චන්ඩියා පොලිසියද පාතාලයද

පසුගිය දින කිහිපය තුළ කොවිඩ් වසංගත තත්වයේ දරුණු ව්‍යාප්තිය මධ්‍යයේ වුවත් ලංකාවේ මාධ්‍ය අවකාශය තුළ කොවිඩ් වලට අමතරව පුවත් මවනු ලැබූ ප්‍රධාන මාතෘකාවක් වූයේ කොස්ගොඩ තාරක, ඌරු ජුවා, ආදීන්ගේ පොලිස් ඝාතනයන් සම්බන්ද ප්‍රවෘතීන්ය. මේ මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වලත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් පසුගිය දින ගණනාව පුරාවටම විවිධ දෘෂ්ඨිකෝණයන්ගෙන් සංවාද, විවාද, විවේචන ඉදිරිපත් කර තිබෙන ආකාරය දකින්නට ලැබුණි. තව ටික දිනකින් මේ මාතෘකාව පරණ මාතෘකාවක් බවට පත් වී වෙනත් අලුත් මාතෘකාවක් කරලියට පැමිණීමෙන් පසුව මේ සියලූම මාධ්‍යයන් ඒ අලුත් මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරන නිසා මේ මරණ සම්බන්ධ මාතෘකාව යටපත් වී යනු ඇත.

අද අපේ මේ ලිපියේ අරමුණ ඒ ආකාරයට මේ පිළිබඳව ඇති වූ සමාජ අවධානය සහ සංවාදය යටපත් වී යාමට නොදීමේ වැදගත් කම පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කිරීම මෙන්ම මේ ප්‍රශ්නයේ සැබෑ නෛතික සහ සමාජීය ඉසව් පිළිබඳව වෙනත් දෘෂ්ඨිකෝණයකින් සාකච්ඡාවක් සහ සංවාදයක් ආරම්භ කිරීමේ වැදගත් කම අවධාරණය කිරීමයි.

මේ පිළිබඳව වන සංවාදයේදී බැලූ බැල්මටම හඳුනාගත හැකි ප්‍රධාන මතවාදයන් දෙකක් පෙනෙන්නට තිබේ. මේ ආකාරයට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සැලසුම් සහගතව වෙඩි තබා මරා දැමීම නෛතිකවත් සදාචාරාත්මකවත් අපරාධයක් වන බැවින් ඊට විරුද්ධව හඩනගන සහ එය හෙලා දකින මතවාදය එක මතවාදයකි. සුළුතරයක් වුවත් අනෙක් මතවාදය වන්නේ මේ ආකාරයට පොලිස් වෙඩි පහරින් මරණයට පත් වන්නේ සමාජයට පිළිලයක් බවට පත් වී තිබෙන දරුණු සහ බරපතල ගණයේ අපරාධකරුවන් වන නිසා ඔවුන් ඒ ආකාරයට මරා දැමීම සමාජ යහපත සඳහා කල යුත්තක් බවට අදහස් ඉදිරිපත් කරන මතවාදයයි. මෙහිදී හඳුනාගත හැකි වැදගත් කරුණක් වන්නේ පොලීසිය මන්ත්‍රයක් ලෙස හැමදාම මතුරන ආයුධ පෙන්වීමට ගොස් අපරාධ කරු එම ආයුධ වලින් පොලීසියට පහර දීමට තැත්කල අවස්ථාවේ දී පොලීසියට වෙඩි තැබීමට සිදු වූවාය කියන කුප්‍රකට බොරුව දැන් කවුරුවත් විහිළුවටවත් පිළිගන්නේ තබා සලකා බලන්නේවත් නැත. එනම් පක්ෂ විපක්ෂ හැමදෙනාම කොන්දේසි විරහිතව මේ ඝාතනයන් පොලීසිය දැනුවත්ව සහ සංවිධානාත්මකව සිදු කරන බව විවාදයකින් තොරව පිළිගන්නා බවයි.

මේ ඝාතනවල නෛතික පසුබිම සහ සදාචාරාත්මක පසුබිම පිළිබඳ අපේ මේ ලිපියේ දීර්ඝව නැවතත් සංවාද කිරීම අවශ්‍ය නැතැයි සිතමි. මන්ද පසුගිය දින ගණනාව පුරාවටම මාධ්‍ය වල මේ මාතෘකාව සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා සිදු වූ අතර ඕනෑවටත් වඩා ඒ කරුණු පිළිබඳව අපේ සමාජයේ සහ මාධ්‍යන්හි සාකච්ඡා වී තිබේ. අපේ පුවත්පතේද පසුගිය සතියේත් ඒ මාතෘකාව සම්බන්ධ ලිපි පලවී තිබුණි.

අද අපි මේ ලිපිය තුළ අවධානය යොමු කීරීමට උත්සහ කරන්නේ  මේ පොලිස් ඝාතන සම්බන්ධ සංවාදයේ වෙනත් පැතිකඩක් සම්බන්ධයෙනි. පසුගිය දිනක මේ ඝාතන සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රශ්න කිරීමක් හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මේ සෑම සිදුවීමක් සම්බන්දයෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් සියලු කරුණු පිළිබඳව සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ තීන්දු තීරණ ගන්නා බවත්ය. දිගින් දිගටම එකම බොරුව පවසා හෙම්බත් වී සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තම දෙපාර්තමේන්තුවේ වරදකාරී භාවිතාව වසා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාවලියේ පිළිසරණ පතන තත්වයට පත්වී තිබේ. අනෙක් වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඍජුවම මෙකී මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් සිය විරෝධය පලකර සිටීමයි. එමෙන්ම කොස්ගොඩ තාරකගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුකරය සඳහා මහජන සුභසාධක නඩුකරයක් ලෙස සලකා අතරමැදි පාර්ෂවකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වීමට බලා‍පොරොත්තු වන බව තාරකගේ නීතීඥයා මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබෙනවා දුටුවෙමි. මෙය සත්‍යක් නම් එය ඉතාම වැදගත් ධනාත්මක සංඥාවක් වන බව පැහැදිලිවම කිව හැක. එමෙන්ම වෙලේසුදා ලෙසින් හැදින්වෙන සිරකරු ප්‍රශ්න කිරීම් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන නොයන ලෙසට ඔහුගේ මව විසින් ගොනුකර තිබෙන ඉල්ලීමක් ප්‍රකාරව අභියාචනාධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙන බව මාධ්‍යයෙන් දුටුවෙමි.

මෙතෙක් මේ ඝාතන සංස්කෘතිය පොලීසිය මගින් පවත්වාගෙන ගියේත්, එය සාධාරණීකරණය කරනු ලැබුවේත් නීතියේ පවතින හිදැස් උපයෝගී කර ගනිමිනි.  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කර තිබෙන ප්‍රකාශය ඊට හොඳම නිදසුනයි.නමුත් දිගින් දිගටම පොලීසිය මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළ සමාජයට වගකිවයුතු වෘත්තිකයන් වශයෙන් සැලකෙන නීතීඥ ප්‍රජාව නිහඩ භාවය පවත්වාගෙන යන්නේ නම් නීතියේ ආධිපත්‍ය සහ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන මහජන විශ්වාසය එයින්ම සහමුලින්ම පළුදුවී යන බව අමුතුවෙන්ම කිව යුතු නැත. කොටින්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ප්‍රකාශය ඇතුළු මෙකී සමස්ත භාවිතාව මගින්ම අධිකරණයට අපහාස කර තිබෙන බව අපේ අදහසයි.

මේ සියලු තත්වයන් තුළ නීතිඥ සංගමයේ මේ මොහොතේ අවදිවීම සහ මේ අපරාධයන්ට විරුද්ධව සක්‍රීයව ක්‍රියා කිරීම බොහෝ බලාපොරොත්තු දල්වන බව පැහැදිලිවම කිව යුතුය. නීතිඥ සංගමයේ අභිනව සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතීඥ සංගමයේ නිලධාරී මණ්ඩලයට මේ සම්බන්ධයෙන් යුක්තිය, නීතිය සහ සාධාරණය අපේක්ෂා කරන සමස්ත පුරවැසියන්ගේම ගෞරවය හිමිවිය යුතුය. පොලිස් අත්අඩංගුවේ සිටින සිරකරුවන් මෙලෙස අමු අමුවේ ඝාතනය කරමින් හැමදාම එකම බොරුව රටටත් අධිකරණයටත් ප්‍රකාශ කරමින් පොලීසිය විසින් කෙලෙසනු ලැබුවේ රටේ නීතියේ ආධිපත්‍ය පමණක් නොව නීතිඥ වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වයත්ය. සැබවින්ම සමාජයක නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ක්‍රියාවලියේදී සුවිශේෂ භූමිකාවක් සහ කාර්යක් පැවතී තිබෙන නීතීඥ වෘත්තිකයින්, පොලිසිය මගින් කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව සිදුකරන මේ මනුෂ්‍ය ඝාතනයන්ට විරුද්ධව දැනෙන යමක් වෘත්තීය මට්ටමින් කල යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරය යන්න අපේ අදහසයි.  ප්‍රමාද වී හෝ සිය යුතුකම සහ වගකීම සම්බන්ධයෙන් පෙරට ඒම පිළිබඳව නීතීඥ සංගමයට නිසැක වශයෙන්ම සමාජයේ ගෞරවය හිමිවනු ඇත.

පාතාලය සහ අපරාධ මැඩලීම සම්බන්ධයෙන් නීතිඥ වෘත්තිකයින් කිසිසේත්ම විරුද්ධ නොමැති බවත් ඒ කාර්ය සඳහා යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට උපරීම සහය ලබා දීමට නීතිඥ ප්‍රජාව සූදානම් බවටත්, නිර්මාණශීලි ප්‍රචාරක ව්‍යාපෘතියක් මගින් සමාන්‍ය සමාජයට අවබෝධයක් ලබා දීමට ක්‍රියාකිරීමටත් නීතිඥ සංගමයට හැකි වුවහොත් මේ අරගලය සඳහා විශාල සමාජ සහයෝගයක් ලබා ගැනීමටද හැකි වනු ඇත.   ඌරුජුවාලාට ,කොස්ගොඩ තාරකලාට තිරස්චීන ලෙසින් මිනිමැරීමට හැකි වුවත් රටක නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ සුවිශේෂ වගකීම පැවරී තිබෙන පොලිසියකට එම අපරාධකරුවන් සමඟ තරගයට ඒ අපරාධකරුවන් සිදු කරන ලෙසටම තිරස්චීන ලෙසට මිනී මැරීමට කිසිසේත්ම සදාචාරාත්මක හැකියාවක් නොමැත. නීතීඥ සංගමය ඇතුළු මේ අපරාධ වලට විරුද්ධව පෙනී සිටින්නන් අරගල කරන්නේ ඒ වෙනුවෙනි.

අනෙක් වැදගත් කාරණය වන්නේ මේ මොහොතේ මේ පොලිස් ඝාතන සම්බන්ධයෙන් ඇති වූ සුවිශේෂ සමාජ අවධානයයි. ප්‍රධාන මාධ්‍ය වලත් සමාජ මාධ්‍ය වලත් පොදුවේ සමාජය තුළත් මේ අනීතික මිනිස් ඝාතන සම්බන්ධයෙන් ඇති වූ සංවාදය සහ විරෝධය බලාපොරොත්තු දල්වන සුළුය.  මේ කරුණ සම්බන්ධ ප්‍රවෘත්ති මාධ්‍ය වල පලවීම නතර වීමත් සමඟ මේ සංවාදය යට යාමට ඉඩනොදී මේ මොහොතේ සමාජයේ මේ අපරාධ වලට විරුද්ධව ඇති වූ  උද්යෝගය සහ සමාජ සංවාදය වඩාත් පලදායි ලෙස පවත්වාගෙන යාමත්, මේ කුරිරු මිනිස් ඝාතන සංස්කෘතියට විරුද්ධව අඛණ්ඩ අරගලයක යෙදීමත් සම්බන්දයෙන් වන මගහැර යා නොහැකි වගකීමක් සහ යුතු කමක් නීතිඥ සංගමයටත් ජනමාධ්‍යවේදීන්ටත් පමණක් නොව යුක්තිය අපේක්ෂා කරන සියලූම ලාංකිකයන් වෙත පවතින බව අවසාන වශයෙන් ලියා තබමි.

සුදේෂ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *