අළුත් ආණ්ඩුව

අළුත් ආණ්ඩුව වැඩ අරඹා තිබේ. පාර්ලිමේන්තුව තවම රැස් වූවා පමණය. ඉදින් මේ ආරම්භක මොහොතේම අසුභවාදී වීම සුදුසු නැතැයි කෙනෙකු කිව හැකිය. එය නම් ඇත්තය. අසුභවාදි වීම සුදුසු නැත. මහා බලාපොරොත්තු කෙසේ වෙතත් අවම තත්වයකින් හෝ රාජ්‍යකරණය කළමනාකරණය කිරීමට හැකි වේවාය යන්න අපේද පැතුමය.

නමුත් ආණ්ඩුව අලුත් වුණාට ජනාධිපතිවරණයෙන් පසුව ගෙවුණ මාස කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුළින් මේ ආණ්ඩුවේ දeaම සහ වැඩ පිළිවෙල පිළිබඳව යම් චිත්‍රයක් ඇති කර ගත හැකිය. කෙසේ වුවත් විවේචනය කිරීමට සහ විරෝධය දැක්වීමට තවම කල් වැඩිය. ආණ්ඩුවේ යහපත් ඕනෑම වැඩකට දේශපාලන පස මිතුරු කම් පසෙක තබා සහයෝගය ලබා දීම කාගෙත් යුතු කමය. මන්ද මේ අළුත් ආණ්ඩුව ‍ඓතිහාසික එකක් වන නිසාය. සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව 2/3 බහුතරයක් ලබා  ගැනීමට සමත් වූ ප්‍රථම ආණ්ඩුව මේ ආණ්ඩුවයි. බහුතර ජනවරමක් තුලින් සිය බලය තහවුරු කර ගත් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මෙරට සුවහසක් ජනතාව බලාපොරොත්තු දල්වා සිටින බව අපි කවුරුත් දනිමු.

දැනට පෙනෙන්නට තිබෙන කාරනා අණුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් කෙරෙහි නව ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව අපට පෙනෙන්නට තිබේ. 20 වන සංශෝධනය වශයෙන් සමාජයේ කථා බහට ලක් වී තිබෙන්නේ එයයි. තවම එම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන සංශෝධනයන් සම්බන්ධයෙන් පැහැදිලි යමක් කිසිවෙක් දන්නේ නැත. නමුත් 19 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන අකර්මන්‍යකර ජනාධිපතිවරයාට නැවත වැඩි බලයක් ලැබෙන අධිකාරිවාදී සංශෝධන කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව පැහැදිලිව හඳුනාගත හැක. කෙතරම් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් වුවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආපස්සට හරවන ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණයට ආණ්ඩුව සැරසේනම් ප්‍රගතිශීලි සිවිල් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට ඊට විරුද්ධ සක්‍රීය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අත්නොහැරිය හැකි වගකීමක් තිබෙන බව පමණක් දැනට අපි සටහන් කර තබමු. කෙසේ වෙතත් විශාල ජනවරමකින් බලයට පත් වූ අභිනව ආණ්ඩුවට ජනතා ප්‍රාර්ථනා ඉටු කිරීම සඳහා සුභ පැතීමටද අපි අමතක නොකරමු.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *