අලිසබ්රි සහ විසකුරු ජාතිවාදය

පසුගියදා පත් වූ නව රජයේ කැබිනට් මණ්ඩලයේ අධිකරණ ඇමතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් පත්වීමෙන් පසුව දිවුරුම් දුන් පළමු ඇමති මණ්ඩලයේ එකදු මුස්ලිම් ජාතික ඇමතිවරයෙක් වත් සිටියේ නැත. කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයේ මේ ආකාරයෙන් හෝ මුස්ලිම් ජාතික නියෝජනයක් පැවතීම අගය කල යුතු යැයි සිතමි. එසේ කියන්නේ  කැබිනට්  මණ්ඩලය හෝ වෙනත් තනතුරු වලට පුද්ගලයින් පත්කිරීමේදී ජාතිය ආගම වැනි සාධක සලකා බලමින් එය සිදු කල යුතු යැයි විශ්වාස කරන නිසා නොව බහු වාර්ගික සහ බහු සංස්කෘතික රටක් වන ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම එම බහු සංස්කෘතිකත්වය සංකේතාත්මකව හෝ නිරූපණය විය යුතු යැයි විශ්වාස කරන නිසාය. එය තවත් විදිහකට කිවහොත් පොහොට්ටු පක්ෂයේ සමහර පිරිස් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිළිබඳව කියමින් සිටින කථාව මහ පොළොවේ යථාර්ථය නොවන බව ඇකමැත්තෙන් හෝ ඔවුන් පිළිගත යුතු නිසාය.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාව වන විට ලංකාවේ සිංහල සහ මුස්ලීම් සමාජයන් වේගයෙන් ධ්‍රැවීයකරණය වෙමින් පැවති බව අපි ඉතා හොඳින් දනිමු. මේ සඳහා හේතු වූ සමාජ දේශපාලන හේතුන් බොහෝ ප්‍රමාණයක් පැවති අතර සිංහල සහ මුස්ලිම් දෙපාර්ශවයේම අනත්වාදීන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ මහ පොළොවේ සංහිදියාවෙන් ජීවත් වූවා යැයි කිවහැකි මේ ජාතින් දෙක වේගයෙන් පස මිතුරන් බවට පත්කරමින් සිටියහ. සිංහල සමාජයේ මුස්ලිම් සමාජය පිළිබඳවත් මුස්ලිම් සමාජයේ සිංහල සමාජය පිළිබඳවත් සැකයක් සහ වෛරයක් පෝෂණය කිරීමට මේ දෙපාර්ශවයේම අන්තවාදීන්ට හැකි වූ බව අපි දනිමු. විශේෂයෙන්ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය විසින් මේ තත්ත්වය තවත් උග්‍ර වූවා යැයි සිතමි.

මේ සියලු තත්ත්වයන් සමඟ සිංහල අන්තවාදීන් විසින් මැතිවරණය ආශ්‍රිත ගොඩනැගූ වැදගත් තර්කයක් වූයේ තනි සිංහල ආණ්ඩුවක් ගොඩනැගීමයි. සාමාන්‍යයෙන් අපේ රටේ නිදහසින් පසුව පැමිණි බොහෝ මැතිවරණයන්හිදී ආණ්ඩුව පිහිටුවීමේදී සුළු ජාතික ඡන්ද පදනම කිසිසේත්ම නොතකා හැරිය නොහැකි සාධකයක් වූ බව අපි දනිමු. එක් යුගයක වතුකරයේ තොන්ඩමන්ලා ලංකීය දේශපාලනයේ රජුන් තනන්නන් වශයෙන් බෞතිෂ්ම කර තිබුණේ මේ හේතුව නිසාය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයකදී සුළු ජාතික ඡන්ද ලබා ගැනීම ජයග්‍රහණය සඳහා අනිවාර්ය සාධකයක් විය. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවාට විරුද්ධ ප්‍රධාන පාර්ශවයක් වූයේද මේ සුළු ජාතික දේශපාලන පක්ෂයි. එයට හේතුව වූයේ ජනාධිපතිවරණයකදී තම ඡන්ද පදනම කේවල් කිරීමේ අවස්ථාව මේ සුළු ජාතික දේශපාලන පක්ෂ වලට අහිමි වන නිසාය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මේ සාධකය වෙනස් වූ බව අපි දුටුවෙමු. එක්තරා ආකාරයකට ලංකාවේ මැතිවරණ සිතියම අලුතින් ලියූ මැතිවරණයන් වශයෙන් මේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හඳුන්වාදිය හැක.

මේ සඳහා බලපෑ ප්‍රධානතම හේතුව වූයේ සුළු ජාතික ඡන්ද පදනම එක කඳවුරකටත් මහ ජාතියේ, පෙර මැතිවරණ වලට වඩා සාතිශය බහුතරයක් වූ ඡන්ද පදනම පොහොට්ටුව නියෝජනය කල කඳවුරුටත් හිමිවීම බව අපි දුටුවෙමු. විශේෂයෙන් මුස්ලිම් ජාතිය ප්‍රධාන සුළු ජාතීන් සම්බන්ධයෙන් සමාජයේ මත වාදිමය තලයේ ඇති කර තිබූ සැකය සහ බිය විසින් බහුතරයක් සිංහල ඡන්දදායකයින් වෙනත් දේශපාලන හේතුන් නොසලකමින් පොහොට්ටු පක්ෂයට ඡන්දය ලබා දී තිබේ. ඒ ආකාරයටම උතුරෙත් දකුණෙත් සුළු ජාතීන් තමන්වෙත එල්ල වූ පීඩනය නිසා වෙනත් දේශපාලන හේතු නොසලකමින් පොහොට්ටුවට විරුද්ධ කඳවුරට ජන්දය භාවිතා කර තිබේ. මෙය වඩා හොඳින් දැකිය හැකි වූයේ ගෙවුන ජනාධිපතිවරණයේදීය.

මේ මැතිවරණ අවසානයත් සමඟ විසකුරු සහ අන්තවාදී ජාතිවාදීන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් තමුන්ගේ අන්තවාදී දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට මාන බලමින් සිටියි. ඒ සඳහා වන හොඳම උදාහරණයක් වශයෙන් පෙන්වාදිය හැක්කේ අභිනව රජයේ අධිකරණ ඇමතිවරයා වශයෙන් පත් වූ අලිසබ්රි මහතාට විරුද්ධව මුදා හැර තිබෙන වෛරීසහගත විරෝධයයි. සාමාන්‍යයෙන් අලිසබ්රි මහතා නියෝජනය කරන්නේ අන්තවාදී මුස්ලිම් සමාජය නොවන බව ඉතා පැහැදිලිය. සිංහල භාෂාව ඉතා ව්‍යක්ත ලෙස හසුරු වන හෙතෙම සිංහල සමාජය සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වන තැනැත්තෙකු බව ප්‍රකටය. පසුගිය ජාතිවාදී උණුසුම පැවති සමයේ ඒ මහතා මත වාදිමය වශයෙන් පෙනී සිටියේත් අන්තවාදය වෙනුවෙන් නොවේ. සියලු ජාතීන්ගේ අන්තවාදය විවේචනය කළ ඔහු විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදයට විරුද්ධව හඩ නැගූ මුස්ලිම් සමාජයේ ප්‍රධාන කථිකයෙකි.

අපි මේ කරුණු දැක්වීමෙන් අලිසබ්රි යන දේශපාලකයාට සුදු හුණු ගෑමට උත්සහ නොකරන බව කිව යුතුය. ඔහුගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීයෙකුට ඕනෑම දේශපාලන විවේචනයක් කළ හැක. එවැනි දේශපාලන විවේචන ඕනෑ තරම් ඔහු සම්බන්ධයෙන් තිබිය හැක. එම දේශපාලන විවේචන වලට පිලිතුරුදීම අලිසබ්රි මහතාගේ වැඩකි. පෞද්ගලිකව ඔහු සම්බන්ධයෙන් හෝ ඔහුගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් අපි කිසිවක් දන්නේ නැත.

නමුත් අලිසබ්රි මහතා ඇමතිවරයෙකු වශයෙන් පත් කිරීමෙන් පසුව සිංහල අන්තවාදීන් විසින් ඒ මහතාට විරුද්ධව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාර‍යේ ඔහුට විරුද්ධ ප්‍රධාන විවේචනය වූයේ ඔහු මුසල්මානවෙකු වීමයි.  

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වල සංසරණය වූ ඡායාරූපයකින් මේ විසකුරු ජාතිවාදීන්ගේ න්‍යාය පත්‍රය තේරුම් ගැනීම පහසුය. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී නායකයෙකුත් සහරානුත් ඇඟිල්ල ඔසවාගෙන සිටිනා ඡායාරූපයක් සමඟ අලිසබ්රි මහතා යම් සභාවක කථා කරන විට අංගචලනයක් වශයෙන් ඇඟිල්ල ඔසවාගෙන සිටින ඡායාරූපයක් පලකර තිබේ. ඊට යටින් දක්වා තිබෙන්නේ කිනම් තනතුරක් දැරුවත් ඔවුන්ගේ ත්‍රස්තාවාදී සංඥාව මෙයයි යන අදහස දැක්වෙන පාඨයකි. මෙහිදී කිසිදු හේතුවක් නොමැතිව අලිසබ්රි මහතා ඇඟිල්ල ඔසවමින් සාමාන්‍ය සභාවක කථා කිරීම මතම ඔහු අයි.එස්.අයි.එස්. හෝ සහරාන් වැනි වූ ත්‍රස්තවාදියෙකුට සමාන කර තිබේ. ඒ අනුව මෙහි අලිසබ්රි මහතාට විරුද්ධව ඉදිරිපත් කරන ප්‍රධානතම චෝදනාව වන්නේ ඔහු මුස්ලිම් ජාතිකයෙකු වීමය යන්න තේරුම් ගැනීමට අපහසු නැත.

මේ චෝදනා මේ ආකාරයෙන් ඉදිරිපත් වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ සිංහල අන්තවාදීන් විසින් විශ්වාස කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය තුලින් බිහිකරගත් තනි සිංහල ආණ්ඩුවේ මුස්ලිම් ජාතිකයෙකුට මොනම හේතුවක් නිසාවත් ඉඩක් නොදිය  යුතුය යන පදනමින් බව තේරුම් ගැනීමට කිසිසේත්ම අපහසු නැත. මෙහිදී මුලින්ම කෙතරම් සීමාකම් මධ‍්‍යයේ  වුවත් අලිසබ්රි මහතා ඔහුගේ ජාතිකත්වය නොසලකමින් කැබිනට් මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් මේ රටේ සාධාරණව හිතන පුරුවැසියන්ගේ ප්‍රසංශාව රජයට පලකල යුතුය යන්න අපේ අදහස වේ. මුලිනුත් අපි සඳහන් කරනු ලැබූ ආකාරයට අපේ රටේ මැතිවරණ සිතියම වෙනස් කරමින් රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සාතිශය බහුතරයක් සිංහලයින්ගේ ඡන්ද වලින් බලයට පත්වී තිබුණත් ආණ්ඩුකරණයේදී අන්තවාදීන්ගේ පදයට නැටීමට ආණ්ඩුවකට නොහැකි බව මේ ආණ්ඩුව තේරුම් ගත යුතුය. විශේෂයෙන් ලංකාව වැනි බහු සංස්කෘතික සමාජයක තනි මහ ජාතිකයකගේ  බලයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගෙන අන්‍ය සුළු ජාතිකයින් තලා පෙලා සහ කොන් කරමින් ආණ්ඩු කිරීමට සිතීමම මහා විනාශයක ආරම්භයකි. මොන තත්ත්වය යටතේ වුවත් අතිශය ප්‍රායෝගික දේශපාලකයෙක් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැනි ජාත්‍යන්තර අත්දැකීම්  ඇති නායකයෙකු එතරම් අන්තවාදී සහ වර්ගවාදී මඩ ගොහොරුවක එරීගොස් සිය දිවි නසා ගනු ඇතැයි සිතිය නොහැක. අලිසබ්රි මහතා අධිකරණ ඇමතිවරයා වශයෙන් පත්කිරීම අපි තේරුම්ගත යුත්තේ ඒ ආකාරයෙන් බව මම සිතමි. විසකුරු අන්තවාදී ජාතිවාදීන් කිපී තිබෙන්නේ අලිසබ්රි මහතා මුස්ලිම් ජාතිකයෙකු වීම නිසාය. ඔවුනගේ ප්‍රාර්ථනාව වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ කිසිදු මුසල්මානුවෙකුට රාජ්‍ය පාලනය සඳහා අවකාශය අහිමි කිරීම පමණක් නොව මුස්ලීම් සමාජය තලා පෙලා යටත් කර තබා ගැනීම බවයි. මෙය සහරාන්ගේ අන්තවාදයේම අනෙක් අන්තය බව කීමට තවත් උපමා  උපහැරණ අවශ්‍ය නැතැයි අපි සිතමු. ඉදින් අපේ රටේ සාධාරණව සිතන සියලුම ජාතීන් වල මිනිසුන් අලිසබ්රි වෙනුවෙන් විසකුරු අන්තවාදීන්ට විරුද්ධව මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමඟ සිට ගත යුතුය යන්න අපේ අදහසයි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *