මේ කවියේ නවෝදයක්ද?

සාමාන‍්‍යයෙන් මේ ගෙවෙන යුගය ලංකාවේ සාහිත්‍යය සම්බන්ධයෙන් සැලකීමේදී එතරම් වර්ණවත් හෝ සුවිශේෂ යුගයක් වශයෙන් සැලකීමට තරම් ප්‍රමාණවත් හේතු ඇතැයි නොසිතමු. හැත්තෑව දශකයේ යම් තරමකට සාහිත්‍යය පිළිබඳව ලාංකීය සමාජයේ අවධානයක් සහ උද්යෝගයක් පැවති සමයක් බව පෙනීයයි. එම උද්යෝගය සාහිත්‍යයට පමණක් නොව සිනමාව, වේදිකා නාට්‍ය වැනි වූ කලා මාධ්‍යයන් සම්බන්ධයෙන් සැලකුවත් සාපේක්ෂව වර්ණවත් යුගයකි. කෙසේ වෙතත්  1977 දී සිදු වූ විවෘත ආර්ථිකයේ සම්ප්‍රාප්තියත් සමඟ දැවැන්ත විපර්යාසයකට ලක් වූයේ රටේ ආර්ථික ක්‍රමය පමණක් නොවන බව අපි දනිමු.

අපි ඒ අදහස ඉදිරිපත් කරන්නේ හැත්තෑවේ දශකය නියෝජනය කරන යුගය මනරම් වුවත් වර්තමානය හරයක් නැතැයි කියමින් අතීතකාමී ෆැන්ටැසියක් උත්කර්ෂයට නැගීමට නොවේ. විවිධ සාහිත්‍ය සහ කලා සම්ප්‍රදායන් ගෙවුන යුගයේ මෙන්ම වර්තමානයේත් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මෑත යුගයේ එරික් ඉලයප්ප ආරච්චි, ලියනගේ අමරකීර්ති, කේ.කේ. සමන් කුමාර, වැනි වූ සුවිශේෂී අනන්‍යතාවයක් සනිටුහන් කල නිර්මාණකරුවන් ගණනාවක්ම බිහිවී තිබේ. එමෙන්ම සාහිත්‍යය, සිනමා, වේදිකා නාට්‍ය ආදී වූ සෑම කලා ක්ෂේත්‍රයකම විශේෂ ඇගයීමට බඳුන්විය යුතු තරමේ විශිෂ්ට නිර්මාණ බිහිවී තිබේය යන්න අපේ අදහසයි. කෙසේ වෙතත් පොදුවේ සමාජයක් වශයෙන් සැලකීමේදී සාහිත්‍ය ඇතුළු කලා මාධ්‍යයන් සම්බන්ධයෙන් සමාජයේ තිබෙන උනන්දුව සහ උද්යෝගය ප්‍රමාණවත් නොවේය යන්නත් බැහැර කල නොහැකි කරුණක්ය යන්න අපගේ අදහසයි.

විශේෂයෙන් සාහිත්‍ය විචාර සම්ප්‍රදාය තුළ එක්ස් කණ්ඩායම වැනි දේශපාලන කණ්ඩායම් සහ සමන් වික්‍රමආරච්චි වැනි පුද්ගලයින් පශ්චාත් නූතන වාදය මත පදනම්ව ගොඩ නැංවූ විචාර සම්ප්‍රදාය අනිවාර්යෙන්ම අවධානයට ලක් විය යුතු සුවිශේෂ මං සලකුණක්ය යන්න අපගේ අදහසයි. සියලු විවේචන සහ අඩු ලුහුඩුකම් මධ්‍යයේ වුවත් එම විචාර සම්ප්‍රදාය ලංකාවේ සාහිත්‍යය විචාරය සම්බන්ධයෙන් සැලකීමේදී කිසිසේත්ම නෙතකා හැරිය නොහැකි විශේෂ සලකුණක්ය යන්න අපගේ අදහසයි. එම අදහස් පද්ධතිය විසින් මේ දූපතට ඇති කරනු ලැබූ බලපෑමට හිමි වටිනාකම ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.

කෙසේ වෙතත් අපේ මේ ලිපියේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ මෑත යුගයේ සාහිත්‍යයාංගයක් වශයෙන් කවියේ සිදූ වූ ප්‍රබෝධය පිළිබඳවයි. සැබැවින්ම මේ පිලිබඳව සාකච්ඡා කිරීමේදී මෑත යුගයේ කවියේ ප්‍රබෝධයක් ඇති වූවාද ඇති වූවානම් එය තහවුරු කළ හැකි නිර්ණායකයක් තිබේද යන්න මේ සම්බන්ධයෙන් මුලින්ම ඇති වන ගැටළුවයි. නම් වශයෙන් එකිනෙකා නම් නොකලත් සාපේක්ෂව මෑත කාලයේ කාව්‍ය ක්ෂේත්‍රයට නවක කවි කිවිදියන් වැඩි වශයෙන් පැමිණි බව සහ කවි පොත් වැඩියෙන් පල වූ බව අපගේ අදහසයි. එයින් සමස්ත සමාජයේම කවිය යන සාහිත්‍යාංගය සම්බන්ධයෙන් මහත් ප්‍රබෝධයක් ඇති වී තිබේ යැයි නිගමනය කල හැකි යැයි අපි නොසිතමු. සැබැවින්ම නාමධාරි ජනප්‍රිය කවියන් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආදී කවීන් කිහිපදෙනෙකුගේ හැරුණු කොට සමස්තයක් වශයෙන් අළුතෙන් ප්‍රකාශයට පත්වන කවිපොත් වල පළමු මුද්‍රණයේ පිටපත් පන්සීය හෝ දහස අලෙවි කර ගැනීමේ අභියෝගයක් පවතින බව ප්‍රකාශකයින්ගේ අදහසයි. එම නිසා සාපේක්ෂව වැඩියෙන් කවි කිවිදියන් බිහිවී තිබීම සහ පොත් ප්‍රකාශයට පත්වීම තුලින් අප රටේ කවියේ නවෝදයක් ඇති වි තිබේ යැයි අතිශෝක්තියට නැගීමට අපි ඉක්මන් නොවෙමු. කෙසේ වෙතත් ඉතා සුළුතරයක් හෝ කවි රසවිදින පාඨක ප්‍රජාවේ වර්ධනයක් සිදුවී තිබීම හා ගුණාත්මකව කෙසේ වෙතත් ප්‍රමාණාත්මකව හෝ කාව්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන් වැඩිවි තිබීම සාධනීයව දැකිය යුතුය යන්න සහ මේ සම්ප්‍රදාය දිරිමත් කිරිමට සුඵවෙන් හෝ යමක් කිරීම වැදගත්ය යන්න අපගේ අදහස වේ. විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන් හරහා කවි කිවිදියන් බිහිවීම මෑත කාලයේ අපිට හඳුනාගත හැකි වැදගත් නව සම්ප්‍රදායක් වේ.

සාමාන්‍යයෙන් සයිබර් අවකාශයේ මේ ඉඩ ප්‍රස්තාව විවර වීමට ප්‍රථම විශේෂයෙන්ම කවියන්ට තම නිර්මාණ ප්‍රකාශයට පත්කර ගැනීමේ සැබෑම අභියෝගයක් පැවතිනි. කවිපොත් එළි දැක්වීම අළෙවිය සම්බන්ධ ගැටළු නිසා ප්‍රකාශකයන් බොහෝ විට ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය දෙයක් විය. කවි පොතක් එළි දැක්වීමේ අවස්ථාව හිමිවූයේ නාමධාරි කවියන්ට පමණි. ඒ හැරුණුකොට පුවත් පත්වල කවි පිටු අවකාශය පමණක් ආධුනික කවීන්ට ස්වකීය නිර්මාණ ජනගත කිරීමේ එකම වේදිකාව විය. කෙසේ වෙතත් සයිබර් අවකාශය මේ බොහෝමයක් ප්‍රශ්න සඳහා ඉතා සාර්ථක පිළිතුරක් සැපයූ බව අපේ අදහසයි. සයිබර් අවකාශයේ පලවන සෑම නිර්මාණයක්ම ගුණාත්මක නිර්මාණ නොවූවත් ඇගයීමට ලක්විය යුතු සුවිශේෂි නිර්මාණ සහ නිර්මාණකරුවන් මේ අවකාශය තිඹිරිගෙය කරගෙන උපත ලැබූ බව අපේ අදහසයි. මේ සියලු තත්ත්වයන් තුළ ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ කවිය විෂයෙහි කණාමැදිරි එළියක් සේ හෝ දැල්වී තිබෙන මේ පහන වඩාත් ආලෝකවත් කර ගැනීම අපේ කාර්යභාරය බවයි

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *