නිම්නාගේ ඉතිහාසය

“නිම්නාගේ ඉතිහාසය” කෞෂල්‍ය කුමාරසිංහගේ දෙවන නවකතාව එළිදක්වා ටික කාලයක් ගත වී ගියද එය කියවීමට ඉඩ ලැබුණේ පසුගියදාය. ” මේ රහස් කවුළුවෙන් එබෙන්න” කෞෂල්‍යගේ ප්‍රථම නවකතාවයි. ප්‍රථම නවකතාව තුලින් ම ඉමහත් පාඨක විචාරක අවධානයට ලක් වූ කෞෂල්‍ය ස්වකීය දෙවැනි නවකතාව වන නිම්නාගේ ඉතිහාසය තුළින් ලංකාවේ නවකතා කලාව තුළ ඉතා වර්ණවත් ව ස්වකීය මුද්‍රාව තබා  ඇතැයි මට සිතේ. මුලින් ම කිව යුත්තේ මා මෙය ලියන්නේ ඉතාම සාමාන්‍ය හුදු පාඨකයෙකුට හැගෙන දැනෙන අදහසක් ඉදිරිපත් කිරීමක් වශයෙන් පමණක්ම බවයි. ඒ හැරුණු විට නවකතාවක හෝ සාහිත්‍ය ග්‍රන්ථයක විචාරයක් හෝ රසාස්වාදයක් ඉදිරිපත් කිරීමට ඒ සම්බන්ධයෙන් වන දැනුමක් හෝ පරිචයක් මා හට නොමැති බව මුලින්ම ඉතාම නිහතමානීව ප්‍රකාශකර සිටිමි. සාමා‍න්‍යයෙන් කියවීමට ආශාවක් තිබෙන සහ ඉඩ ලැබෙන සෑම මොහොතකම කියවීමට උත්සහ කරන සාමාන්‍ය පාඨකයෙක් වන මා හට ” නිම්නාගේ ඉතිහාසය” දැනුණ හැටි ගැන ලිවිය යුතු යැයි මම සිතුවෙමි.

සැබැවින්ම ඉතා දීර්ඝ නවකතාවක් වූ නිම්නාගේ ඉතිහාසය කෙතරම් දීර්ඝ නවකතාවක් වුවත් එක හුස්මටම ආශාවෙන් කියවාගෙන යා හැකි ආකාරයේ අපූර්වත්වයකින් යුක්තව සිය ගෙත්තම විවීමට කෞෂල්‍ය දක්වා තිබෙන බුහුටි භාවය නවකතාකරුවෙක් වශයෙන් වන ඔහුගේ ප්‍රතිභාවට හොඳම උදාහරණය වශයෙන් මට දැණුනි. දශක ගණනාවක ඉතිහාසයක හරස් කඩක් සහ විවිධ චරිතවල ඉතා සියුම් මනෝභාවයන් මෙන්ම එක්තරා යුගයක එක්තරා පරම්පරාවක පැතිකඩක් විශිෂ්ට පරිකල්පනයක් තුලින් සහ කියවීමේ රුචිය බිද කුදු අඩු නොවන ලෙස ලිවීමට වන කෞෂල්‍යගේ දක්ෂතාවය විශ්මය ජනක යැයි පොත කියවා නිමකල පසුව මට හිතුන ප්‍රධානතම කරුණය.

මා දන්නා ආකාරයට සිංහලෙන් නවකතා කියවන පාඨකයන් වඩාත් අභිරුචියෙන් කියවන ඉහල ගණයේ සාහිත්‍ය රසයක් සහිත නිර්මාණ වූයේ ලෝක සාහිත්‍ය පරිවර්තනය කරනු ලැබූ පරිවර්තන සාහිත්‍යයි. ගාමිණි වියන්ගොඩ වැනි සුවිශේෂී පරිවර්තකයන් කිහිප දෙනෙක් ලෝක සාහිත්‍යයේ රසය සිංහල පාඨකයාට සමීප කිරීම උදෙසා මහඟු කාර්යක් සිදු කලා යැයි මම සිතමි. පරිවර්තන සාහිත්‍ය තුළ එන එම විශිෂ්ට ලෝක සාහිත්‍ය කෘතීන් හැරුණු කොට සිංහල නවකතා කලාව විෂයෙහි ස්වතන්ත්‍ර නිර්මාණයක් සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමුවන්නේ කලාතුරකින් යැයි සිතමි. සයිමන් නවවත්තේගම, ලියනගේ අමරකීර්ති, සමන් වික්‍රමාරච්චි වැනි වූ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් සහ නිර්මාණ කිහිපයක් පමණක් නවකතා සාහිත්‍යයෙහි දී මෑත කාලයේ ලංකාවේ විශේෂ අවධානයට ලක් වූවා යැයි සිතමි. ප්‍රේම කථා වශයෙන් හඳුන්වන ශානරයට අයත් නිර්මාණ සඳහා යම් වෙළඳ පොලක් පැවතියත් ලංකාවේ ස්වතන්ත්‍ර නවකතාවක් සඳහා ඉහල අලෙවියක් වාර්තා වන්නේ කලාතුරකිනි.

මේ සියලු තත්ත්වයන් තුළ කෞෂල්‍යගේ නවකතා ලෝකයට වූ ආගමනයත්  සමඟ ස්වතන්ත්‍ර සිංහල නවකතා කලාවේ තමන්ට පැහැදිලි ඉඩක් තිබෙන බවට සිය මුල් නවකතා දෙක තුළින් කෞෂල්‍ය පෙන්වා තිබෙන බව කිවහොත් පාඨක විචාරක ඕනෑම අයෙක් පිළිගනු ඇතැයි මම සිතමි. එමෙන්ම සිංහලින් කියවන පාඨක ප්‍රජාවට අනාගතයේ ඉහල නිර්මාණ රස විදීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බවත් කිව හැක. විශේෂයෙන්ම ඉදිරියට මෙවැනි තරුණ නිර්මාණකරුවන් තවදුරටත් බිහිවේ යැයි සිතිය හැකි අතරම කෞෂල්‍ය තරුණ නිර්මාණකරුවෙක් වීම තුල ඉදිරියේදී තව  බොහෝ ඉහල නිර්මාණයන් ඔහුගෙන් අපේක්ෂා කල හැකි යැයි සිතමි.

” නිම්නාගේ ඉතිහාසය” තුල පාඨකයෙකු වශයෙන් මා දුටු අනෙක් වැදගත්ම කරුණ මෙතෙක් සිංහල සාහිත්‍ය නිර්මාණයක්  තුළින් නිර්මාණශීලී ලෙසින් ස්පර්ශ නොකරනු ලැබූ කලාපයන් කිහිපයක්ම ස්පර්ශ කිරීමට නිර්මාණකරුවා සාර්ථක උත්සාහයක් දරා ඇති බවයි. විශේෂයෙන් ලංකාවේ අසූව දශකයේ ඉපදුනු පරම්පරාවට මේ පොළොව තුළ අභිමුඛ වූ සමාජ දේශපාලන සංස්කෘතික සන්දර්භයන් ප්‍රමාණවත් ආකාරයෙන් සාහිත්‍ය නිර්මාණයක් තුළ නිරූපණය වී තිබේ දැයි ප්‍රශ්නයකි. කෙසේ වෙතත් අසූව දශකයේ ඉපදුන නිර්මාණකරුවකු වන කෞෂල්‍ය මේ පරම්පරාවේ කථාවත් තවත් දීර්ඝ සමාජ දේශපාලන ඉතිහාසයක් විවරණය කරන අතරම නිරූපණය කිරීමට සාර්ථක නිර්මාණාත්මක උත්සාහයක් නිම්නාගේ ඉතිහාසය තුළ දරා ඇතැයි පැහැදිලිවම පෙනේ.

විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ආගමනය එතෙක් පැවති සන්නිවේදනය පිළිබඳ අදහස පමණක් නොව මිනිස් සබඳතා වල ස්වරූපයද උඩු යටිකුරු කරනු ලැබූ මෑත කාලීන මිනිස් ඉතිහාසයේ සිදු වූ දැවැන්තම විප්ලවය යැයි හැඳින්වුවාට වරදක් නැතැයි සිතමි. තරුණ මහලු බේදයකින් තොරව සමස්ත මිනිස් ප්‍රජාව කෙරෙහිම දැවැන්ත බල පෑමක් සිදු කරනු ලැබූ මෙකී සංසිද්ධිය ලාංකීය සාහිත්‍ය තුළ අවධානයට ලක් වී ඇති ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණාත්මක නැතැයි සිතමි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ආගමනයත් සමඟ සිදු වූ මේ බලපෑම අසූව දශකයේ ඉපදුන පරම්පරාවේ ජීවිත වලට සිදු කරනු ලැබූ බලපෑම ඉතාම තීරණාත්මක යැයි සිතමි. නිම්නාගේ ඉතිහාසය තුල කෞෂල්‍ය මෙකී සංසිද්ධීන් ඉතාම නිර්මාණාත්මක ලෙසින් සිය නිර්මාණය තුල ස්ථාන ගත කර තිබෙන ආකාරය විශිෂ්ටය. සමකාලීන ඉතිහාසය පිළිබඳව වන සිය නිර්මාණයේ කථාව ගලා යෑමට කිසිදු බාධාවක් ඇති වන ආකාරයෙන් තොරව මෙන්ම නිර්මාණයේ කථා රසය සමඟ කිසිදු ආයාසයකින් තොරව පාඨකයාට රස විදිය හැකි ආකාරයට මෙකී ඓතිහාසික තත්වයන් නිර්මාණයේ පසුබිමේ ස්ථාන ගත කර තිබෙන ආකාරයේ බුහුටි භාවයම කෞෂල්‍ය නවකතාකරුවෙක් වශයෙන් කෙතරම් සාර්ථකද යන්න තහවුරු කරන බව මම සිතමි.

ලංකාවේ සමකාලීන දේශපාලන ඉතිහාසය සහ එහි හරස් කඩක් ඉතා අපූරුවට නවකතාව තුළ බහාලීමටද නිර්මාණකරුවා සමත් වී තිබේ. නිදහසට පෙර අතිතයේ පටන් ලාංකීය ඉතිහාසයේ වඩා තීරණාත්මක වූ මෑත දශක හතරක දේශපාලන ඉතිහාසය නවකතාව තුළ ස්ථානගත කර තිබෙන සියුම් බව තුළ එය නිර්මාණයේ කථා රසයේම කොටසක් වශයෙන් පාඨකයාට හැගී යයි. ගෙවුන දශක හතරක සමකාලීන ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂත්වය වන්නේ දේශපාලන අභිලාෂයන් ආයුධ සන්නද්ධ භාවිතාවක් තුළින් ප්‍රකාශ මාන විමයි. උතුරේ සහ දකුණේ වශයෙන් වෙනසකින් තොරව සිදු වූ මෙකී සන්නද්ධ දේශපාලන ඉතිහාසය අපට නව කතාව තුල හමු වේ. නිම්නාගේ පියා අමරගේ මරණය තුළ දකුණේ සන්නද්ධ දේශපාලනයේ ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සංකේතාත්මකව දක්වා තිබේ. එමෙන්ම යුධ ජයග්‍රහණයේ සතුට සමරන දකුණේ සමාජය මහ පාරේ කිරිබත් පිස කෑමේ සිට සයිබර් අවකාශයේ සමාජ මාධ්‍ය වල ප්‍රීති වීම දක්වා කථාව සමගම ගලා යන සමකාලීන ඉතිහාසය අපට හමුවේ. බර්ලින් තාප්පය බිඳ වැටුණු දිනයේ නිම්නාගේ උපත සිදු වීම තුළත් නිම්නාගේ උපන්දිනය සමරන දවසේ මෙකී ඉතිහාසය නිම්නා අරවින්ද සමඟ සිදුකරන සංවාදය තුළත් සමකාලීන ලෝක දේශපාලනයත් කතාව තුළ මඟනොහැරීමට නිර්මාණකරුවා සූක්ෂම වී තිබේ.

අරවින්දගේ චරිතය නවකතාව තුළ හමුවන ඉතා වැදගත් චරිතයක් පමණක් නොව ගැඹුරු සංකේතයක් ද වේ. මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගයේ අරවින්ද ලංකාවේ නවකතා සාහිත්‍ය ඉතිහාසයේ හමුවන සුවිශේෂිම චරිතයකි. විරාගයේ අරවින්දට නිම්නාගේ ඉතිහාසයේ අරවින්දගේ නෑදෑකම නවකතාව තුල කතුවරයා ඍජුව ප්‍රකාශ කරයි. සේනක සමඟ වන අරවින්දගේ සංවාදයකදී අරවින්දට ඔහුගේ පියා එම නම තැබුවේ විරාගයේ අරවින්ද චරිතය ඔහුට සිදු කල බලපෑම නිසා බව කියයි. අරවින්ද එය දැන සිටි බව සේනකට ඒ අවස්ථාවේ දී පවසයි.

අසූව දශකයේ අවසානය දක්වා ඉතිහාසය තුළ සිය දේශපාලන අභිලාෂයන් සහ ආවේගයන් සන්නද්ධව ප්‍රකාශ කල දකුණේ වාමාංශික රැඩිකල් තරුණ දේශපාලන ක්‍රියාකාරිත්වය දෙදාහ දශකය වන විට සිය භාවිතාව මතවාදීමය වශයෙන් සන්නද්ධ ගරිල්ලා සටනකට විතැන්වීමේ කතාවත් අපේ සමකාලීන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වශයෙන් සිතමි. බෝහෝ දෙනෙක් නොතකා හරින සහ නොතකා හැරීමට උත්සහ කරන එක්ස් කණ්ඩායමේ දේශපාලනය ගැනත් අරවින්ද හරහා මතු කිරීමට කෞෂල්‍ය සමත් වී තිබේ. කෙතරම් විවේචන සහ නොඑකඟතාවයන් පැවතියත් ලංකාවේ මෑත ඉතිහාසයේ තරුණ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳව සැලකීමේදී එක්ස් දේශපාලනයේ බලපෑම නොතකාහැරිය නොහැකිය යන්න අපේ අදහසයි. අපේ රටේ සාහිත්‍ය නිර්මාණයක් තුල සමකාලීන දේශපාලන ඉතිහාසයේ එක්ස් දේශපාලන මොහොත ස්පර්ශ කල ප්‍රථම අවස්ථාව වශයෙන් නිම්නාගේ ඉතිහාසය මම විශ්වාස කරමි. දෙදහස දශකයේ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීන්ගේ ඉමහත් අවධානයට ලක් වූ ලන්ඩන් සඟරාව හිස්ටීරියාව පොත නවකතාවේ ගලා යෑම සමඟ කිසිදු ආයාසයකින් තොරව අපට හමුවේ. මේ ආකාරයේ ඉතා විශිෂ්ට සංකේතයන් බොහෝ ගණනක් තුල ගැඹුරු යටි පෙළ අරුත් සඟවන්නට නවකතාවේ බොහෝ තැන්වල කෞෂල්‍ය උත්සහ කර තිබෙන බව පෙනේ.  මේ ආකාරයට ලියාගෙන යන විට පාඨකයෙක් වශයෙන් නිම්නාගේ ඉතිහාසය තුළ හමු වූ බොහෝ සුවිශේෂ තැන් ගැන තවත් බොහෝ ලිවිය හැක. එලෙස ලියා මේ කෙටි  ලිපිය තවත් දීර්ඝ කරනවාට වඩා ඉතා කෙටියෙන් අවසාන වශයෙන් කිව හැක්කේ කෞෂල්‍ය කුමාරසිංහගේ දෙවන නවකතාව වන නිම්නාගේ ඉතිහාසය මෑත කාලයේ පළ වූ ස්වතන්ත්‍ර නවකතා අතර ඉතා වර්ණවත් නිර්මාණයක් බවයි. එය සිංහල නවකතාවේ අනාගතය පිලිබඳව සුභදායී බලාපොරොත්තු දල්වන බවයි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *