ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුණේ නැත

ඇමරිකාව පමණක් ලොව සමස්ත ලෝකයම ගිනියම් කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධ සිදුවීම පිළිබඳව සමස්ත ලෝක සමාජයම මේ වන විට ඇති වන තුරු කියවා සහ සාකච්ඡා කර තිබේ. මේ නිර්ලජ්ජිත සහ තිරස්චීන මිනි මැරීම සම්බන්ධයෙන් වන විරෝධතාවයන් ඇමරිකාවට පමණක් සීමා නොවී සමස්ථ ලෝකය පුරාවටම තවමත් පැවැත්වෙමින් තිබේ.

ඉතාම සරලව මුලින්ම කිව යුත්තේ මිනිස් නිදහස සහ සමානාත්මතාවය වෙනුවෙන් වන අරගල ඉතිහාසයේ අමරණීය සංකේතයක් වෙමින් සහ නිදාවැටෙමින් සිටි මිනිස් සමාජයට මිනිස්කම වෙනුවෙන් වන අරගලයට සදාතනික ප්‍රදීපාගාරයක් වෙමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ස්වකීය අවසන් හුස්ම හෙලු බව අපිට අවිවාදයෙන් යුතුව පිළිගත හැකි බවයි.

මිය යන්නට පෙර ජෝර්ජ් ෆ්ලොයිඩ් යනු ලෝකයේ කිසිවෙක් නොහඳුනන කොන්කිරීමට සහ නොසලකා හැරීමට ලක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික මිනිසෙකි. සුදු ජාතික ස්වොත්තමවාදී අදහසට අනුව කියන්නේ නම් පාදඩයෙකි. නමුත් ඔහුගේ මරණයෙන් පසුව කළු ජාතික අරගල ඉතිහාසයේ පමණක් නොව යුක්තිය, නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ මිනිස් ඉතිහාසයේ සමස්ථ අරගලයන් තුළ නොමැකෙන නාමයක් සහ නොමැකෙන නිමේෂයක් සිනිටුහන් කිරීමට ජෝර්ජ් ෆ්ලොයිඩ් සමත් වූ බව අපගේ අදහසයි.

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුගය අර අදිමින් සිටියේ ඇමරිකාව ස්වකීය ඉතිහාසය තුළ බොහෝ අඩු ලුහුඩුකම් මධ‍්‍යයේ වුවත් අත්පත් කර ගත් සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, අන්මත ඉවසීම, සංක්‍රමණිකයින්ට සැලකීම ආදී වටිනාකම් සහ ජයග්‍රහණයන් ආපසු හැරවීමේ ගමනක් ආරම්භ කිරීමටයි. විශේෂයෙන් අසියාතික සහ අප්‍රිකානු රටවල නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය ලෙඩ කරන භයානකම වෛරසය වන වර්ගවාදය නැතහොත් ජාතිවාදය බොහෝ දුරට ඇමරිකාව සහ යුරෝපා රටවල පැවතියේ අඩු වශයෙන්ය යන්න සාමාන්‍ය පිළිගැනීම විය. බහු සංස්කෘතිකත්වය පිල්ගන්නා වඩාත් ලිබරල් සහ නිදහස් සමාජයක් වූ මේ සමාජයන් ආපසු හරවාගෙන කැළෑ පාරක දක්කාගෙන යාමේ බිය ජනක ආරම්භයක අඳුරු සෙවනැලි ට්‍රම්ප්ගේ දේශපාලන ක්‍රියකාරිත්වය විසින් ලොව පුරා වැටී තිබුණි. ඇමරිකාවේ පමණක් නොව ඉන්දියාවේ මෝදිගේ පටන් ලොව පුරා සෑම හතර දිග්භාගයකම එවැනි අන්තවාදී නායකයින් සහ දේශපාලන ව්‍යාපාරයන් හිස ඔසවන ආකාරය දෙස බියමුසු දෑසින් බලා සිටීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයාට සිදු වී තිබිණි.

ලංකාවේත් අන්තවාදී දේශපාලකයින් සහ විචාරකයින් කියමින් සිටියේ මේ නව යුගයක් බවයි. මේ නව ලෝක ප්‍රවණතාවය ලෝකයේ අනාගතය වෙනු ඇතැයි යන්න මොවුන් බොහෝ දෙනෙක් විශ්වාස කලා සහ ප්‍රාර්ථනය කළේය. චීනය වෙනි අධිකාරීවාදී, මිනිස් නිදහස නොසලකන සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකන ලෝකයක් නැවත උදා වීම යනු ප්‍රංශ විප්ලවය ඇතුළු යුරෝපා සමාජය ස්වකීය ඉතිහාසය තුළ ඉමහත් චැර වෑයමින් අත්පත් කරගත් ජයග්‍රහණයන් අහිමි කර ගැනීමක් හැරුණු කොට වෙනත් යමක් නොවීය.

කෙසේ වෙතත් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සමඟ ඇමරිකාවෙන් ඇරඹි ලෝකය පුරා පැතිරි ගිය සිවිල් විරෝධතා රැල්ල විසින් සංකේතවත් කරන්නේ මේ වර්ගවාදීන් අන්තවාදීන් සිහින දකින ගමන එතරම් ලේසි පහසු එකක් නොවන බවයි ස්වකීය අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් අධිෂ්ඨාන සහගත අරගලයක් කිරීමට මිනිස් ශිෂ්ඨාචාරය තවම නොපැකිලෙන බව කොරෝනා ඛේදවාචකය විසින් ඔත්පල කර තිබූ ඇමරිකානු අධ්‍යාත්මය ඒ සියලු අභියෝගයන් නොතකමින් අරගල වලට ප්‍රවිෂ්ඨ වීමෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. ඉදින් කීමට තිබෙන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුණේ නැති බවයි. අලුත් බලාපොරොත්තුවකට හුස්ම දීමට ජෝර්ජ් ෆ්ලොයිඩ් තම අන්තිම හුස්ම ලබා දී තිබේ. මුග්ධ පොලිස් මිනීමරුවා බෙල්ල පාගාගෙන සිටිද්දී මට හුස්ම ගන්නට අපහසු යැයි කියමින් කෑමොර දුන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් හුස්ම හෙළීමත් සමඟ මුළු විශ්වයේම අළුත් බලාපොරොත්තුවක් උදෙසා හුස්ම පිඹිමින් සිටියී. ඉදින් ජෝර්ජ් මැරුණේ නැත. මේ ජෝර්ජ්ගේ කථාවේ ආරම්භය පමණි. ඉදිරියට අපි ජෝර්ජ් ගැන තවදුරටත් කථා කරමු.

                                                                   සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *