විකල්ප දේශපාලන සිහිනයේ අනාගතය

විකල්ප දේශපාලන සිහනය බොහෝ වැරවෑයමින් තව බොහෝ දිගු සහ දුර ගමනක් යා යුතුව තිබෙන බව ගෙවුන මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී මාලිමාවට ලැබුණු ඡන්ද ප්‍රමාණය විසින් පෙන්වා දී තිබේ. වැඩි ඡන්ද ප්‍රමාණයක් සහ වැඩි ආසන ප්‍රමාණයක් ආදී බලාපොරොත්තු තබාගෙන දේශපාලනය කිරීම ලංකාවේ දේශපාලනයේ විකල්ප ධාරාවට මේ මොහොතේ අදාල නොවේය යන්න අපගේ අදහසයි. ප්‍රමාණාත්මකව වැඩි නියෝජනයක් ලැබුණේ නම් එය වැදගත්ය යන්න පිලිබඳව කිසිදු විවාදයක් නොමැත .නමුත් පොළොවේ යථාර්ථය විසින් එය එසේ සිදු වී නොමැත. ඒ සඳහා බලපෑ බොහෝ සමාජ දේශපාලනික ආර්ථික හේතු පැවතිය හැකි වුවත් නොතකා හැරිය නොහැකි යථාර්ථය වන්නේ මේ මොන හේතුවක් නිසා හෝ ලංකාවේ බල දේශපාලනයේ විකල්ප දේශපාලන තීරුව මේ මොහොතේ අපේක්ෂා කල ඡන්ද පදනමට ආසන්න වී වත් නෙමැති බවයි. මේ කඩා වැටීම ආරම්භ වූයේ ජනාධිපතිවරණයේදීය. අනුර කුමාර දිසානායක අවම වශයෙන් ඡන්ද මිලියනයේ  සීමාවටවත් ආසන්නයට පැමිණෙනු ඇතැයි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. එම ව්‍යාපාරයේ තීරණාත්මක ජනාධිපතිවරණ මැතිවරණ රැළියට මිලියනකට ආසන්න මිනිසුන් එක්රොක් වූ බව පෙනෙන්නට තිබුණි. නමුත් මැතිවරණ ප්‍රතිපලය ලැබුණේ වෙනත් ආකාරයකට බව අපි කවුරුත් දනිමු. ජනාධිපතිවරණයේ පවතින සුවිශේෂ තත්ත්වයන් නිසා ඒ ආකාරයෙන් සිදු වුවත් මහ මැතිවරණයේදී තත්ත්වය යම් ප්‍රමාණයකට හෝ වෙනස් වනු ඇතැයි යන්න ඊළඟට පැවති බලාපොරොත්තුවයි. නමුත් මැතිවරණ ප්‍රතිපල විසින් ගියවර පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් හරි අඩක්ම අඩුවී තිබේ.

මුලින්ම කල යුත්තේ මේ මොහොතේ මහ පොළොවේ පවතින යථාර්ථය ජවිපේ විසින් තේරුම් ගැනීමයි. එමෙන්ම ප්‍රමාණාත්මකව අඩු වුවත් රට පුරා විසිරුණු ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් මේ කඳවුරට හිමි බව පසුගිය මැතිවරණ දෙකේදීම පෙනෙන්ට තිබුණ යථාර්ථයයි. අනෙක් වැදගත්ම කාරණය වන්නේ වාම දේශපාලන භාවිතාව යනු මැතිවරණ වලට ඉදිරිපත් වී මන්ත්‍රීවරුන් පත්කර ගැනීම පමණක් නොවන බව අවබෝධ කර ගැනීමයි. ඒ මාර්ගයේ ගමන් කල ලංකාවේ සමසමාජ පක්ෂය, කොමිනිස්ට් පක්ෂය සහ වාසුදේව නානායක්කාර වැනි වාමාංශික නායකයින්ට පවා ඉතිහාසයේ කුණු බක්කිය හිමි වූ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් දේශපාලන අරගල භූමියේ වාමවාදී නියෝජනයක අවශ්‍යතාවය කිසිසේත්ම අවලංගු වී නොමැති බව අපේ අදහසයි. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනය සම්බන්ධයෙන් සැලකීමේදී පවා වාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්පයක් සඳහා වන ඉල්ලීම වැඩි වෙමින් පවතී. එය මැතිවරණ දේශපාලනයට පමණක්ම සීමා වූවක් නොවේ.

ජාතික ජන බලවේගයට තමන් ආරම්භ කල අරගලය අධිෂ්ඨාණශීලීව ඉදිරියට ගෙන යෑම හැරුණු කොට වෙනත් විකල්පයක් නැත. විකල්ප දේශපාලන බලාපොරොත්තුවක් තබාගෙන සිටින ලංකාවේ දේශපාලන තීරුවටත් කොතරම් අඩුපාඩුකම් සහ විවේචන පැවතියත් මේ බලවේගය සමඟ විවේචනාත්මක සම්බන්ධතාවයක් පැවැත්වීම හැරුණු කොට වෙනත් විකල්පයක් පොළොවේ නැත. ඉදහිට විකල්ප ලෙස මතු වීමට උත්සහ කරන නාගානන්ද වැනි උන්මත්තකයින්ට විකල්ප සහ රැඩිකල් දේශපාලනයක් සම්බන්ධයෙන් අපේක්ෂා තබාගෙන සිටින තීරුව ජෝකර්ලා බවට පත් කිරිමට ඉඩදිය යුතු නැත.

මේ සියලු තත්ත්වයන් යටතේ අරගලයේ ධජය අත් නොහැර ඉදිරියට යෑම හැරුණු කොට වෙනත් විකල්පයක් ජවිපෙට පමණක් නොව ලංකාවේ සමස්තයක් වශයෙන් විකල්ප දේශපාලන දහරාවට නොමැති බව අපේ අදහසයි. මේ දුෂ්කර මොහොතක් විය හැක. නමුත් දේශපාලන විකල්පයක අවශ්‍යතාවය අවලංගු වී නොමැත. එමෙන්ම එම විකල්ප දේශපාලනයට පණ පෙවිය හැකි ජවිපෙ හැරුණු කොට වෙනත් දේශපාලන බලවේගයක්ද පොළොවේ නොමැත. ඉදින් මේ කඳවුර ශක්තිමත් කරමින් ඉදිරිය දෙස බැලීම හැරුණු කොට ලංකාවේ වාම ප්‍රජාතන්ත්‍රවාදීන්ට වෙනත් විකල්පයක්ද නැත.  

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *