මංගල මෝස්තරයක්ද විකල්පයක්ද

මංගල සමරවීර නැවත දේශපාලන ලෝකයේ එක්තරා ආකාරයකට පුවත් මවන්නෙකු වී සිටියි. සාමාන්‍යයෙන් කාලයකට සැරයක් යම් සිදුවීමක් හේතුවෙන් දේශපාලන ලෝකයේ අවධානයට සහ සාකච්ඡාවට ලක් වීම මංගල සමරවීර යන දේශපාලන චරිතය විෂයෙහි පුදුම විය යුතු දෙයක් නොවේ. 1989 පටන් ගෙවුන දශක තුනකට වඩා වැඩි මංගල සමරවීරගේ දේශපාලන ඉතිහාසයේ ඔහු උණුසුම් පුවත් මවා තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. ඒ අනුව ලාංකීය දේශපාලනයේ පුවත් මවන්නේකු වශයෙන් මංගල හැදින්වීම නිවැරදිය.

මංගල සමරවීර මවා තිබෙන අළුත්ම පුවත අපි දැන් දනිමු. මෙවර මහ මැතිවරණයට ජාතික සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වශයෙන් නාම යෝජනා භාර දී සිටි සමරවීර මහතා සිය අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගත් බව ප්‍රකාශ කර තිබේ. මැතිවරණයෙන් ඉවත් වුවත් තමන්ගේ දේශපාලන භූමිකාව අවසන් නොමැති බව ඔහු පවසා තිබේ.

ඒ සිදුවීමත් සමඟ මංගල සමරවීර මහතාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ යම් සංවාදයක් ඇරඹී තිබේ. විශේෂයෙන්ම පොදුවේ ඉදිරිපත් වී තිබෙන අදහස බව පෙනී යන්නේ මංගල ලිබරල් දේශපාලකයෙකු නිසා ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීම විශාල පාඩුවක් බවයි. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති මහතාද ප්‍රකාශ කර තිබුණේ මංගල වැනි කෘතහස්ත දේශපාලකයෙකු පාර්ලිමේන්තු නියෝජකත්වය අතහැරීම විශාල පාඩුවක් බවයි.

මේ පසුබිම අනුව මංගල සමරවීර යන දේශපාලන චරිතයේ භූමිකාව සම්බන්ධයෙන් කෙටියෙන් විවේචනාත්මක සලකා බැලීමක් කිරීමට අපි මේ ලිපියෙන් අදහස් කරමු. මුලින්ම කිය යුත්තේ අපේ පාර්ලිමේන්තුවේ සිටි බහුතරයක් මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව මංගල සමරවීරගේ අගය කල යුතු ගුණාංගයන් ගණනාවක්ම පැවති බවය. එමෙන්ම එම දේශපාලකයින්ට සාපේක්ෂව සමරවීර මහතා ඉදිරිගාමී සහ ලිබරල් දේශපාලකයෙක්ය යන්නද සත්‍යය. එමෙන්ම විශේෂයෙන්ම සමහර කරුණු සම්බන්ධයෙන් කෙතරම් අභියෝග සහ විවේචන බාධක පැමිණියත් තමන්ගේ ස්ථාවරයේ ඍජුව සහ අඛණ්ඩව සිටිමින් තම මතය වෙනුවෙන් අරගල කිරීමේ ගුණයද සමරවීර මහතාගේ දේශපාලන චරිතයේ අගය කල යුතු සාධකයක් වශයෙන් අපි දකිමු. ඒ සියලු කරුණු අනුව මංගල සමරවීර වැනි දේශපාලන චරිතයක් පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුය යන්න අපි ද විශ්වාස කරමු.

නමුත් අපි මේ ලිපිය මගින් අවධානයට යොමු කරන්නේ මංගල සමරවීර ඉතා ඉදිරිගාමී සහ ප්‍රගතිශීලී දේශපාලන චරිතයක් ද යන්න සහ මංගල පාර්ලිමේන්තු දේශපාලනය අතහැර ආරම්භ කරන බව කියන බහුජන දේශපාලනය සම්බන්ධයෙන් සාධනීය බලාපොරොත්තුවක් තබා ගත හැකිද යන්න පිලිබදවයි. ලංකාවේ ඉදිරිපෙලේ දේශපාලන විචාරකයෙකු සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සැලකිය හැකි වික්ටර් අයිවන් මහතාද, මංගල සමරවීරගේ ප්‍රකාශිත ඉදිරි බහු ජන දේශපාලනය සම්බන්ධයෙන් ඉතා බලාපොරොත්තු සහගතව ලියා තිබෙනවා දුටුවෙමි.

මුලින් කිවු ආකාරයටම සාපේක්ෂව මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව නියොජනය කල යුතු මන්ත්‍රීවරයෙකු වශයෙන් අප විශ්වාස කලත් ඔහු ඉදිරිගාමී, ලිබරල් හෝ ප්‍රගතිශීලි දේශපාලකයෙකු වශයෙන් අපි විශ්වාස කරන්නේ නැත. 1994 න් පසුව ඔහුගේ දේශපාලන භූමිකාව සමීපව නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට අපහසුවකින් තොරව එම කරුණ තහවුරු කරගත හැකිය යන්න අපගේ විශ්වාසයයි. සාමාන්‍යයෙන් මංගලගේ පාර්ලිමේන්තු දේශපාලනයේ කොන්දේසි විරහිත ප්‍රමුඛ සාධකය වුයේ කෙසේ හෝ බලය ලබා ගැනීම සහ එම බලය පවත්වාගෙන යාමයි.

සුළු ජාතික අයිතිවාසිකම් සහ බලය බෙදිම වැනි අදහස් වෙනුවෙන් සමරවිර මහතා පෙනී සිටින බව මතුපිටින් පෙනෙන්නට තිබුනත් බලය යන කාරණයේදී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලකයෙකුසේම ප්‍රතිපත්ති විරහිත අවස්ථාවාදය ඔහුගේ දේශපාලන භූමිකාවේ ප්‍රධාන ලක්ෂණයක්ය යන්න අපගේ නිරීක්ෂණයයි.  චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමයේ බලය බෙදීම වෙනුවෙන් සුදු නෙළුම කර තියාගෙන තවලම් ගිය මංගල 2001 රනිල් වික්‍රමසිංහ එල්ටීටී සංවිධානයන් සමග සාකච්ඡා ආරම්භ කර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් සාධනීය දේශපාලන මැදිහත් වීමක් සිදු කරන විට එය කෙසේ හෝ කඩාකප්පල් කර බලය ලබා ගැනීම සඳහා අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කල දේශපාලකයින් අතර ප්‍රමුඛයා මංගල සමරවීරය. ලංකාවේ ජාතික දේශපාලනයේ සංකීර්ණ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විසදුම් සෙවීම උදෙසා උත්සහ කරන සංවේදී මොහොතක මංගල සමරවීර කටයුතු කලේ ජාතික දේශපාලකයාගේ වගකීම පසෙකට දමා තමන්ගේ බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙනි. ඒ එක උදාහරණයක් පමණි.

මහින්ද රාජපක්ෂ ප්‍රථම වරට බලයට පත් වූ ජනාධිපතිවරණයේදී එම කඳවුර සමඟ ජාතිවාදය ආගම්වාදය සමඟ කිසිම හිරිකිතයකින් තොරව කොන්දේසි විරහිතව බලය වෙනුවෙන් සිටගත් මංගල තමන් බලාපොරොත්තු වූ දේශපාලන වටිනාකම රාජපක්ෂ රෙජිමයෙන් නොලැබුණ විට ඉන් ඉවත්ව රනිල් වික්‍රමසිංහ සමඟ හිටගෙන බලය බෙදීම සුළු ජාතික අයිතිවාසිකම් මානව හිමිකම් ආදී මාතෘකා පිළිබඳව කතා කල බව අපි දුටුවෙමු.

එක්සත් ජාතික පක්ෂයේ වැඩි බලය සහ ජනතා කැමැත්ත සහිත දේශපාලන චරිතය සජිත් ප්‍රේමදාස බව හදුනාගත් මංගල රනිල් වික්‍රමසිංහ විසිකර දමා සජිත් කර තියා ගත්තේය. එහිදී සජිත්ගේ නොමේරූ ළාමක දේශපාලන අනන්‍යතාවය ඔහුට අදාළ නොවීය. බෞද්ධ භික්ෂුන් විවේචනය කිරීම ඇතුළු විවිධ හේතු නිසා ජනතා අප්‍රසාදයක් ඇති වේ යැයි බිය වූ සජිත්ගේ දේශපාලන පිළ මංගලගේ භාවිතාව පාලනය කිරීමට උත්සහ කිරීම නිසා කලකිරුණු මංගල බහුජන දේශපාලන දවටනයක් අලවාගෙන සිය අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගෙන තිබෙන බව අපේ අදහසයි.

කෙසේ වෙතත් මංගල යනු ඉතා ප්‍රායෝගික දේශපාලකයෙකුය යන්න අපේ අදහසයි. ලංකාවේ බලදේශපාලන ක්‍රීඩාවේ වැදගත්ම සාධකය වන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් උපාය උපක්‍රම යෙදීමයි. දේශපාලන ප්‍රතිපත්ති සහ වැඩසටහන් යනු බලය ලබා ගැනීම සඳහා පෙන්වන ව්‍යාජ උපාය උපක්‍රම පමණක් වේ. මංගල සමරවීර යනු  ඒ අර්ථයෙන් ප්‍රායෝගික දේශපාලකයෙකි. සමහරවිට තව කෙටි කලකින් ඔහු  රාජපක්ෂ රේජිමය සමඟ එකතු වුවද පුදුම විය යුතු නැත. ඉදින් එවැනි දේශපාලකයෙකු බහුජන දේශපාලනය තුලින් සමාජ විප්ලවයක් සඳහා පෙරමුණ ගනු ඇතැයි සිහින දකින වික්ටර් අයිවන් මහතා ඇතුළු මතධාරීන් පිළිබඳව පුදුම හිතෙනවාදැයි හෝ කණගාටු හිතෙනවාදැයි කියාගත නොහැක.  ඉදින් අවසාන වශයෙන් අපේනම් අදහස මේ මොහොතේ මංගල සමරවීර යනු දේශපාලන විකල්පයක් නොව අවස්ථාවාදී මෝස්තරක් පමණක් බවයි.

සුදේශ් ජයවර්ධන        

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *