතාවයන් සහ දේශපාලන මතවාදයන් නියෝජනය කරන විවිධ ශිෂ්‍ය කණ්ඩායම් රටේ තිබෙන බව අපේ අදහසයි. ප්‍රමාණාත්මකව විශාල නොවුණත් ගුණාත්මකව ඉදිරිගාමී අදහස් සහ ක්‍රියාකාරිත්වයන් සහිත ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයන් තවමත් ඉතා සුළුවෙන් හෝ පවතීය යන්න අපගේ අදහසයි.

මේ සියලු කරුණු සමඟ අපි මතු කරන සරල සහ කෙටි ප්‍රශ්නය වන්නේ ලංකාවේ වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරය සමස්තයක් වශයෙන් නිරූපණය කරන දේශපාලන භූමිකාව කුමක්ද? නියෝජනය කරන සමාජ දේශපාලන මතවාදය කුමක්ද?  කලකට වරක් සරසවි වල පැවැත්වෙන නිලවරණ වලදී පත්වන නිලධාරීන් විසින් සිදුකරන යම් යම් ක්‍රියාවන් සහ මහපොළ වාරික වල ප්‍රශ්න, නේවාසිකාගාරවල ප්‍රශ්න, විශ්ව විද්‍යාලයේ  කැන්ටිමේ කෑම පිලිබඳ ප්‍රශ්න වැනි පටු සීමාවන්ගෙන් වියුක්තව ශිෂ්‍ය ව්‍යාපාරය ලංකාවේ දේශපාලනික බලපෑම් කණ්ඩායමක් වශයෙන් මේ ‍මොහොතේ යම් කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේද යන්න අපේ ප්‍රශ්නයයි. ඒ පිලිබඳව විවේචනයක් හෝ වෙනත් අදහස් දැක්වීමක් මේ ලිපිය මඟින් කිරීමට බලාපොරොත්තු නොවෙමු. මාතෘකාවේ දැක්වෙන කරුණ සම්බන්ධයෙන් මේ ලිපිය තුලදී අපි සාකච්ඡා නොකරන බව මුලින් කීවේ එම නිසාය. කෙසේ වෙතත් මේ කරුණු පිලිබඳව ඉක්මන් සංවාදයක් ඇතිවිය යුතුය යන්න අපේ අදහසයි. අපි එම සංවාදයට ආරාධනය කිරීම පමණක් මේ ලිපිය මගින් සිදු කරමු.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *