සන්ථව කාව්‍ය විචාර උළෙල

ලංකාවේ සාහිත්‍ය සම්බන්ධයෙන් වර්තමානයේ තිබෙන අදහස සතුටු විය හැකි එකක් නොවේ. සාහිත්‍යයට ආදරය කරන සීමිත ප්‍රජාව තුළ පවතින සාමාන්‍ය අදහස වන්නේ වර්තමාන පරපුර කියවීමෙන් සහ රස විඳීමෙන් ඈත් වී ඇති බවයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ස්මාර්ට් ෆෝන් ඇතුළු ඩිජිටල් ලෝකයක අතරමං වූ වර්තමාන පරම්පරාව හරසුන් සහ සාහිත්‍ය කලාව ස්පර්ෂ නොකරන යාන්ත්‍රික පරම්පරාවක් බවයි. සමස්තයක් ලෙස ගෙන බැලීමේදී මේ විවේචනයේ ගතානුගතික සම්ප්‍රධායිකත්වයක් තිබෙන බව කිව හැක. එනම් අතීත කාමයක් සහ වත්මන් යුගය සහ වත්මන් පරම්පරාව පිළිබඳව එක දෘෂ්ඨි කෝණයකින් පමණක් බලා සිදු කරන අදහස් දැක්වීමක් බව කිව හැක‍.

සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැලකීමේදී කවියෙහි මෑත යුගයේ උද්යෝගයක් ඇති වි තිබෙන බව කිවහොත් එය අතිශෝක්තියක් නොවේ යැයි සිතමි. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාව කවි ඇතුළු නිර්මාණ පලකිරීමට යොදා ගන්නා ප්‍රකාශන මාධ්‍යයක් වීම මේ උද්යෝගය සහ උනන්දුව සඳහා බලපාන ප්‍රධානතම හේතුව යැයි සිතමි. ෆේස්බුක් වල පලවන සෑම නිර්මාණයක්ම ඉහළ ගණයේ නිර්මාණ යැයි කිව නොහැකි වෙතත් මේ වේදිකාව තුළිනුත් විශිෂ්ට නිර්මාණ සහ නිර්මාණකරුවන් බිහිවූ බව ගෙවුන දශකයක කාලය තුළ ඕනෑ තරම් උදාහරණ තිබේ.

කිනම් තත්වයක් තුල හෝ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇති වන උද්යෝගයන් දෙස සාධනීයව බැලිය යුතු යැයි සිතමි. ඒ අර්ථයෙන් කවිය සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන උද්යෝගය අඳුරු වලාවක දිලෙන සහන් ආලෝකයක් වැනි යැයි සිතමි.

ඒ සහන් ආලෝකය දැල්වීමෙහිලා වර්තමානයේ බිහි වූ නව පරපුරේ කවි කිවිදියන් කිහිපදෙනා දක්වා තිබෙන දායකත්වය අගය කළ යුතු යැයි සිතමි. එමෙන්ම සාහිත්‍යාංගයක් වශයෙන් කවිය ප්‍රවර්ධනය කිරිමේ අපේක්ෂාවෙන්ම බිහි වූ ප්‍රකාශන ආයතනයක් වන සන්ථව භූමිකාව මෑත යුගයේ කවියේ නවෝදය පිලිබඳව කතා කිරීමේදී මගහැර යා නොහැකි සුවිශේෂ සාධකයකි. සාමාන්‍යයෙන් අපේ රටේ කවියන්ට සමාජ මාධ්‍ය වේදිකාව විවර වීමට ප්‍රථම සිය නිර්මාණ එළි දැක්වීම සඳහා තිබුණ එකම මාධ්‍ය වූයේ පත්තර වල කවි පිටුවයි. ප්‍රකාශකයින් කවි පොත් ප්‍රකාශයට පත් කිරීම වාණිජමය සාධක නිසා ප්‍රතික්ෂේප කල අතර ඉදහිට හෝ ප්‍රකාශයට පත්වූයේ නාමධාරි සිවිල් වටිනාකමක් සහිත කවීන්ගේ කවි පොත් පමණය. ආධුනික කවියෙකුට තමන්ගේ නිර්මාණයන් මුද්‍රණාත්වාරයෙන් එළි දක්වා ගැනීම සැබෑම අභියෝගයක් විය. ආධුනික කවියෙක් කතෘ ප්‍රකාශනයක් වශයෙන් සිය නිර්මාණයක් එළිදැක්වුවත් එය සමාජ ගත කිරීම නැතහොත් පොත් රට තුළ බෙදා හැරීම නිර්මාණකරුවා මුහුණ දෙන විශාල අභියෝගයක් විය.  

 මෑත කාලයේ  සමාජ මාධ්‍ය වේදිකාව කවීන්ට සිය නිර්මාණ එළිදැක්වීමට ඉමහත් පිටුවහලක් වුවද පොතක් එළිදැක්වීමේදී පෙර පැවති අභියෝගය එසේම පැවතින. කෙසේ වෙතත් පෙර වසර පහ හයකට ප්‍රථම ආරම්භ කළ සන්ථව ප්‍රකාශකයෝ කවීන් ගේ නිර්මාණ එලි දැක්වීමේදී මුහුණ දීමට සිදු වී තිබෙන බොහෝ ගැටළුවලට සාර්ථක පිළිතුරක් ලබා දී තිබෙන බව ගෞරව පූර්වකව කිව යුතුය. ඉතා විධිමත් සහ සංවිධානාත්මකව බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යන සන්ථව ප්‍රකාශකයෝ ආධුනික ප්‍රවීණ බේදයකින් තොරව ඉහල මට්ටමේ නිර්මාණයන් ප්‍රකාශයට පත්කිරීමට ලබාදෙන අවස්ථාව සාහිත්‍ය සමාජයේ වෙසෙස් ගෞරවයට පාත්‍ර විය යුතු බව අපි විශ්වාස කරමු. මෑත කාලයේ බිහි වූ බොහෝමයක් කාව්‍ය නිර්මාණ වල ප්‍රකාශකයා සන්ථවය. මේ වන විට කාව්‍ය ප්‍රකාශන ක්ෂේත්‍රයේ ලාංකීය සන්නාමය බවට සන්ථව ප්‍රකාශකයෝ පත් වී තිබෙන බව නිසැකවම කිව හැක.

සන්ථව ප්‍රකාශකයෝ සිය ප්‍රකාශන භූමිකාවට සීමා නොවී සැප්තැම්බර් සාහිත්‍ය මාසයට සමගාමීව කාව්‍ය විචාර වැඩසටහනක්ද සංවිධානය කර තිබේ. ලංකාවේ කවියේ වර්ණවත් භාවය උදෙසා එම වැඩසටහනින් ද වටිනා කාර්ය භාරයක් සිදුවෙනු ඇතැයි ලාංකීය සාහිත්‍ය සමාජය බලාපොරොත්තු සහගතව බලා සිටින බව කිව යුතුය.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *