විදේශ විනිමය අර්බුදය

ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේදී බරපතල විදේශ විනිමය අර්බුදයකට මැදි වී සිටින බව කවුරුත් ඉතා හොඳින් දනිති. යන්තම් හුස්මක් ගැනීමට වත් විදේශ විනිමයක් උපයා දෙන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සහ කටුනායක ඇඟලුම් සේවිකාවන් විසින්ය. කොටින්ම අපි ජාතියක් වශයෙන් දිවි ගෙවන්නේ අපේ ගැහැණුන්ගේ දාඩිය මහන්සියෙන්ය යන්න යථාර්ථය වේ. එය තවත් පැහැදිලිව පවසන්නේ නම් ලෝකයේ ගැහැණුන් විකුණා ජීවත් වීමට සිදු වී තිබෙන ජාතියක් බවට අපේ ඉරණම පිළිබඳ යථාර්ථය පිළිගැනීමට ලැජ්ජාවෙන් වුවත් අපට සිදු වී තිබේ. කරවටක් ගිලී තිබෙන ණය අර්බුදය සහ කොවිඩ් ඛේදවාචකය විසින් සංචාරක සහ ඇඟලුම් ආදී කර්මාන්තයන්ගේ බිද වැටීම තුළ ලැබෙන සොච්චම් විදේශ විනිමය ප්‍රමාණයත් නොලැබී යාම තුළ අප රටක් වශයෙන් දැවැන්ත ආර්ථික අර්බුදයක එළිපත්තේ සිටින බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යාව පිළිබඳව ඉහල දැනුමක් අවශ්‍ය වන්නේ නැත.  

විදේශ විනිමය ඉපැයිම සඳහා අපි යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කර විදේශ වෙළඳ පොළට අලෙවි කර ආදායම් ඉපැයිය යුතු බව අපි ඉතාම හොඳින් දනිමු. මෙය හිතන තරම් සහ කියන තරම් ලේසි පහසු ව්‍යාපෘතියක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. නිදහසින් පසුව ගෙවුන දශක හතක ඉතිහාසය පුරාවටම තේ, පොල්, රබර් වැනි වූ කෘෂි නිෂ්පාදන කිහිපයකට සහ විදේශ රැකියා සහ ඇඟලුම් කර්මාන්තය යන ක්ෂේත්‍ර කිහිපයකට පමණක්ම අපේ රටේ අපනයන ආර්ථිකය හිර වී තිබීමෙන්ම එම අපහසුවේ තරම හොඳින්ම තේරුම් ගත හැකිය. කෙසේ වෙතත් මැතිවරණයක් ආශ්‍රිතව සෑම දේශපාලන පක්ෂයක්ම සිය ආර්ථික ප්‍රතිපත්ති වල විදේශ විනිමය ඉපැයිමේ සැලසුම් සහ වැඩ පිළිවෙලවල් ගැන ඉතා සුන්දර අදහස් ඉදිරිපත් කරනවා දැක තිබේ. නමුත් ප්‍රායෝගික තලයේදී ඒවා සුපුරුදු හුදු කයිවාරු පමණක්ම වූ බවට ඉහත සඳහන් කළ සීමිත ක්ෂේත්‍රයන් කිහිපයකට පමණක් අපේ විදේශ විනිමය ඉපැයීම සීමාවී තිබීමෙන් පෙනී යයි. එම ක්ෂේත්‍රයන්ගෙන්ද අප උපයමින් තිබුණේ අපේ මූලික අවශ්‍යතාවයෙන් 50% කටත් අඩු විදේශ විනිමය පමණක් වූ අතර එම සොච්චම් ආදායමත් දැන් අහිමි වෙමින් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය බලයට පත්වූයේ අපේ රටේ ජනතාවගේ බහුතරයකගේ නැවුම් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සමඟය. මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා දීමෙන් ජනතාවගේ ඒ අපේක්ෂාවන් තවත් තහවුරු කරනු ලැබීය. රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ජාලය ආශ්‍රිත කර්මාන්ත සහ අධ්‍යාපනයේ වැදගත් කම අවධාරණය කර තිබුණ අතර රජයක් වශයෙන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා පැහැදිලි සහයෝගයක් ලබා දෙන බව ප්‍රකාශ වී තිබුණි. ක්‍රියාවට නගනවා නම් එම යෝජනාව අපි සිරවී සිටින ආර්ථික අර්බුදයට වඩාත් පලදායි සහ නව විසඳුමක් වශයෙන් යොදාගත හැකි බව අපි විශ්වාස කරමු. ලෝකයේ සන්නිවේදනය පමණක් නොව ආර්ථික, සමාජ දේශපාලනික ආදී වූ සෑම ක්ෂේත්‍රයක්ම අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ පසුගිය දශක දෙකක පමණ කෙටි ඉතිහාසය තුළ උඩු යටිකුරු වූ බව අපි ඉතාම හොඳින් දනිමු. එම දැවැන්ත විප්ලවයට සාපේක්ෂව අපි රටක් වශයෙන් කෙතරම් යාවත්කාලීන වී තිබේද යන්න නැවත සිතා බැලිය යුතුය.

අසල්වැසි ඉන්දියාවේ මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තිබෙන උනන්දුව දෙස බැලීමෙන් වුවත් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. ඇමරිකානු සහ යුරෝපීය වෙබ් අඩවි වල පූර්ණකාලීනව ඉන්දියාවේ සිටම රැකියා කරන ඉන්දියානුවන් දහස් ගණනක් සිටිති. ඒ සඳහා වන යටිතල පහසුකම් සහ අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත ආණ්ඩු විශාල සහයෝගයක් ලබා දෙයි.

ලංකාවේ මෑත ඉතිහාසයේ තරුණ ප්‍රජාව අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙත යොමු වී සිටියි. සමස්තයක් වශයෙන් සැලකීමේදී අපේ රටේ අන්තර්ජාල භාවිතය ඉහල මට්ටමක පවතී. එයින් සාතිශය බහුතරයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙතට යොමුවීම සඳහා අන්තර්ජාලය භාවිතා කරන බව අපි දනිමු. යූටියුබ් වැනි සමාජ මාධ්‍ය වේදිකාවක් තුළ වුවත් නිර්මාණශීලි ඉදිරිපත් කිරීම් සිදු කරන නිර්මාණකරුවන් යම් පිරිසක් බිහි වී තිබේ. යම්තාක් දුරට  ෙෆාරෙක්ස්  වැනි ආයෝජනයන් සඳහා ද වෙනත් ට්‍රේඩින් සඳහාද සීමිත පිරිසක් අපේ රටේද යොමු වී සිටින බව පෙනේ. ඩ්‍රොප්ෂිපින් වැනි ක්ෂේත්‍රයක් සැලකුවද දැන් තරුණ ප්‍රජාව මේ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුවත් වෙමින් සහ යොමු වෙමින් සිටියි. අලි බබා සහ ඇමසන් වැනි දැවැන්ත ජාත්‍යන්තර ෙවබ් අඩවි වලින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වා ගැනීම අපේ රටේත් වර්තමානය වන විට අමුතු දෙයක් නොවේ. එමෙන්ම අප මුලින් දැන හඳුනාගෙන සිටියේ ” සමාජ ක්‍රියාකාරීන්” ය නමුත් වර්තමානයේ ” සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්” වශයෙන් හඳුනාගන්නා පිරිසක්ද ගොඩ නැගී තිබේ. සමාජ ක්‍රියාකාරකම් වල වේදිකාව සමාජ මාධ්‍ය බවට පත් වී තිබෙන යථාර්ථය මෙයින් පෙනේ.

මේ සියලු තත්ත්වයන් දෙස සාධනීයව බැලිය හැක. නමුත් වඩාත් නිර්මාණශීලී ලෙස මේ අවකාශය ආර්ථික අරමුණු සඳහා යොදා ගැනීම සඳහා ජාතියක් වශයෙන් අපි අවධානය යොමු කර තිබේද? මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම සහ සහයෝගය ලැබේ නම් මේ ක්ෂේත්‍රය මීට වඩා කිහිප ගුණයක් පලදායක ලෙස යොදා ගත හැකිය යන්න අපගේ අදහසයි. උදාහරණයක් වශයෙන් ඩොලර් ට්‍රිලියන 9 කට වඩා සංසරණය වන ලෝකයේ විශාලතම මූල්‍ය වෙළඳපල ආශ්‍රිතව පවතින ෙෆාරෙක්ස් ට්‍රේඩින් කිරීමට ලංකාවේ තවමත් නීතිමය බාධාවන් පවතී. කෙසේ වෙතත් දක්ෂ තරුණයින් කිහිප දෙනෙක්ම මේ ක්ෂ්ත්‍රයෙන් විශාල ආදායම් උපදවන බව මේ පිළිබඳව අපි කළ සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුණි. ඒ සම්බන්ධයෙන් වන නීතිමය බාධාවන් ඉවත් කර මේ ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යනය සහ සහයෝගය ලබා දීමට රජය මැදිහත් වන්නේ නම් දිගු කාලීන ව්‍යාපෘතියක් තුළින් මෙය විදේශ විනිමය උත්පාදනය කරන උල්පතක් බවට පත් කර ගත හැකි යැයි අපි සිතමු. මේවා හිතන තරම් සහ කියන තරම් පහසු නැති බව සත්‍යය. නමුත් මේ ක්ෂේත්‍රයේ අපි සිතා බලා වත් නොමැති විදේශ විනිමය රටට උපයාගත හැකි ක්ෂේත්‍රයක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු යැයි සිතමි. ඇමසන් අලි බබා වැනි වෙබ් අඩවිෙයන් එක කුඩා ක්ෂේත්‍රයක සහාය සේවාවක් ලබා දීමට ගිවිසුම් ගතවීමට අපේ රටට හැකි වුවහොත් කෙතරම් රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරගත හැකිද? එවැනි ක්ෂේත්‍රයන් පිළබඳව අපි තවම සිතා බලාවත් නොමැත. අවසාන වශයෙන් ඉතා කෙටියෙන් අපි මෙයින් අවධාරණය කර සිටින්නේ නව නිෂ්පාදන සිදු නොකරන ඛණිජ තෙල් වැනි ස්වාභාවික සම්පත් නොමැති බරපතල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අපේ රටට අන්තර්ජාල ආශ්‍රිත ව්‍යවසායකත්වයන් නිර්මාණශීලි ලෙස යොදාගැනීමෙන් විදේශ විනිමය උල්පතක් පාදාගත හැකි බවයි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *