පැහැරගෙන යාමේ සහ බියවැද්දීමේ අලුත්ම නීතිය

පසුගිය සති කිහිපය තුළ රට තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයන් සහ ජනතා විරෝධයන් අනපේක්ෂිත ලෙස තීව්‍ර  වූ ඉතා උණුසුම් කාලයක් ගෙවී යමින් පවතින බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඒ අතර කෘෂි කර්මය සදහා පොහොර නොමැති වීම නිසා රට පුරා ගොවි ජනතාව මහ පාරේ අරගලයක් ඇරඹීම මෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ දිග්ගැස්සෙමින් පවතින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් අර්බුදය හේතුවෙන් ගුරු විදුහල්පති වෘත්තිය සමිති විසින් ඉතිහාසයේ නොවූවිරූ තරමේ දැවැන්ත උද්ඝෝෂණ සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන් වෙත අවතීර්ණ වීම කැපී පෙනෙන සිදු වීම් බව කිව හැකිය. එම දැවැන්ත සහ ප්‍රධාන ජනතා විරෝධයන් දෙක හැරුණු විට විවිධ වෘත්තීන්, ක්ෂේත්‍රයන් , සමාජ කණ්ඩායම් සහ ප්‍රදේශයන් නියෝජනය කරන රටේ පොදු ජනතාව විරෝධයන් තුලින් අරගල බිමට ප්‍රවේශ වීමේ උද්යෝගිමත් කාලයක් ගෙවී යමින් තිබෙන බව කිව හැකිය. මෙහි හදුනාගත හැකි සුවිශේෂ කරුණක් වන්නේ සාපේක්ෂව අඩු දේශපාලන මැදිහත්වීමකින් සංවිධානය වූ පොදු ජනතාව අධිෂ්ඨානශීලීව තම අයිතීන්  දිනා ගැනීම උදෙසා අරගල බිමට ප්‍රවේශ වීමයි. මේ තත්වය රටක ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී පැවැත්ම විශයෙහි වැදගත් සාධකයකි. විශේෂයෙන්ම මෙවැනි උද්යෝගිමත් අරගල ක්‍රියාමාර්ගයන් වෙතට ජනතාව යොමු වී සිටින්නේ  ගෝලීය වසංගතයක් හේතුවෙන් මිනිස් ශිෂ්ටාචාරය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින මොහොතකය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය හේතු නිසා නිවසට සිරවී සිටීමට බල කරන වටපිටාවක වුවත් ඒ සියලු තත්වයන් සහමුලින්ම නොතකමින් මහජනතාව මහ පාරට බැස අරගල කරන තත්වයට පත්වී තිබෙන්නේ ඉතා සුවිශේෂී හේතු සාධක ගණනාවක් ම නිසාය. මූලික වශයෙන් සමාජයේ වඩාත් කැපී පෙනුණේ ගුරු විදුහල්පති අරගලය සහ ගොවි අරගලයන් වුවත් සෑම ක්ෂේත්‍රයකම ප්‍රජාව ක්‍රමයෙන් මහ පාරේ අරගලයක් වෙත තල්ලු වී යාමට බලපෑ සැබෑ හේතූන් මොනවාද?.“ සෞභාග්‍යයේ දැක්ම” නම් වෛවර්ණ පොරොන්දු කන්ද සහ තවත් බොහෝ හේතූන් මත අපේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කරනු ලැබුවේ දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන බව කවුරුත් හොදින් දනිති.  ජනාධිපති වරණයෙන් පසුව පැවති මහමැතිවරණයේදී ගෝඨාභය ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලැබුණේ මේ හේතුව නිසාය. නමුත් ඒ සියලු බලාපොරොත්තු සහ මැතිවරණ වේදිකාවේ මැවූ සියලූම සුරංගනා ලෝකයන් හුදු පුස් වෙඩිල්ලක් පමණක් බව  මේ වන විට ප්‍රත්‍යක්ෂ වී තිබේ. එකී අපේක්ෂාභංගත්වය සහ සෑම ක්ෂේත්‍රයකම ඇති වී තිබෙන දරාගත නොහැකි පීඩනය විසින් සියලූම ජන කණ්ඩායම්  මහ පාරේ අරගලයක් වෙතට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් තල්ලුකර දමා තිබෙන බව ඉතාම කෙටියෙන් කිව හැකිය.  

මේ ජනතා විරෝධයන් සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිචාරය බිය වැද්දීම සහ මර්දනය පමණක්ම  බවට පත් වී තිබීමේ යථාර්ථයට අපි මුහුණ දෙමින් සිටිමු. ප්‍රතිවාදී අදහස් දරන්නන් පැහැරගෙන යාම ආරම්භ වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් ඔහුගේ නිවසේ සිටියදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් පසුව එය අත්අඩංගුවට ගැනීමක් ලෙසින් ප්‍රකාශ වීමෙන්ය. අසේල සම්පත්ගේ දේශපාලන පක්ෂපාතීත්වය සහ භාවිතාව කුමක් ද යන්න පිලිබද අපි දන්නේ නැත.  ඔහු යම් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කරනවා වන්නට පුළුවන. නමුත් ආණ්ඩුවේ මෑත කාලයේ වැරදි භාවිතාවන් දිගින් දිගටම විවේචනය කරමින් මාධ්‍ය හමු තැබූ අසේලට ඔහුගේ දේශපාලන පක්ෂපාතීත්වය කුමක් වුවත් සාමකාමී අදහස් දැක්වීමට සහ විරෝධය පල කිරීමට තිබෙන අයිතිය කිසිවෙකුට ප්‍රශ්න කල නොහැක. අසේලගේ ක්‍රියාකාරීත්වයේ යම් වැරදි අඩුපාඩු තිබුණේ නම් රටේ නීතිය අනුව ඕනෑ තරම් ක්‍රියාකිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණි. නමුත් මෙහිදී ආණ්ඩුව කටයුතු කලේ කිසිසේත්ම සාධාරණ නොවන ආකාරයට බිය වද්දමින් ඔහු පැහැර ගෙන යාමෙනි. පසුව එය අත්අඩංගුවට ගැනීමක් බව ප්‍රකාශ කර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුව ද ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවකට තමන්ගේ පුරවැසියෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැවතියේ නම් මීට වඩා ශිෂ්ටසම්පන්නව එය කල හැකි බව බැලූ බැල්මට පෙනී යන දෙයකි. මන්ද ඔහු සැඟවී හෝ වසන් වී සිටි පුද්ගලයෙකු නොව ජනමාධ්‍යය හමුවේ ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් සිය අදහස් ඉදිරිපත් කල තැනැත්තෙකු නිසාය. විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවේදී කායික සහ මානසික හිංසනයට ලක්වීමට ඔහුට සිදු වූ බව ප්‍රකාශ කර තිබුණි. පැහැදිලිවම ආණ්ඩුව මේ සිදුවීමෙන් රතු එළි දල්වමින් පෙන්නුම් කලේ  ආණ්ඩු විරෝධි ක්‍රියාකාරීන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට බිය වද්දා පැහැරගෙන ගොස් එය අත්අඩංගුවට ගැනීමක් බව ප්‍රකාශ කිරීමේ නව නීතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවයි.

අසේල සම්පත්ගේ සිදු වීමෙන් සමාජයට දැනෙන ලෙස ප්‍රදර්ශනය වූ ආණ්ඩුවේ මේ බිය වැද්දීමේ නව සම්ප්‍රදාය දිගින් දිගටම සිය අවශ්‍යතාවයන් සදහා යොදා ගැනීමට ආණ්ඩුව කිසිසේත්ම නොපැකිලුණ බව පසුගිය සති කිහිපයේ සිදු වූ සිදුවීම් මගින් ඉතා හොදින් තහවුරු වෙයි. මුලින්ම කෙටියෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක පොලිසියක් විසින් යම් තැනැත්තෙක් නීතිය හමුවට පැමිණ වීම සදහා අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ නෛතික පසුබිම පිලිබදව අවධානය යොමු කරමු. තැනැත්තෙක් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම සැලකෙන්නේ පුද්ගල නිදහස සදහා ඍජුවම බලපාන කරුණක් වශයෙන් වන අතර අනීතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් ඉතා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද සලසා දී තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.  නීත්‍යනුකූලව  පුද්ගලයෙකු වරෙන්තුවක් සහිතව හෝ රහිතව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික බලයක් තිබේ. නමුත් එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතියේ දක්වා තිබෙන නිසි ක්‍රියාදාමය අනිවාර්යෙන්ම අනුගමනය කල යුතුය.  නිසික්‍රමවේදය අනුගමනය කිරීමෙන් තොරව යම් අවස්ථාවක පොලිසිය විසින් නීත්‍යානුකූල අවශ්‍යතාවයක් උදෙසා තැනැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබුවද එය සැලකෙන්නේ නීති විරෝධි ක්‍රියාවක් වශයෙනි. උදාහරණයක් වශයෙන් සිවිල් ඇදුමින් පැමිණ හදිසියේ කඩා පැන විත්තිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ලැබෙන්නේ යම් තැනැත්තෙක් කොතරම් දැනුවත් කිරීම් සිදු කලද නීතිය සහ පොලිසිය මගහරිමින් සැඟවී සිටින අවස්තාවකදීය.  එසේ නොවන අවස්ථාවක නීතිමය අවශ්‍යතාවයක් සදහා වුවත් එවැනි බලහත්කාර පැහැරගෙන යන ස්වරූපයේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීම පැහැදිලිවම බලය ඉක්මවා කටයුතු කිරීමකි.  අදාළ වින්දිතයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.  

මෙකී නෛතික පසුබිම තුළ පසුගිය සති කිහිපයේ සිදු වූ සිදුවීම් පිළිබදව අවධානය යොමු කිරීමේදී උද්ගත වී තිබෙන තත්වය සම්බන්ධයෙන් යම් පැහැදිලි චිත්‍රයක් ගොඩ නගා ගත හැකිය.  ජෝෂප් ස්ටාර්ලින් ඇතුළු ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමත් කොතලාවල පනතට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණ වල යෙදුණ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමේ සිදු වීම් ආදී සිදුවීම් ගණනාවක් ම පසුගිය සති කිහිපයේ සිදු වූ බව අපි දනිමු. එවා එකිනෙක ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන්නේ එම සිදුවීම් සමාජයේ ඉමහත් අවධානයට සහ සංවාදයට ලක් වූ ප්‍රවෘත්තීන් වූ නිසාය. මෙකී ආණ්ඩු විරෝධී සමාජ ක්‍රියාකාරිකයින් විශයෙහි ආණ්ඩුව පසුගිය කාලයේ දක්වනු ලැබූ ප්‍රතිචාර වලින් ඉතා පැහැදිලිව පෙන්වා තිබෙන සංඥාව වන්නේ බියවැද්දීම සහ පැහැර ගෙන යන ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමේ විෂයයෙහි ආණ්ඩුවේ ප්‍රවේශය වන බවයි.

ඊට අමතරව වසංගත රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා පවතින නිරෝධායන නීතිය ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් මර්දන නීතියක් වශයෙන් යොදා ගැනීමට උත්සහ කරන බව ඉතා පැහැදිලිව පෙන්වා දෙමින් සිටී. ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරික ජෝෂප් ස්ටාර්ලින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායනය සදහා යොමු කිරීමේ අනීතිකභාවය සම්බන්ධයෙන් ඔහු විසින් මේ වන විට මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන නිසා ඒ පිළිබදව අපි මෙහි සාකච්ඡා කිරීම සුදුසු නැත.  ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණය මගින් තීන්දු තීරණ ලබා දෙනු ඇත.  කෙසේ වෙතත් මේ ගුරුවරුන්ගේ විරෝධතා ව්‍යාපාරය ආශ්‍රිතව ඉතා වැදගත් කරුණක් අපට නීතිය විශයෙහි හදුනාගැනීමට ලැබුණි. සිය සාධාරණ දුක්ගැනවිලි සහ  අයිතිවාසිකම් විශයෙහි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයෙක යෙදුණු මෙකී වෘත්තීය ප්‍රජාවගේ විරෝධතාවයන් මර්දනය කිරීම සදහා ආණ්ඩුවේ අවශ්‍යතාවයට පොලිසිය විසින් නිරෝධායන නීතියට මුවාවී ගුරුවරුන්ගේ විරෝධතා පෙළපාලි සදහා වාරණ නියෝගයන් ලබා ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත කරුණු දැක්වූ අවස්ථා කිහිපයක දීම අදාළ වාරණ නියෝග ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ගරු අධිකරණය විසින් පොලිසියට සාමකාමී විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීම පුරවැසි අයිතිවාසිකමක් බවත් ඊට බාධා කිරීමට හෝ මැදිහත් වීමට අධිකරණය සූදානම් නොමැති බවත් පැහැදිලිවම පෙන්වා දී තිබේ. සිය ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නීතිය අවභාවිතා කිරීමට වෙර දරන ආණ්ඩුවට ගරු අධිකරණය විසින් නීතිය පෙන්වා දී තිබේ. යුක්තිය සහ සාධාරණය පතන රටවැසියන්ට එය අස්වැසිල්ලකි.  නමුත් පැහැර ගැනීම සහ බිය වැද්දීම නීතිගත කිරීමට වෙර දරමින් කැලෑ වැදී සිටින ආණ්ඩුව මේ පණිවුඩය තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැක.

විශේෂයෙන්ම කොතලාවල පනතට විරුද්ධව අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගුණ දැවැන්ත විරෝධතාවයන් හමුවේත් ආණ්ඩුව මර්දනයේ යගදාව දිගු කලේ බිය වැද්දීමේ මුට්ටිය දමා බැලීමෙනි.  මේ විරෝධතාවයන් වලට සම්බන්ධ වූ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ත්‍රිරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටින අවස්ථාවේ දී සිවිල් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බැලූ බැල්මට ම නීතියේ සීමාව ඉක්මවා යමිනි.  එමෙන්ම කොතලාවල පනතට විරුද්ධව අරගල කල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමේ දී ආණ්ඩුව කටයුතු කරනු ලැබූ බලය ඉක්මවා ක්‍රියා කිරීමේ ස්වාභාවය බැලූ බැල්මට පෙනෙන්ට තිබුණි. ඔවුන් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඉඩ තිබෙන නිසාත් මේ සම්බන්ධ සිදුවීම් අධිකරණය හමුවේ විභාග වන නඩුවලට සම්බන්ධ සිදුවීම් නිසාත් අපි ඒ සිදුවීම් සම්බන්ධයෙන් මෙහි සාකච්ඡා නොකරමු.

කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදු වූ සිදු වීම් මගින් ආණ්ඩුව ගමන් කිරීමට උත්සහ කරන දිශාව පැහැදිලිවම පෙන්වා දී තිබේ. උදාහරණයක් වශයෙන් කොතලාවල පනතට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වී එමින් සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් ගමන් කරමින් තිබූ බස් රථයකට ගොඩ වූ සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් අපරාධකාරයෙක් සොයන ආකාරයට එම බස් රථය තුළ යම් තැනැත්තෙක් සොයා තිබේ. එමෙන්ම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු පැහැර ගැනීමටත් උත්සහ කර තිබේ. නමුත් ඒ මොහොතේ ඉදිරිපත් වූ දැවැන්ත විරෝධය නිසා ඔවුන්ට පසුබා හකුලාගෙන යාමට සිදු වී තිබේ. ඒ සිදුවීම ආශ්‍රිත වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වල සංසරණය වූ නිසා බොහෝ දෙනෙකු ඒ සිදුවීම දුටුවේය.

මීට දින කිහිපයකට කලින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ නෛතික ප්‍රතිපාදන යොදා ගනිමින් රදවා තබා ගැනීමත් මෙකී සිදුවීම් මාලාවේ ආසන්නතම සිදුවීම වශයෙන් පෙන්වා දිය හැක. දැන ගන්නට තිබෙන තොරතුරු වලට අනුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට සම්බන්ධ ඔහු විසින් ලබා දී තිබුණ තොරතුරක් සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොල්ලුපිටිය පොලිසියට කැදවා ඉන්පසු අපරාධ කොට්ඨාසය මගින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කරුණු ඉදිරිපත් කර මේ මාධ්‍යවේදියා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ. මේ සම්බන්දයෙන් දැනට අධිකරණ කටයුත්තක් තිබෙන නිසා අපට ඒ පිළිබදව සාකච්ඡා කල නොහැක. නමුත් ඉතා බිහිසුණු අපරාධ වන ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් යොදා ගැනීමට තිබෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව තැනැත්තෙක් අත්අඩංගුවට ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු යැයි අපි විශ්වාස කරමු.

මේ ආකාරයට පසුගිය කාලයේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වූ බොහෝ විරෝධතාවයන් වලදී බිය වද්දමින් පැහැරගෙන යාමට උත්සහ කරමින් ආණ්ඩුව විසින් ලබා දී තිබෙන සංඥාව පැහැදිලිය.  නීතියේ සලුපිලි අන්දවා බලහත්කාරයේ සහ මර්දනයේ මුගුරෙන් සිවිල් සමාජයට පහර දීමට ආණ්ඩුව ආරම්භ කර තිබේ.  ඒ සම්බන්ධයෙන් වන ඉදිරි නඩු කටයුතු වලදී සියලු පාර්ශවයන්ට කන් දී ගරු අධිකරණය විසින් නීතිය සාධාරණව ක්‍රියාත්මක කරනු ඇත.  මේ වන විටත් නිරෝධායන නීතියට මුවාවී ජනතා විරෝධතාවයන් වාරණය කල නොහැකි බව ගරු අධිකරණය විසින් පෙන්වා දී තිබේ.

වැදගත් ම කරුණ වන්නේ මේ වන විට මර්දනයේ යගදාව පෙන්වා නීතිය කෙලෙසීමට සැරසෙන රාජපක්ෂ ආණ්ඩුව හමුවේ වෘත්තීය සමිති ඇතුළු සමාජ දේශපාලන ක්‍රියාකාරිකයින් බියගුලු නිවටයින් ලෙස හිස පහත් කරගන්නවා වෙනුවට අධිෂ්ඨාන සහගත අරගලයේ මාවත තෝරාගෙන තිබීමයි.  ආණ්ඩුව මුට්ටිය දමා බලන විට මුට්ටියට පහර දී කුඩු කිරීමට මේ ජනතා බලවේගයට හැකි වී තිබේ.  සැබවින්ම මේ මොහොතේ අධිෂ්ඨානශීලී ආශ්වාදජනක ජනතා විරෝධයක් සහ අරගලයක් ඇති වී තිබෙන බව කිව යුතුය.  මන්ද රාජපක්ෂ ආණ්ඩුව සැරසුණේ මීට වඩා දැවැන්ත මර්දනයක් සදහා බව පැහැදිලිය. වැටුප් අරගලයේ දී ගුරු වෘත්තීය සමිති සහ කොතලාවල පනතට එරෙහි අරගලයේ දී ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින් මහ පාරේ සිදු කල දැවැන්ත අරගලය මේ මොහොතේ ආණ්ඩුවට අනපේක්ෂිත අත්දැකීමක් ලබා දුන් බව පැහැදිලිය.  පැහැර ගැනීමට උත්සහ කරමින් සහ බිය වද්දමින් ආණ්ඩුව සැරසුණේ මේ ජනතා නැගී සීටීම මර්දනය කිරීමට වුවත් ඊට එරෙහිව නීතිය හමුවට යමින් අධිෂ්ඨාන සහගත සටන් ක්‍රියාමාර්ගයකට වෘත්තිය සමිති සහ ශිෂ්‍යයින් ප්‍රවේශ වීම නිසා සිය මර්දනයේ හස්තය යම් තරමකට හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වූ බව පැහැදිලිවම පෙනෙන්ට තිබේ.  මේ ජනතා ක්‍රියාකරීත්වය ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයක් වටා සංවිධානය වුවහොත් මේ මර්දනකාරී ආණ්ඩුව හමුවේ වඩා යහපත් බලා පොරොත්තුවක් හෙට දවසේ තබා ගත හැකි බව අවසාන වශයෙන් ලියා තබමි.

සුදේශ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *