ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය

මීට ටික දිනකට පෙර රජය මගින් නව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ එම යෝජනාව මගින් වෛද්‍යවරයෙකු වශයෙන් පත්වීමේදී අපොස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් සී සාමාර්ථයක් සමඟ සියලුම විෂයන් වලින් සමත් වී තිබිය යුතු බවට යෝජනා විය. ලංකාවේ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කිරීමට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රථම විදේශ විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලැබූ උපාධිධාරීන් සමත්විය යුතු වන ඇක්ට් 16 විභාගය ලිවීමට ප්‍රථම මෙකී මූලික සුදුසුකම පිළිබ‍ඳව සොයා බැලීමට අපේක්ෂා කරනවා යැයි සිතිය හැකිය.

දේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු වී වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරියෙකු පිළිබඳව සැලකීමේදී ඉහත දැක්වූ නිර්ණායකය අදාළ කරුණක් නොවන බව  පැහැදිලිය. ලංකාවේ වෛද්‍ය පීඨයක් සඳහා ඇතුළු වීමට තිබෙන ඉමහත් තරගකාරී තත්වය අනුව වෛද්‍ය පීඨයට නොව ජීව විද්‍යා අංශයෙන් කිනම් හෝ පීඨයකට ඇතුළු වීම සඳහා ඉහත සඳහන් අවම සුදුසුකම ප්‍රමාණවත් නොවන බව ඕනෑම අයෙක් ඉතා හොඳින් දන්නා කරුණකි. එසේනම් මේ විශේෂ අවම සුදුසුකම් නිර්ණායකයක් ඉදිරිපත් වන්නේ කුමක් නිසා දැයි මුලින්ම අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතමි.

ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවතියත් පසුගිය දශක දෙක තුනක ඉතිහාසය තුළ ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සෑම ක්ෂේත්‍රයකම පුද්ගලික අංශයේ ආයෝජනයන් පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබේ. ඉතා තරගකාරී විභාග කඩඉමක් වන උසස් පෙළ විභාගයෙන් ඉහලම ලකුණු ලබා ගන්නා සීමිත පිරිසකට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථාව සලසන විට ඉහළ විභාග සාමාර්ථයක් ලැබූ ඉතා විශාල ශිෂ්‍ය ප්‍රජාවකට කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩ ප්‍රස්ථාව අහිමි වී යන බව අපි දනිමු.

කෙසේ වෙතත් ඉංජිනේරු, කළමනාකරණ, නීති ආදී අනෙක් ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඉඩ ප්‍රස්ථාව අහිමි වන ශිෂ්‍යයන්ට ලංකාව තුළ දීම මුදල් ගෙවා පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලබා අදාළ වෘත්තීය ක්ෂේත්‍රයන් වලට පිවිසීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. ඉංජිනේරු, නීති වැනි වූ  වෘත්තීය අධ්‍යාපනයන් සඳහා විවෘත විශ්ව විද්‍යාලය තුළත් අධ්‍යාපනය ලැබීමේ ඉඩ දැන් කාලයක පටන් ශිෂ්‍යයින්ට හිමි වී තිබේ.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේ දී තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බව අපි දනිමු. තරගකාරී උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මත රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සඳහා සුදුසුකම් නොලබන ශිෂ්‍යයෙකුට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා තවම ඉඩ ප්‍රස්ථාව විවර වී නැත. නමුත් රටේ අවශ්‍යතාවයට සාපේක්ෂව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහි කරන වෛද්‍යවරුන් ප්‍රමාණයත් නොවනවා මෙන්ම වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ප්‍රජාව තුළ පවත්නා අපේක්ෂාවද ඉතා ඉහලය. මේ තත්ත්වය තුළ ආර්ථික හැකියාව ඇති ශිෂ්‍යයින් මිලියන දහයකට වඩා වැඩි මුදලක් වියදම් කර විදේශ ගතව වෛද්‍ය අධ්‍යනය ලබා ඇක්ට් 16 විභාගය සමත් වී ලංකාවේ වෛද්‍ය වෘත්තියේ කටයුතු කිරීම සඳහා ලියා පදිංචිය ලබා ගනී. යුරෝපා රටවල සිට ඉන්දියාව නේපාලය, බංගලිදේශය වැනි අසල්වැසි දකුණු ආසියාතික සෑම රටකම පාහේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයින්ට ඉඩ ප්‍රස්ථාව තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේදී රුසියාවේ විශ්ව විද්‍යාලයකින් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබා ගැනීම කාලයක් ලංකාවේ ජනප්‍රියව පැවතිණි. වර්තමානයේත් බොහෝ ශිෂ්‍ය පිරිසක් රුසියානු වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමු වන අතර, ලෝකයේ අධ්‍යාපනයේ ඉඩ ප්‍රස්ථාව පුළුල් වීම තුළ දැන් එය රුසියාව වැනි රටවල පමණක් නොව ඉහත සඳහන් කළ දකුණු ආසියාවේ ඕනෑම රටකින් පවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට පවතින අවස්ථාව තුළ තමන්ට වඩාත් පහසු රටක් තෝරා ගැනීමට ලංකාවේ ශිෂ්‍යයින්ට හැක.

 නමුත් ගැටලුව  වන්නේ දේශීය ශිෂ්‍යයින්ට සිට රට තුළ මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට තවමත් පවතින බාධාවයි මේ සම්බන්ධයෙන් අපේ රටේ ලේ වැකුණ ඉතිහාසයක් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව අසූව දශකයේ රට ගිනියම් කළ අරගලකාරී  ඉතිහාසයක් අපේ මතකයේ තිබේ. එවකට යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව වෛද්‍ය ශිෂ්‍යයින්, වෛද්‍යවරුන් පමණක් නොව සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන් පාඨය පෙරටු කරගෙන අරගල බිමට බට බව අපිට මතකය. ඒ අරගලය අවසාන වන විට ජීවිත පූජා කිරීමට සිදු වූවා සේම යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට එක් කිරීමට රජයට සිදු විය. පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් වූයේ එම යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයි.

කෙසේ වෙතත් රට තුළ වෛද්‍ය අධ්‍යනය සඳහා ඉඩ ප්‍රස්ථා අහිමි වූවන් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ ප්‍රවණතාවය අඩු වූයේ නැත. ආර්ථික ශක්තියක් තිබෙන දෙමාපියන් මුදල් ගෙවා විදේශ රට වලට යවා තම දරුවන්ට වෛද්‍ය අධ්‍යාපනය  ලබා දුන්නා මෙන්ම එම ශිෂ්‍යයින් අධ්‍යාපනය ලබා යලි ලංකාවට පැමිණ ඉතා දක්ෂ වෛද්‍යවරුන් බවට සහ සාර්ථක පත් වූ බවට ඕනෑ තරම් උදාහරණ තිබේ.

නැවතත් මෑත කාලයේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අපේ රට තුළ යම් සංවාදයක් ඇති වූයේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල ආශ්‍රිතව ආරම්භ කර තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසාය. මේ සඳහාත් සුපුරුදු පරිදි වෛද්‍යවරුනුත් වෛද්‍ය ශිෂ්‍යයිනුත් මාරාන්තික සටනකට පිවිසි බව අපිට මතකය. කෙසේ හෝ ඒ වන විට එම වෛද්‍ය විද්‍යාලයට බදවාගෙන තිබුණ සිසුන්ට පමණක් එහි අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වෙමින් නැවත ශිෂ්‍යයින් එයට ඇතුළු නොකර ගැනීමේ කොන්දේසිය පිට එම සටනත් අවසාන විය. එහිදීත් රජයේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයින් ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය වූයේ නෙවිල් ප්‍රනාන්දු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු පවතින බවයි. එවැනි ගුණාත්මක භාවයෙන් හීන වෛද්‍ය උපාධියක් ලබන වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගී ජීවිත අනතුරේ බව මේ සටනේ වූ ප්‍රධාන සටන් පාඨය විය.

වෛද්‍ය අධ්‍යාපනයේ පමණක් නොව ඕනෑම අධ්‍යාපනයක ගුණාත්මක භාවය ප්‍රශස්ත මට්ටමේ පැවතිය යුතු බවට කිසිදු විවාදයක් නොමැත. විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය මිනිස් ජීවිත සමඟ ඍජුවම සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයක් නිසා ගුණාත්මක භාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවට ඕනෑම අයෙක් එකගවේ. එසේ නම් වෛද්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු රජයේ ඕනෑම ආයතනයක් මැදිහත්  වී ඉහල ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා වන නිර්ණායකයන් සහ අධික්ෂණයන් සමඟ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා රට තුළ අවකාශ විවර කළ යුතුය. ඒ තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතුරු වනවා පමණක් පමණක් නොව මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමු වන සිසුන්ටත් දෙමාපියන්ටත් බොහෝ පහසුවක් සැලසෙනු ඇත.

නමුත් සත්‍ය ප්‍රශ්නය වන්නේ මේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුව හෝ වෙනත් යමක් නොව ගෝත්‍රික ලෙස රජයේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා  රට තුල අවකාශ විවර කරනවාට මාරාන්තික විරෝධය පෑමක් සිදු කිරීමයි. නූතන ලෝකයේ අවශ්‍යතාවයන් සහ අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා පුළුල් වී තිබෙන තත්වය තුළ එක්තරා පිරිසකගේ අවස්ථාවාදී සහ කුහක අභිලාෂයන් වෙනුවෙන් තවදුරටත් රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය යට කර දැමීම කිසිසේත්ම සාධාරණ නැත. දැන් වත් රටක් වශයෙන් මේ පිළිබඳව අපි සිතා බැලිය යුතු නොවේද?  

සුදේශ් ජයවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *