පළාත් සභා මැතිවරණය

          මේ වන විට සියලුම පළාත් සභා විසුරුවා හැර තිබෙන අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තියමිතව තිබේ. ලංකාවේ වාර්ගික අර්බුදයට විසඳුමක් වශයෙන් ඉන්දියානු මැදිහත් වීමෙන් සහ සහයෝගිත්වයෙන් 1989 දී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය වශයෙන් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය වාර්ගික අර්බුදයට විසඳුමක් වී ද, පලාත් සභා ක්‍රමය පලදායකද ආදී වශයෙන් පවත්නා විවාදය වෙනම එකක් ලෙස සිතමි. ඒවා ඇති තරම් කථා කර පට්ට ගසා තිබෙන මාතෘකාය. වැඩි අටුවා ටීකා නැතිව කීවොත් එක්තරා ආකාරයකට පළාත් සභා සුදු අලියෙක්ය යන අදහසෙහි පැහැදිලි සත්‍යයක් තිබෙනා බවද ඕනෑම අයෙකු පිළිගන්නා සත්‍යයක් යැයි සිතමි.

          කෙසේ වෙතත් පළාත් සභා යනු මේ වන විට අපේ ව්‍යවස්ථාවේ අන්තර්ගතවී තිබෙන නීතියකි. එමෙන්ම ජාත්‍යන්තරය සමඟ වඩාත් වැඩි බලපෑම් සහගත ව්‍යවස්ථා සංශෝධනය වන්නේද පලාත් සභා ස්ථාපිත කරනු ලැබූ 13 වන සංශෝධනය යන්නද සත්‍යයකි. ඊටත් වඩා නිදහසින් පසුව ගෙවුන ඉතිහාසය පුරාවට විසඳුමක් නැති ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන ලංකාවේ වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ වැදගත් දේශපාලන සහ නෛතික ප්‍රතිසංස්කරණයක් වශයෙන් පළාත් සභා ක්‍රමය අපිට පිළිගැනීමට සිදුවේ.

        මේ සියලු තත්වයන් සමඟ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ඇති වී තිබෙන නව සංවාදය සහ අවධානය පිළිබඳව සලකා බැලිය යුතු යැයි සිතමි. පැවති පලාත් සභා ස්වකීය ධූර කාලය අවසාන වීමෙන් පසුව විසුරුවා හැර වසර තුනක් පමණ වුවත් මැතිවරණය පවත්වා අභිනව පළාත් සභා පිහිටුවීම තවම සිදුවී නොමැත.  පැවති මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් පවතින අතර නව මැතිවරණ ක්‍රමයක් ඇති කර ඒ අනුව අභිනව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවටද අදහසක් පවතී. කෙසේ වෙතත් නව ක්‍රමයකට හෝ පැවති මැතිවරණ ක්‍රමයටම හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොමැත. කෙසේ වෙතත් වසර දෙක තුනක් මැතිවරණය නොපවත්වා ආණ්ඩුකාර පාලනය යටතේ පළාත් සභා පවතින බව අපි දනිමු.

         මේ පළාත් සභා පිළිබඳව ඇති වී තිබෙන නව සංවාදය සඳහා හේතු වී තිබෙන ප්‍රධාන හේතුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්යෑම නොවන බව අපි සිතමු. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ලබා මහමැතිවරණයෙන්ද තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගෙන ඉතා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගෙන තිබේ. නව ජයේ දේශපාලන දෘෂ්ඨිවාදය ගොඩනැගී තිබෙන්නේ බලය විමධ්‍යගත කිරීමේ දේශපාලන සංකල්පයට ප්‍රතිපක්ෂව බලය කේන්ද්‍රගත කර ගැනීමේ අභිලාෂයෙන් බව තේරුම් ගැනීමට ඉහල දේශපාලන දැනුමක් හෝ අවබෝධයක් අවශ්‍ය නැතැයි සිතමි. එය තේරුම් ගැනීම සඳහා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ පැවති හදිස්සියම හොඳටම ප්‍රමාණවත්ය. එමෙන්ම එල්ටීටීඊය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවගේ සියලු ප්‍රශ්න වලට ප්‍රධානතම සහ සාර්ථකම විසදුම එම ප්‍රදේශ ආරථික වශයෙන් සංවර්ධනය කිරීම බව මේ ආණ්ඩුව විශ්වාස කරන බව රහසක් නොවේ. එය සෘජුවම ජනාධිපතිවරයා, ඇතුළු ආණ්ඩුවේ ප්‍රමුඛ බලධාරීන් ප්‍රකාශ කර තිබේ. උතුරු නැගෙනහිර ඇතුළු රටේ සුළු වාර්ගික ප්‍රජාවන්ගේ දේශපාලන සහ සංස්කෘතික අභිලාෂයන් නියෝජනය වන බලය විමධ්‍යගත කිරීම වැනි දේශපාලන විසඳුම් මේ රජය එතරම් වැදගත් කොට නොසලකන බව පැහැදිලි යථාර්ථයයි. කැමති වුවත් අකමැති වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය බලයට පත්වීමේදීම එම රජයේ මෙකී දේශපාලන දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන බව පිළිගත යුතුය. එය පුදුම වීමට දෙයක් නොවේ. එම දේශපාලන දෘෂ්ඨිවාදය ප්‍රතික්ෂේප කරන විකල්ප සහ විපක්ෂ බලවේගයන් එම මතවාදයන්ට විරුද්ධව අඛණ්ඩ අරගලයක යෙදීම හැරුණු කොට මේ මොහොතේ වෙනත් විකල්පයක් නොමැත. කෙතරම් අපහසුතාවයන් සහ දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවත් සිංහල බෞද්ධ ස්වෝත්තම වාදය මත පදනම් වී තිබෙන මේ රජයේ ක්‍රියාකාරිත්වයට එරෙහි දේශපාලන අරගලය මේ දුෂ්කර මොහොතේ විපක්ෂ සහ විකල්ප බලවේගවලට අත් නොහැර අල්ලාගෙන සිටීමට සිදු වී තිබේ.

          පළාත් සභා පිළිබඳව වන මේ නව සංවාදය පිළිබඳව අපි අවධානය යොමුකල යුත්තේ මේ සන්දර්භය තුල යැයි සිතමි. සරත් වීරසේකර ඇමතිවරයා වැනි මේ රජයේ මතවාදය නියෝජනය කරන ඇමතිවරුන් මේ රටට පළාත් සභා අවශ්‍ය නැතැයි හඬ නගන්නේ මේ පසුබිම තුළ බව තේරුම් ගැනීමට විශාල දේශපාලන දැනුමක් අවශ්‍ය නැත. කෙසේ වෙතත් හිතන තරම් පහසුවෙන් පලාත් සභා අහෝසි කිරීමට ආණ්ඩුවට නොහැකි බව සත්‍යයකි. ඉන්දියානු මැදිහත් වීමෙන් රටම ගිනිගෙන දැවෙමින් පැවති මොහොතක බොහෝ ආන්දෝලනාත්මක නඩු තීන්දුවකින්ද පසුව ක්‍රියාත්මක වූ පළාත් සභා පිහිටවනු ලැබූ දහතුන්වන සංශෝධනය ක්ෂණිකව අහෝසිකර ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ගමන් කිරීමට තරම් ආණ්ඩුව මෝඩ නොවන බව පැහැදිලිය. එම නිසා අභිනව පළාත් සභා මැතිවරණය නව වසරේ අනිවාර්යයෙන්ම පවත් වනු ඇතැයි සිතිය හැක. 2021 මාර්තු මාසයේ පැරණි මැතිවරණ ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සුදානම් බවට තොරතුරු තිබේ. සරත් වීරසේකර ඇතුළු පළාත් සභා විරෝධීන්ගේ අදහස අනුව පළාත් සභා ක්‍රමය මේ හදිස්සියේ අහෝසි කිරීමට ආණ්ඩුවට නොහැකි වුවත් පලාත් සභා පිහිටුවීමේ සංකල්පය වන බලය විමධ්‍යගත කිරීමේ අදහස දියාරු කිරීමට නම් ආණ්ඩුව කිසිසේත්ම පසුබට නොවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. සරත් වීරසේකරලා පසුබිමේ කෑගසමින් සිදු කරන්නේ ඒ සඳහා යෝග්‍ය වන ආකාරයට මතවාදිමය වශයෙන් පිටිය සකස් කිරීම බව තේරුම් ගැනීමට එතරම් අපහසු නැත.

         ආණ්ඩුව පලාත් සභා මැතිවරණය පවත්වා බහුතර පළාත් සභා ප්‍රමාණයක් ජය ගැනීමට උත්සහ කරනු ඇත. ඉන් පසුව එම පළාත් සභා වල පත් වන රූකඩ මහ ඇමතිවරු ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා පළාත් සභා වලට ලැබී තිබෙන සීමිත බලය පවා මධ්‍යයට ඇදගැනීමට කටයුතු කරනු ඇත.  ආණ්ඩුවේ බලයෙන් ගිලිහේ යැයි කිව හැකි උතුරු නැගෙනහිර පළාත් සභාවන් සඳහා බලතල සහ ප්‍රතිපාදන  කපා හරිමින් ඒවා දුර්වල කිරීමට මේ ආණ්ඩුව කිසිසේත්ම පසුබට නොවනු ඇත . 20 වන සංශෝධනයෙන් පසුව කොමිෂන් සභා පැවතියත් ඒවා සහමුලින්ම අකර්මණ්‍යකර තිබෙන ආකාරයටම පළාත් සභා පැවතියත් ඒවා අකර්මන්‍ය කර දැමීම ආණ්ඩුවේ අභිප්‍රාය බව දැනට පවතින තත්වයන් අනුව පැහැදිලිය.

         ඉදින් බලය බෙදීම වෙනුවෙන් පෙනි සිටින, හඩනගන දේශපාලන සහ සිවිල් ව්‍යාපාර වලට මේ මොහොතේ නාමික වශයෙන් හෝ ලැබී තිබෙන අවම බලය බෙදීමේ යාන්ත්‍රණයක් වන පළාත් සභා රැකගැනීමට සහ ශක්තිමත් කිරීමට මගහැරිය නොහැකි වගකීමක් සහ යුතු කමක් පවතින බව අපි විශ්වාස කරමු. මුලිනුත් අපි සඳහන් කරනු ලැබූ ආකාරයට අපේ පළාත් සභා සහ පළාත් සභා ක්‍රමය පිළිබඳව සාධාරණ විවේචනයක් පවතින බව සත්‍යයකි. ඉතිහාසයේ ක්‍රියාත්මක වූ බොහෝ පළාත් සභා මහජන මුදල් ගිල දමමින් සුදු අලින් බවට පත් වූ බව පැහැදිලි සත්‍යයකි. ඒවායින් අපේක්ෂිත කාර්ය සාධනය සිදු නොවු බවද සත්‍යයකි. නමුත් අපේ රටේ දේශපාලන දේහයේ පැසවන තුවාලයක් වන වාර්ගික අර්බුදය උදෙසා මෙතෙක් සිදු කරනු ලැබූ ඉහලම දේශපාලන ප්‍රතිසංස්කරණය පළාත් සභා ක්‍රමය බව පිලිගත යුතු යැයි සිතමි.  පළාත් සභා පමණක් නොව අපේ රටේ එක්තරා ආකාරයට පාර්ලිමේන්තුවත් සුදු අලියෙකි. නාස්තිය දූෂණය සහ කාර්ය සාධනයෙන් තොර වීම රටේ සමාජ දේශපාලන සංස්කෘතියෙම ප්‍රශ්නයකි. ඒ හේතුව නිසා පාර්ලිමේන්තුව අහෝසි කර දැමීමට අපි සිතන්නේ නැත. ඒ ආකාරයටම පලාත් සභා වල පවතින දුර්වලතාවයන් සඳහා විසදුම් සොයාගන්නවා හැරෙන්නට බලය විමධ්‍යගත කිරීමේ සංකල්පය වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමීම සුදුසු වන්නේ නැත.

         විශේෂයෙන්ම මේ ආණ්ඩුව පුළුල් බලතල විමධ්‍යගත කිරීමක් සිදු කරනු ලබතැයි කිසිසේත්ම විශ්වාස කල නොහැක. එවැනි තත්වයක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා ආරම්භක පියවරක් තැබූ පළාත් සභා ක්‍රමය ආණ්ඩුවේ මර්ධනයේ හස්තයෙන් බේරා ගැනීමේ අරගලය සඳහා පෙරට පැමිණීම හැරුණුකොට විකල්ප සහ විපක්ෂ දේශපාලන සහ සමාජ බලවේග වලට වෙනත් කිසිදු විසදුමක් පෙ‍නෙන තෙක් මානයේ නොමැත.  නමුත් ප්‍රශ්නය වන්නේ මේ මොහොතේ එම බලවේගවල මේ කේන්ද්‍රීය ප්‍රශ්නය සම්බන්ධ උනන්දුවක් සහ කැපවීමක් තිබේද යන්නය. අඩුම තරමේ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන ව්‍යාපාරයක් වත් මේ ප්‍රශ්නය වෙනුවෙන් පොළොවේ දැනෙන තරම් දේශපාලන මැදිහත් වීමක් සිදු නොකිරීම කණගාටුදායකය. එමෙන්ම පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශකර තිබුණේ යම් ලෙසකින් පළාත් සභා නැවත පිහිටු වන්නේ නම් සියලුම රෝහල් මධ්‍යම රජය යටතේ පැවතිය යුතු බවයි. එසේ නොවුන හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළබෙන බව ඔවුන් පවසා ඇත. රටක ක්‍රියාත්මක වන නීතියක්, දේශපාලන සංකල්පයක් විකෘති කිරීමට සහ විනාශ කිරීමට වෘත්තීය සමිතියක් විසින් එවැනි ඉල්ලීමක් සිදු කිරීම පුදුමසහගතය. නමුත් ආණ්ඩුවේ දෘෂ්ඨිවාදයේ ප්‍රකාශකයෙක් වශයෙන් ඔවුන් මේ මොහොතේ මේ ඉල්ලීම සිදු කරන නිසා පුදුම වීමටද හේතුවක් නොමැත. කෙසේ වෙතත් සුළු ජාතික අයිතිවාසිකම් සහ බලය විමධ්‍යගත කිරීමේ වැදගත් කම විශ්වාස කරන බලවේගයන් පෙරට පැමිණ පළාත් සභා රැකගැනීමට සටන් කරනවා හැර වෙනත් විසඳුමක් නොමැති බව අපි අවසන් වශයෙන් ලියා තබමු.

සුදේශ් ජයවර්ධන    

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *