විපක්ෂයක් ඕනෑකර තිබේ.

රටේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. සාමාන‍්‍යයෙන් මහමැතිවරණයකින් පසුව බලයට පත් වන්නේ නව රජයක්ය යන්න සාමාන්‍ය පිළිගැනීමයි. දැනට බලයේ සිටින දේශපාලන පක්ෂයම ජයග්‍රහණය කර රජයක් පිහිටු වනු ලැබුවත් මහ මැතිවරණයෙන් පසුව පත්වන නිසා එය අළුත් ආණ්ඩුව වශයෙන් හැදින්වීමට පුරුදුව සිටිමු. ඒ අර්ථයෙන් ලබන අගෝස්තු 05 න් පසුව අළුත් ආණ්ඩුවක් පත්වීමට නියමිතව තිබේ.

සාමාන‍්‍යයෙන් පසුගිය කාලයේ ලංකාවේ දේශපාලනයේ සිදු වූ චලනයන් අනුව කිව හැක්කේ මෙවර මහමැතිවරණය මඟින් සිදුවන්නේ අළුත් ආණ්ඩුවේ පැවැත්ම ස්ථාවර කර ගැනීමක් බවය. එනම් සැබැවින්ම අළුත් ආණ්ඩුව කළ එළි බැස්සේ ජනාධිපතිවරණයෙන් වන නිසාය. සාමාන‍්‍යයෙන් ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයක් සැලකෙන්නේ ගලඋඩ සටනක් වශයෙන්ය. ඉදින් මේ ගලඋඩ සටනින් ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි ජයග්‍රහණයක් ලැබූ බව අපි දනිමු.

සාමාන‍්‍යයෙන් ලංකාවේ මැතිවරණ සිතියම අනුව ජනාධිපතිවරණයකින් පසුව එළඹෙන මහමැතිවරණයකදී ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයාට ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩි බව අපි දනිමු. එම විශේෂ තත්ත්වය හැරුණු කොට මේ මොහොතේ ලංකාවේ දේශපාලන පොළොවේ සිදුව තිබෙන සුවිශේෂ චලනයන් ගණනාවක්ම නිසා ජනාධිපතිවරයා නියෝජනය කරන පොහොට්ටු පක්ෂය මෙවර මහමැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබන බවට ප්‍රකාශ කිරීමට විශාල දේශපාලන දැනුමක් අවශ්‍ය නැත. ඒ අනුව මේ අළුත් ආණ්ඩුව මහමැතිවරණයෙන් පසුව පත්වන අළුත්ම ආණ්ඩුවක් නොව ජනාධිපතිවරණයෙන් පසු මාස අටක් පමණ පරණ වූ ආණ්ඩුවක් බව පැහැදිලිව කිව හැක.

ඉදින් මේ අළුත් හෝ ටිකක් පරණ ආණ්ඩුව සමග ඉදිරි ජීවිතය ගෙවීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලංකාවේ සමාජය සූදානම් විය යුතු බව අපගේ නිරීක්ෂණයයි. ජනාධිපතිවරණයෙන් පසුව ගෙවුන මාස අටක කාලපරිච්ඡේදයේ ගතවුන කාලය අනුව මේ ආණ්ඩුවේ දිශානතිය ගැන පුරෝකථනය කිරීමට බොහෝ කරුණු තිබේ යැයි අපි සිතමු. විශේෂයෙන්ම නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ස්වකීය මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවති දේශපාලන සංස්කෘතිය සහ සාම්ප්‍රදායික දේශපාලකයාගේ භූමිකාව සම්බන්ධයෙන් කලකිරීමට පත් වී සිටි සාතිශය බහුතරයක් වූ ලංකාවේ ඡන්දදායකයින්ගේ මනසට ආමන්ත්‍රණය කළ බව අපි දිටිමු. බලයට පත්වීමෙන් පසුව සරල බව, චාම් බව, නීතිගරුක භාවය, ප්‍රතිපත්තිගරුක භාවය උත්කර්ෂයට නැගෙන විවිධ ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම් ගණනාවක්ම සිදු වූ ආකාරයත් අපි පැහැදිලිවම දුටුවෙමු. නමුත් මාස අටක් වැනි සීමිත කාලයක් ගෙවී යන විටදී ඒ සියල්ලම හුදු ප්‍රචාරකවාදී ඇස් බැන්දුම් පමණක් බව ඒත්තු ගන්වා මේ රාජපක්ෂ රෙජිමයේ අළුත් වටයේ නිරුවත ඔවුන්ගේ භාවිතාව විසින්ම ජනතාව හමුවේ ප්‍රදර්ශනය කළ බව අපි දිටිමු. මේ අනුව කිව හැක්කේ අලුත් ආණ්ඩුව යනු මේ රටේ පරාජය කරනු ලැබූ රාජපක්ෂ රෙජිමයේම තවත් අළුත් වටයකින් සිදුවන දිගුවක්ම පමණක් බව අපේ මූලික අදහසයි.

ඉදින් රාජපක්ෂ රෙජිමයේ මේ නව සම්ප්‍රාප්තිය යම් යම් කරනු වලින් පැවති රාජපක්ෂ රෙජිමයටත් වඩා භයානක සහ අන්තවාදී බව පෙනෙන්නට තිබේ. වේගයෙන් රට මිලිටරීකරණයක් වෙත කැදවාගෙන යන බවත් ආණ්ඩු පාක්ෂික ජනතාව මේ ගමන දෙස ආශ්වාදයෙන් බලා සිටින බවත් අපට පැහැදිලිවම හඳුනාගත හැක. බොහෝ අඩුලුහුඩුකම් මධ්‍යයේ වුවත් නිදහසින් පසුව දශක හතක ඉතිහාසය පුරා පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය වසා ගනිමින් මිලිටරි කළු හෙවනැල්ලක් වැටෙමින් තිබේ. යම් ලෙසකින් ආණ්ඩුව උත්සහ කරන ආකාරයට මහ මැතිවරණයෙන් පසුව කිනම් ආකාරයට හෝ 2/3 බහුතරයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙතොත් වඩා අධිකාරිවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා ඉක්මනින්ම යොමුවන බව පැහැදිලිය. එමෙන්ම ආගමික අන්තවාදයන් සමඟ, පැවති රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා මේ ආණ්ඩුව වඩාත් සමීප බව කීමට ඕනෑ තරම් උදාහරණ තිබේ. සිංහල බෞද්ධ අන්තවාදීන් මාන බලමින් සිටින්නේ මේ රජය ලවා කෙසේ හෝ තමන්ගේ අන්තවාදී න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරවා ගැනීමට බව පෙන්වා දී තිබෙන්නේ වරක් දෙවරක් පමණක් නොවේ.

මේ සියළු තත්ත්වයන් සමඟ ඉදිරියේ බලයට පත් වන ආණ්ඩුව ලංකාවේ දේශපාලන පොළොවේ ප්‍රගතිශීලි විපක්ෂයක් වෙනුවෙන් දැවැන්ත වැඩ බිමක් නිර්මාණය කරමින් තිබෙන බව පැහැදිලිවම පෙනී යයි. ඉදින් වෙහෙස නොබලා ක්‍රියාශීලී වෙමින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ජීව ගුණය වෙනුවෙන් කටයුතු කිරීමට විපක්ෂයේ කණ්ඩායම් වලට යුගයේ කාර්යභාරයක් පැවරී තිබේ.

දැනට නිරීක්ෂණය වන කරුණු අනුව මේ රෙජිමයට සාර්ථකව මහුණ දීමට තරම් ශක්තිමත් විපක්ෂයක් පෙනෙනතෙක් මානයක නොමැත. ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකකට කැඩී මෙවර මහ මැතිවරණයට තරග කරතත් වඩා ගුණාත්මක සහ පලදායක විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමට මේ දෙපාර්ශවයටම හැකිද යන්න ගැටළුකාරීය. ප්‍රමාණාත්මකව ජනාධිපතිවරණයේදී පැහැදිලි පසුබෑමක් පෙන්නුම් කලත් මහමැතිවරණයේදී නව ජීව ගුණයකින් විපක්ෂයේ භූමිකාව පණ පෙවීමට ජවිපේ ප්‍රමුඛ සන්ධානය උත්සහ කරන බව දැනට පෙනෙන්නට තිබේ. මේ මොහොතේ ඔවුන්ගේ භූමිකාව විසින් ලාංකීය දේශපාලනයේ ඔවුන්ට හිමි තැන තීරණය වනු ඇතැයි යන්න අපගේ අදහසයි. ඒ අනුව අවසාන වශයෙන් කිව හැක්කේ අළුත් ආණ්ඩුවක් තිබේ. විපක්ෂයක් ඕනෑකර තිබේ යන්න පමණි.

 සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *