මාධ්‍ය සදාචාරය

පසුගිය දිනවල සිදු වූ පොලිස් නිලධාරියෙකු විසින් තරුණියක මරණයට පත් කර ගමන් බෑගයක අහුරා කොළඹ නගරයේ දමා යෑමේ කුප්‍රකට සිදු වීමෙන් පසුව, එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම සම්ප්‍රධායික මාධ්‍යයන් ස්වකීය මාධ්‍ය භාවිතාවේ යෙදුන ආචාරධර්මීය නොවුන නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතාව හේතුවෙන් අපේ සමාජයේ මාධ්‍ය සදාචාරය සම්බන්ධයෙන් වන සංවාදයක් ඇති වී තිබේ.

මෙවැනි සිදුවීමක් සිදුවීමෙන් පසුව මේ මාතෘකාව සම්බන්ධයෙන් යම්කිසි සංවාදයක් ඇතිවීම අපේ රටේ සාමාන්‍ය දෙයකි. උණුසුම යට යාමත් සමග නැවත සියල්ල අමතක වී යෑම අපේ සමාජයේ ස්වභාවයයි. කෙසේ වෙතත් මාධ්‍ය සදාචාරය සම්බන්ධ සංවාදයද දැන් වසර ගණනාවක් තිස්සේ කතාබහ වන සහ එක්තරා ආකාරයකට කතා කරම එපා වූ නැතහොත් පිළුනු වූ මාතෘකාවක් යැයි කිවහොත් එය නිවැරදිය.

කෙසේ වෙතත් කථාකර කෙතරම් එපා වී තිබුණත් මාධ්‍ය සදාචාරය සම්බන්ධ මාතෘකාව මේ මොහොතේ සමාජයක් වශයෙන් අපට අතහැර යා නොහැකි මාතෘකාවක් යැයි සිතමි.

මිත්‍යාව නිර්ලජ්ජිතව බඩගෝස්තරය සදහා කිසිදු හිරිකිතයකින් තොරව විකුණා සමාජය රැවටීමට අපේ රටේ රූපවාහිනි නාලිකා අතර තිබෙන්නේ පුදුම තරගයකි. රූපවාහිනි නාලිකාවල පමණක් නොව පුවත්පත් වලද මේ ප්‍රවණතාවය එලෙසම පවතී. ඉන් නොනැවතී පසුගිය දිනවල සිදු වූ තරුණියගේ ඝාතනය වැනි අතිශය සංවේදී සිදුවීම් සිය පාදඩ රේටින් ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘතිය සදහා ලොමු ඩැහැ ගැන්වෙන ත්‍රාසජනක චිත්‍රපටි ලෙසින් කඩින්කඩ ඉදිරිපත් කරන ආකාරය කෙතරම් පිළිකුල් සහගත දැයි කීමට වචන නැති තරම්ය.

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ කථිකාව වෙනම එකකි. එක්තරා ආකාරයකට සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍යයන් මේ තරම් පිළිකුල් සහගත ලෙස හැසිරීමෙන් පෙනී යන්නේ සමාජයක් වශයෙන් වන අපේ සමාජ මනෝභාවයේ බංකොලොත්කමේ ප්‍රමාණයයි. සමාජ මාධ්‍ය කෙසේ වෙතත් ආයතනික ව්‍යුහයක් සහිත ප්‍රධාන මාධ්‍යයන්වල මෙකී පාදඩ හැසිරීම තව දුරටත් සමාජයක් වශයෙන් ඉවසා සිටීමට අපි සූදානම් විය යුතුද‍? මේ පාදඩ කළු මාධ්‍ය භාවිතාවට විරුද්ධව සබුද්ධික සහ දැනුවත් මිනිසුන් සක්‍රීය මැදිහත් කිරීමක් සිදු කිරීමෙන් තොරව මෙකී ඊනියා මාධ්‍ය පාදඩයින්ගෙන් යහපත් යමක් බලාපොරොත්තු වීම මිරිගුවක් පමණක්ය යන්න අපගේ අදහසයි.

සුදේෂ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *