අලුත් විපක්ෂයක අලුත් භූමිකාව

සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගය වන ඔවුන්ගේ දේශපාලන පක්ෂය හරිත පක්ෂයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය කාලයේ අපේ රටේ ඉමහත් ආන්දෝලනයකට සහ සාකච්ඡාවකට ලක් වූ පරිසර විනාශය සම්බන්ධ සංවාදයට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් වීම තුළින් මෙකී හරිත පක්ෂ නාම කරණයේ දේශපාලන අරමුණ පැහැදිලි ය. මෙයින් සමගි ජන බලවේගය නැතහොත් මේ මොහොතේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය නාමිකව හෝ හරිත පක්ෂයක් බවට ප්‍රකාශයට පත් කිරීම වැරදි යැයි අප කියන්නේ නැත.

ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් පවා දැවැන්ත සංවාදයක් සහ අවධානයක් ඇති වී තිබෙන පරිසර විනාශය සම්බන්ධ සංවාදයට නාමික ව හෝ අපේ රටේ දේශපාලන පක්ෂ සංවේදී වීම යහපත් ය. මේ ලිපියේ ආරම්භයේ ම දේශපාලන උපක්‍රමයක් වශයෙන් පක්ෂය හරිත කල බව අපි ප්‍රකාශ කර තිබීමෙන් සජිත් ප්‍රේමදාස  හෝ සමගිජනබලවේගයේ දේශපාලන නායකයින් පරිසරය පිලිබදව සංවේදී නොවන බව  හෝ ඒ පිලිබදව පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් නොමැති බව අපි නොකියන බව කිව යුතු ය. ඒ ප්‍රවේශය තුලින් අප සාකච්ඡා කිරීමට උත්සහ  කරන්නේ වෙනත් දේශපාලන මාතෘකාවක් සම්බන්ධයෙනි.

සාමාන්‍යයෙන් අපේ රටේ නිදහසින් පසුව ගෙවුන දශක හතක ඉතිහාසය තුල තට්ටු මාරු ක්‍රමයට ප්‍රධාන පක්ෂ දෙක විසින් රටේ දේශපාලන බලය අත්පත් කරගෙන පාලනය සිදු කල බව අපි ඉතා හොඳාකාරවම දනිමු. හාල් සේරුව, පාන් රාත්තල,  ඇට අට, සාමය සමෘද්ධිය ආදී වශයෙන් මාරුවෙන් මාරුවට එක් එක් මැතිවරණ වලදී මේ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ සටන් පාඨ මාරු කරමින් ජනතා ඡන්දය කොල්ල කෑ බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම මතවාදීමය වශයෙනුත් සංවිධාන ව්‍යුහයෙන් සහ දේශපාලන ක්‍රියාකාරිත්වයෙනුත් මේ ශ්‍රී.ල.නි.ප. ය සහ එ.ජා.ප. ය ප්‍රමුඛ කරගත් ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකේ විශාල වෙනසක් නොවූ බවද පැහැදිලි සත්‍යයකි.

 නමුත් මේ ප්‍රධාන ධනපති දේශපාලන ප්‍රවාහයන් දෙක තුල මෑත ඉතිහාසයේ වන තුරුම හදුනාගත හැකි දේශපාලනික වෙනස්කම් පැවති බව අපේ අදහසයි. නව ලිබරල්වාදී දේශපාලන සංස්කෘතිය විශ්වාස කල එක්සත් ජාතික පක්ෂය පෙනී සිටියේ ඔවුන්ට ම ආවේණික දේශපාලනයක් වෙනුවෙනි. ජාතිකවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, අරුමෝසම් සළුපිලි වශයෙන් දවටා ගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටියේ ඔවුන්ටම ආවේණික දේශපාලනයක් වෙනුවෙනි. මුලිනුත් සඳහන් කල ආකාරයට මෙකී පක්ෂ දෙකේම ගැඹුරු ව්‍යුහාත්මක  වෙනසක් නොපැවතියත් ප්‍රචාරාත්මක අර්ථයෙන් හෝ මේ බල කඳවුරු දෙක පෙනී සිටි දේශපාලන සටන් පාඨවල යම්කිසි වෙනසක් පැවති බව අපගේ විශ්වාසයයි.

රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලනික භූමිකාව තුල දෙවන පෙළේ නැතහොත් පසු පෙළ දේශපාලන සාධකයක් බවට පත් වීමත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගිජනබලවේගය අපේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වීමත් තුල ඉතිහාසයේ ශ්‍රී.ල.නි.ප. සහ යූ.එන්.පී වශයෙන් පැවති නාමික හෝ දේශපාලනික විභේදනය අවසාන වී තිබෙන බව අපේ අදහසයි. මෙහි දී මොනම ආකාරයෙන් හෝ රනිල් වික්‍රමසිංහ හෝ යූ.එන්.පී ය ලාංකීය දේශපාලනයේ ඉතිහාසයේ කුණු කූඩයට තල්ලු වී යෑම පිළිබඳව අපේ කිසිදු කනගාටුවක් නොමැති බව කිව යුතුය.   ශ්‍රී.ල.නි.ප. සහ එ.ජා.ප. ය එකම කාසියේ දෙපැත්ත පමණක්මය.

කෙසේ වෙතත් රාජපක්ෂ රෙජිමය අඩු විහිදුවා ගත් බූවල්ලෙක් මෙන් රටේ ආර්ථික, සමාජ, දේශපාලනික මර්මස්ථානයන් ගිල ගනිමින් ඉදිරියට ගමන් කරන සිය දෙවන  ආණ්ඩු පාලන  සමය එනම් ගෝඨාභය යුගයේ විරුද්ධ පක්ෂ දේශපාලනය සදහා පවතින භූමිකාව මහා විශාල එකක්ය යන්න අපගේ අදහසයි. එම දේශපාලන භූමිකාවට පනපෙවීමට සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ සමගිජනබලවේගයට හැකිද යන්න විමසා බැලීම අපේ මේ ලිපියේ අරමුණයි.

සිංහල බෞද්ධ ස්වෝත්තම වාදය සිය ප්‍රධාන දේශපාලන දැක්ම බවට පත්කර ගෙන තිබෙන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වඩා භයානක දිගුවක් බව අමුතුවෙන් නොකීවත් ගෙවුන කාලයේ ඔවුන්ගේ භාවිතාව විසින් ඔප්පු කර තිබේ.වඩාත් අධිකාරිවාදී පාලනයක් උදෙසා වන සියලු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්ද සිදුකරගෙන තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය සහ ශක්තිමත් විධායක ජනාධිපති බලතල සමග ගෝඨාභය සැරසෙන්නේ 1933 පටන් අපේ රටේ පැවති සර්ව ජන ජන්ද බලය මත පදනම් වූ සියලු ප්‍රජාතාන්ත්‍රික උරුමයන් සහ වටිනාකම් බුල්ඩෝසර් කර දැමීමට ය. වැදගත් ම කාරණය වන්නේ මේ මිලිටරි අධිකාරිවාදී ආණ්ඩු ආකෘතිය රාජපක්ෂ රෙජීමය විසින් ගොඩ නැගීමට සැරසෙන්නේ ජනතා ඡන්දයෙන්ම වීමය. සැබවින්ම සුබුද්ධික පුරවැසියන්ට හා සවිඥාණික විපක්ෂයකට ඓතිහාසික කාර්යභාරයක් මේ මොහොතේ පැවරී තිබෙන බව අපි විශ්වාස කරන්නේ මෙකී සියලු තත්වයන් තුළ ය.

මෙහි දී සජිත් ප්‍රේමදාසගේ දේශපාලන භූමිකාව දෙස බැලීමේ දී ඔහු ආමන්ත්‍රණය කරන්නේත් සිංහල බෞද්ධ ගැලරියට බව ඉතා හොඳින් පෙනේ. සජිත්ගේ දේශපාලන සටන් පාඨයන් සියල්ලම ගොඩ නගා ගෙන තිබෙන්නේ මේ දෘෂ්ටිවාදය මත පදනම් වෙමිනි. කොටින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ රාජපක්ෂලාටත් වඩා හොදට රාජපක්ෂලාගේ දේශපාලනයේ යෙදීමය. මේ මොහොතේ විපක්ෂයේ සටන් පාඨ විය යුතු ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සුළු ජාතික අයිතිවාසිකම් වැනි මාතෘකා සජිත් විසින් මග හැර සහ නොතකා හැර තිබෙන්නේ මේ නිසාය. රාජපක්ෂ මතවාදයේම හිඳිමින් රාජපක්ෂලා පරාජය කිරීමට දවල් සිහින දකින සජිත්ගේ දේශපාලනයේ ලාමක සහ බොලද බව විසින් මේ රටේ විපක්ෂ දේශපාලනයේ විවර කර තිබෙන රික්තය සුළු පටු එකක් නොවන බව අපේ විශ්වාසයයි.

රාජපක්ෂ ආණ්ඩුවේ සහයෝගය සහ අනුදැනුම මත රට තුල දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් පවතින විටදී ඒ පිලිබදව සමාජය තුල පැහැදිලි සහ සංවිධානාත්මක විරෝධයක් ගොඩනැගෙමින් පැවතුන තත්වයක් තුල වහාම සජිත් ප්‍රේමදාස සිය පක්ෂය හරිත පක්ෂයක් බවට ප්‍රකාශයට පත් කිරීම තුලින් පරිසර විනාශයට විරුද්ධව රට තුල ගොඩනැගෙන ජන මතය දිනා ගැනීමට හැකි යැයි විශ්වාස කරන බව පෙනී යයි.

ජනාධිපතිවරණයට පෙර මෙවැනිම පරිසර ප්‍රේමියෙක් වශයෙන් ගෝඨාභය රග දැක්වූ භූමිකාව අපට අමතක නැත. සෞභාග්‍යයේ   දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිසරය වෙනුවෙන් පරිච්ඡේද ගණනාවක් ම වචන වලින් පුරවා තිබුණ බව අපට මතකය. පුංචි රාජපක්ෂ කෙනෙක් වීමට මහා තරගයක යෙදී සිටින සජිත් ප්‍රේමදාසගේ සමගිජනබලවේගය හරිත පක්ෂයක් බවට ප්‍රකාශයට පත් කිරීම  සෞභාග්‍යයේ   දැක්ම ප්‍රකාශනයේ පරිසරය රැකීම සම්බන්ධ පරිච්ඡේද වලට වඩා බරසාරව තේරුම් ගැනීමට අපට නොහැක. පරිසරය සම්බන්ධ කාරණය උදාහරණයක් වශයෙන් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමන්ගේ සෑම දේශපාලන සටන් පාඨයකම කෙරුවාව එවැනි ආකාරයේ එකක් බව හොදටම පැහැදිලිය.

විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ න්‍යායාචාර්යවරයා වශයෙන් කලඑලි බැලීමට නියමිත චම්පික රණවක මහතාගේ මතවාදීමය දේශපාලන දෘෂ්ටිවාදය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ එකක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ඉදිරියේදී සජිත් ප්‍රේමදාස සිය චරිතය රඟපානු ලබන්නේ චම්පික රණවකගේ පිටපතට අනුව බව පැහැදිලිය. ඉතින් දැන් ආණ්ඩුවත් විපක්ෂයත් එකම මාවතක එකම දිශාවකට දුවමින් බලය සදහා අරගලයක යෙදෙන සුවිශේෂ දේශපාලන මොහොතක් රට තුල නිර්මාණය වී තිබේ.

අපේ අදහස වන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින සහ අරගල කරන ජනප්‍රිය අධිපති දෘෂ්ටිවාදයෙන් පරිබාහිර ප්‍රගතිශීලී මතවාදයක් නියෝජනය කරන දේශපාලන දහරාවට ලාංකීය දේශපාලන වැඩ බිමේ සුවිශේෂ භූමිකාවක් නිර්මාණය වී තිබෙන බවයි. මේ තත්වය නිර්මාණශීලී ව කලමණාකරනය කර ගනිමින් සජිත්ගේ ඊනියා හරිත පක්ෂය වෙනුවට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක භූමිකාවට පනපෙවීමට ඉතිහාසයේ මගහැර යා නො හැකි දේශපාලන වගකීමක් ජ.වි.පේ ප්‍රමුඛ දේශපාලන බලවේගයට මේ මොහොතේ පැවරී තිබෙන බව අපගේ අදහසයි. කෙසේ වෙතත් මේ මොහොතේ තමන්ට පැවරී තිබෙන දේශපාලන වගකීම සහ කාර්යභාරය මැනවින් තේරුම් ගෙන මහ පොළොවේ සැබෑ ප්‍රශ්න සමග අරගල කරන සැබෑ විපක්ෂයක් වීම වෙනුවට ජනප්‍රිය ජාතිවාදී මඩ ගොහොරුවේම විකල්ප ප්‍රගතිශීලි කදවුරත් ගිලී ගියොත් මේ රටේ දේශපාලන ඉරණම ඉතා කණගාටුදායක එකක්වන බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.

එච්.එම්.සුදේෂ් ජයවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *