හෙටත් මෙච්චරම කළුවරද?

මේ ගෙවී යමින් තිබෙන්නේ ලංකාවේ නිදහසින් පසුව ගෙවුණ දශක හතකට වැඩි ඉතිහාසයේ දේශපාලනික වශයෙනුත්, ආර්ථික වශයෙනුත් සංක්‍රාන්ති සමයක් බව අපගේ අදහසයි. එසේ කියන විට පවතින තත්වයේ බරපතල තාවයට වඩා ඇතිවන්නේ එක්තරා උත්ප්‍රාසයකි. මන්ද ඉතිහාසය පුරාවටම එළඹුන සෑම මැතිවරණයක් තුළදීම මේ උදාවී තිබෙන්නේ සුවිශේෂි මොහොතක් නැතහොත් රට බේරා ගැනීමේ අවසාන අවස්ථාව ආදී  වශයෙන් කපටි දේශකාලකයින්ගේ සුරංගනා කථාවන් නොනවත්වා එක දිගටම අසා අපි හොදට පුරුදු වී තිබෙන නිසාය. ඉතිහාසයේ සුවිශේෂ මොහොතක් නැතහොත් අවසාන අවස්ථාවක් සංක්‍රාන්ති යුගයක් වැනි වචන ඇහෙන විටම ලාංකීය ඡන්ද දායකයින්ට මුවට සිනහවක් පහලවීම සහ මැතිවරණයක් ආසන්න බව හැගවුම්කරණය වීම සාමාන්‍ය දෙයකි. නමුත් එවැනි කපටි දේශපාලන කතාවකින් වියුක්තව ජාතියක් වශයෙන් ලාංකීය පුරවැසියන්ගේ සමාජ දේශපාලනික පැවැත්මේ තීරණාත්මක මොහොතක් එළඹ තිබෙන බව මෙන්ම සංක්‍රාන්ති සමයක් ගෙවී යමින් තිබෙන බව අප මෙහි ප්‍රකාශ කරන්නේ වෙනත් අර්ථයකිනි.

ආර්ථික අර්බුදයෙන් අපේ මේ සාකච්ඡාව ආරම්භ කල හැකිය. ශ්‍රී ලංකාව ගෙවන මේ මොහොත වන විට  දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන බව පාසල් දරුවෙකු වුවත් ඉතාම හොදින් දන්නා කරුණකි. ඩොලර් හිÕය, විදේශ විනිමය අර්බුදය ආදී වශයෙන් විවිධ නම් වලින් හදුන්වන මේ ප්‍රශ්නයේ ඉතාම සරල අර්ථය වන්නේ ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට පත්වී තිබෙන බව පැහැදිලිය. නිදහසින් පසුව ගෙවුණ ඉතිහාසයේ පෙර කිසිම කාලයක ඇති නොවුන තරමේ ආර්ථික පීඩනයක සහ අවිනිශ්චිතාර්ථයක රට  හිරවී තිබෙන බව ඉතාම පැහැදිලි කරුණකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත  කන්ටේනර් දහස් ගණනක් වරායේ හිරවී තිබෙන්නේ ඒ්වා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති නිසා බව ප්‍රකාශ වී තිබේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉතිහාසයේ ප්‍රථම වරට  වසා දමා තිබෙන අතර රටට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම කොයි මොහොතේ නතරවේදැයි පවතින්නේ දෙගිඩියාවකි. මේ සියලු කරුණු තවදුරටත් විස්තරාත්මකව ලිවීම අවශ්‍ය නොවන්නේ රටේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම අයෙක් මේ සියලු කරුණු ඉතා හොදින් දන්නා නිසාය. රජය නිල වශයෙන් රට බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින බව පිළිගෙන තිබේ. පසුගිය තිස් අවුරුදු යුද්ධය පැවති කාලයේ ඇතුළු මොනම ආකාරයේ අර්බුදකාරී තත්වයක් තුළදීවත් සිදු නොවූ ලෙසින් වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව ආර්ථික අර්බුදය හමුවේ බරපතල අසරණ වීමට ලක්වී තිබෙන බව ඉතාම පැහැදිලිය. සියලු විදේශගත ශ්‍රී ලාංකීකයින්ගෙන් රටට වාර්ශිකව ඩොලර් සීයයක් වත් එවන ලෙසට ආයාචනය කරන තත්වයටම මේ අර්බුදය දරුණු වී තිබේ. ගෙවීමට තිබෙන ණය කන්ද පාමුල ශ්‍රී ලංකාව පවතින්නේ ජාත්‍යන්තර වශයෙන් රට බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නතම අවස්ථාවක බව හැම අතින්ම අනතුරු හැගවීම් නිකුත් වී තිබේ.  මේ සියලු කරුණු වලින් ඉතා පැහැදිලිවම නිරූපණය වන යථාර්ථය වන්නේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් මින්පෙර ඉතිහාසයේ පෙර කවර අවස්ථාවකවත් මුහුණ නොදුන් තරමේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන බවයි.

රටේ ආර්ථික තත්වය එසේ වන විටදී දේශපාලන වශයෙන් තිබෙන්නේ කිනම් පසුබිමක්ද? රාජපක්ෂ පවුල් පාලනයේ දෙවන ධූරකාලය වශයෙන් හැදින්විය හැකි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ පළමු වසර දෙකක කාලය ගෙවී ගොස් තිබේ. මේ රජය බලයට පත්වීම සම්බන්ධයෙන් පැවති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන මැතිවරණයන් දෙකේදීම ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව ජයග්‍රහණය කරනු ලැබූ බව අපි දනිමු. විශේෂයෙන්ම සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයකදී 2/3 ක බහුතර බලයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ලැබුණි. එලෙස විශාල බහුතරයක් ලබා දෙමින් මේ රජය බලයට පත්කිරීමේ දේශපාලනික අර්ථය වූයේ ගෝඨාභය රාජපක්ෂ නමින් ගොඩ නංවා තිබූ දැවැන්ත බලාපොරොත්තු සහගත නායකත්වය සම්බන්ධයෙන් රටේ ඡන්ද දායකයින් තුළ පැවති විශ්වාසය සහ බලාපොරොත්තුවයි. පොහොට්ටු පක්ෂයේ ඉතා දැවැන්ත සහ ආකර්ෂණීය ප්‍රචාරක ව්‍යාපාරය මගින් කරවටක් විනාසයේ ගිලි තිබෙන මාතෘ භූමිය  ගලවා ගැනීමට පහල වූ දියසේන කුමාරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා සාර්ථකව අලෙවි කිරීමට සමත් වූ බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ යනු මාධ්‍ය මගින් පුම්බනු ලැබූ හුදු කාඩ්බෝඩ් වීරයෙක් පමණක් බව මෙන්ම ඔහුගේ නායකත්වය යටතේ පත්වන දෙවන රාජපක්ෂ ආණ්ඩු සමයකදී රටට අත්විය හැකි ඉරණම සම්බන්දයෙන් මධ්‍යස්ථ මථධාරීන්, සිවිල් සංවිධාන සහ ජාතික ජනබලවේගය ඇතුලු දේශපාලන කණ්ඩායම් කෙතරම් කරුණු ඉදිරිපත් කරනු ලැබුවද මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මේ රටේ සාතිශය බහුතරයක් වූ ඡන්දදායකයින් එය එතරම් නොසලකා හැරිය බව සහ පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපාරයට රැවටුන බව පිලිගත යුතුය.ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම් බොරුවෙන් චාටුවෙන් වර්ණ ගන්වා තිබූ පොහොට්ටු ප්‍රචාරණ ව්‍යාපාරය පරදවා මේ යථාර්ථය මැතිවරණය ආශ්‍රිතව ජනමනසේ ස්ථාපිත කිරීමට රාජපක්ෂ විරෝධී බල කදවුරට නොහැකි වීය.

ඒ් තත්වය ලංකාවේ මෑත දශකයේ දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන් සලකා බැලීමේදී සුවිශේෂ තත්වයක්ය යන්න අපගේ අදහසයි. පවතින දූෂිත සහ ආකාර්යක්ෂම පාදඩ දේශපාලන සංස්කෘතිය සම්බන්දයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන බේදයකින් තොරව රටේ පොදු මහජනතාව විෂයෙහි පිළිකුළක් සහ විරෝධයක් පැහැදිලිවම පෙනෙන්ට තිබුණි. පාර්ලිමේන්තුවේ 225 ම එපා යන සටන් පාඨය සමාජගත වූයේ මේ හේතුව නිසාය. විකල්ප  දේශපාලන දහරාවක සහ විශේෂයෙන්ම දේශපාලන නායකත්වයක පිපාසයක් වසර කිහිපයක් මුළුල්ලේ ලංකාවේ දේශපාලන බිමේ ඇති වෙමින් පැවති බව පැහැදිලිවම පෙනෙන්ට තිබුණි. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය ආශ්‍රිතව පැවති මැතිවරණ ව්‍යාපාරය තුළ දී ජාතික ජනබලවේගයේ  ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතාට විශාල ජනකාන්ත භාවයක් ලැබී තිබුණේ සමාජයේ පැවති මේ දේශපාලන මනෝභාවය නිසාවෙනි. ජාතික ජනබලවේගයේ ගාලු මුවදොර පිටියේ පැවැත් වූ ජනාධිපති මැතිවරණ රැලියට වාර්තාගත ජනගගක් ගැලීම තුලින් මේ යථාර්ථය පැහැදිලිවම නිරූපණය වූ බව අපේ අදහසයි. කෙසේ වෙතත් ආරම්භයේ පටන්ම පවත්නා දේශපාලන සංස්කෘතියෙන් පරිභාහිර විකල්ප දේශපාලන නායකත්වයක් සම්බන්ධයෙන් වූ සමාජ මතයට උපක්‍රමශීලිව ආමන්ත්‍රණය කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයට පැවති බව ඉතාම පැහැදිලිවම පෙනෙන්ට තිබුණි. වර්තමානය වන විට ඉතා දැවැන්ත විහිළුවක් බවට පත්වී තිබුණත්        ˝ වියත්මග˝ වැනි වූ ව්‍යාපෘතින් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විකල්ප නායකත්ව පෞරුෂය පුම්බනු ලැබූ බව කිව හැකිය. එමෙන්ම යුධ ජයග්‍රහණය සහ කොළඹ නගරය ලස්සන කිරීම ආදී වූ රාජපක්ෂ ආණ්ඩුවේ ජනතාවගෙන්  ප්‍රතික්ෂේප වූ සැරසිලි අලුගසා දමා අලුතින් තීන්ත පිරියම් කොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විකල්ප නායක වේදිකාවේ ඉතා මැනවින් ස්ථානගත කිරීමට පොහොට්ටු ප්‍රචාරණ යාන්ත්‍රණය ඉතා සූක්ෂම සහ දක්ෂ වූ බව කිසිදු පැකිලීමකින් තොරව පිලිගත යුතුය. මේ සියල්ල සමග සිදු වූ පාස්කුප්‍රහාරය සමග මෙතෙක් කලක් රාජපක්ෂලා තමන්ගේ බලදේශපාලන ව්‍යාපෘතීන් සදහා පට්ට ගසනු ලැබූ ජනතාවට තිත්ත වී තිබුණ ජාතික ආරක්ෂාව සම්බන්ධ සටන් පාඨය මකුළුදැල් පිසදමා අළුත් වටයකින් අලෙවි කිරීමට ලැබූණේ ස්වර්ණමය අවස්ථාවකි. මේ සියළුම තත්වයන් තුළ නැවුම් දේශපාලන නායකත්වයක් සම්බන්ධයෙන් වූ සමාජ ඉල්ලීම සදහා ආදේශකය වශයෙන් ගෝඨාභය රාජපක්ෂ රටේ බහුතරයක් වූ ඡන්දදායකයින් විසින් තෝරාපත්කර ගනු ලැබූ බව අපි දනිමු.

එය ලංකාවේ මෑතකාලීන දේශපාලනය සම්බන්දයෙන් සැලකීමේදී උත්ප්‍රාසජනක ඛේදවාචකයක් යැයි අපි විශ්වාස කරමු. පැවති දුර්දාන්ත සහ දූෂිත දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන නැවුම් දේශපාලන බලාපොරොත්තුවක් වෙනුවෙන් අභිෂේක ලැබුවේ පැවති දුර්ධාන්ත දේශපාලන  සංස්කෘතියේ සංකේතයක් වැනි වූ  නරකම අපේක්ෂකයා වීම එම උත්ප්‍රාසජනක ඛේදවාචකයයි. කෙසේ වෙතත් ඔහුගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය විසින් ඊනියා නැවුම් නායකත්ව සළුපිලිවලින් ඔහු හොදින් හැඩ වැඩ දමා අන්දවා තිබුණි. ලංකාවේ මැතිවරණයක් ආශ්‍රිතව ඡන්දදායකයින් අවසාන මොහොතේ හැසිරෙන ස්වරූපය සහ හේතු  සාධක පිළිබදව ඉතාමත් සංවේදී වෙමින් ක්‍රියාත්මක වූ ගෝඨාභයගේ ප්‍රචාරණ ව්‍යාපාරය නිසා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට නැවුම් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන නැවුම් නායකයෙක් වශයෙන් ගොඩනැගෙමින්  පැවති ජනතා ආකර්ෂණයට සහ අවදානයට සාපේක්ෂවූ ඡන්ද ප්‍රමාණයක් මැතිවරණයේදී ලැබුණේ නැත. අප ඒ් අනුව කියන්නේ එම මැතිවරණයේදී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තරම් ඡන්ද පදනමක් අනුර කුමාර දිසානායක මහතාට ගොඩ නැගී තිබුණ බව නොවේ. මැතිවරණය ජයග්‍රහණය නොකලත් තීරණාත්මක ඡන්ද පදනමක් තුළ ජනතාවගේ නැවුම් දේශපාලන අපේක්ෂාව අනුර කුමාර දිසානායක මහතා හරහා නිරූපණය විය යුතු තත්වය වියැකි ගියේ ගෝඨාභය රාජපක්ෂගේ මෙකී සූක්ෂම ප්‍රචාරණ ව්‍යාපාරය නිසා බව පැහැදිලිය. ජනාධිපතිවරණයෙන් පසුව පැවති මහමැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්තු බලයක් පොහොට්ටු පක්ෂයට ලැබෙන්නේ මෙකී සමස්ත දේශපාලනික චිත්‍රය තුළ සැබෑම නැවුම් වෙනසක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තුළින් පොදු ජනතාව බලාපොරොත්තු වූ නිසා බව අමුතුවෙන් කිවයුතු නැත.

නමුත් ඒ් ආණ්ඩුවේ ආයු කාලය වසර දෙකක් ගෙවී යන වර්තමානය වන විට එම ජනතා අභිලාෂයන් සහ බලාපොරොත්තු වලට සිදු වී තිබෙන දේ වෙන වෙනම සාකච්ඡා කර කාලය නාස්ති කිරීම අවශ්‍ය වන්නේ නැත. කොටින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාටම අවස්ථා දෙකකදීම සිය රජයේ ක්‍රියාකාරිත්වයේ අසමත්භාවය සහ ඒ් සම්බන්ධයෙන් වන ජනතා අප්‍රසාදය සහ පිළිකුල ප්‍රසිද්ධියේම පිළිගැනීමට සිදුවිය. එක් ප්‍රසිද්ධ කථාවකදී ඔහු කීවේ තම රජය පිළිබදව ජනතාව කලකිරීමෙන් සිටින බව තමන් දන්නා බවත් ඒ් යථාර්ථය සිය රජයේ ඇමතිවරුන්ද පිළිගත යුතු බවත්ය. තවත් ප්‍රසිද්ධ කථාවකදී ඔහු කීවේ තමන්ගේ රජයේ පාලනය පිළිබදව ජනතාව අතෘප්තිමත් වන්නේ නම් නැවත බලයේ සිටි කණ්ඩායමටම බලය ලබා දෙනවා වෙනුවට නව දේශපාලන ප්‍රවාහයක් බලයට පත්කර ගන්නා ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එවැනි ප්‍රකශයක් සිදු කරන්නේ උපක්‍රමිකව ජනතා අනුකම්පාව ලබා ගැනීමට බව පෙනී ගියද ‍ඔහුගේ එම නිර්ව්‍යාජ අදහස් දැක්වීම සම්බන්ධයෙන් සමාජ අවධානයක් සහ සාකච්ඡාවක් ඇති වූ බව අපි දුටුවෙමු. ජනාධිපතිවරයාගේ එවැනි  ප්‍රකාශයන් මගින්ම තහවුරු වන්නේ මේ වන විට මේ ආණ්ඩුව කෙතරම් ජනතා අප්‍රසාදයට පත්වී තබේද යන්න මිස වෙනත් යමක් නොවේ. ගැසට් ගසමින් නැවත ඒ් ගැසට් අවලංගු කරමින් රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පමණක් නොව ඊනියා කාබනික වගා නාඩගමක් නටමින් රටේ සාතිශය බහුතරයකගේ‍‍‍‍ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂි කර්මාන්තය සමගද සෙල්ලම් කල ආණ්ඩුව නැවත නැවතත් හත්පොලේ ගාගනිමින් පෙන්වා දෙමින් තිබෙන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්භාවය පමණක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මැවු ජනතා බලාපොරොත්තු වල ව්‍යාජ බව සහ හිස්භාවයයි. දරදඩු , ඍජු, කාර්යක්ෂම නායකයෙක් ලෙසින් හැඩගන්වා තිබුණ ගෝඨාභය රාජපක්ෂ සාධකය හුදු සැරසිල්ලක් නැතහොත් හිස් පඹයෙක් පමණක් බවට මේ වන විට හැටනව ලක්ෂයක් වූ පොහොට්ටු පක්ෂයේ ඡන්දදායකයින්ටම තේරී ගොස් තිබේ.

මේ මොහොතේ ඇති වී තිබෙන මේ සුවිශේෂි දේශපාලන තත්වය තුළ, තවත් පැහැදිලිව කියනවානම් රටක් වශයෙන් ලංකාව මුහුණ දී තිබෙන දේශපාලන සහ ආර්ථික අපේක්ෂාභංගත්වය තුළ වෙනත් දේශපාලන සංස්කෘතියක්  නැවුම් දේශපාලන නායකත්වයක් සම්බන්ධ සංවාදය තවත් වටයකින් ඇරඹෙමින් තිබෙන බව පෙනේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුක්ත ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් සමාජ අවධානයක් නැවත ඇතිවෙමින් තිබෙන බව පෙනේ. සමගි ජනබලවේගය සහ එහි නායකයින් වන සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක මහත්වරුන් අතරද ඊළග ජාතික නායකත්වය සම්බන්ධයෙන් තරගයක් සහ පොරයක් ඇති වී තිබෙන බව පෙනෙන්ට තිබේ. මේ මොහොතේ ඇති වී තිබෙන දේශපාලන රික්තය සහ සංක්‍රාන්ති තත්වය තුළ එවැනි සියලුම විපක්ෂ දේශපාලන බලවේගයන් සහ නායකයින් සම්බන්ධයෙන් රටතුළ විවේචනාත්මක සංවාදයක් ඇති වීම යහපත් බව අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි වූ විපක්ෂ බලවේගයන් පිළිබදව අපේ විවේචනාත්මක දේශපාලන අදහස ඉදිරි ලිපි වලින් සවිස්තරාත්මකව සහ වෙන වෙනම සාකච්ඡා කිරීමට අදහස් කරමු. මේ ලිපිය මගින් අපගේ විශේෂ අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ මේ ඇති වී තිබෙන සුවිශේෂි තත්වය තුළ විකල්ප දේශපාලන බලවේගයක් සහ නායකත්වයක් වශයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලන කදවුරේ වලංගුතාවය සම්බන්ධයෙනි.

          මේ සාකච්ඡාව තුළදී විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් නැවත ඇති වී තිබෙන අවදානය සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමුකල යුතු යැයි සිතමි. මේ මොහොතේ පවත්නා තත්වය තුළ ලංකාවේ දේශපාලනය මේ තරම් ජරාජීර්ණ වී තිබෙන්නේ පැවති සහ පවතින සුවපත් කල නොහැකි තරමට සහමුලින්ම කුණු වී තිබෙන දේශපාලන සංස්කෘතිය නිසාය යන්න ඕනෑම අයෙකු අවිවාදිතව පිළිගනු ඇතැයි සිතමි. එවැනි අතිශය දූෂිත ක්‍රමයක් මගින් පත්කර ගන්නා පොදු අපේක්ෂකයෙක් මැතිවරණයක් මගින් බලයට පත්වූවත් පවත්නා ක්‍රමය විප්ලවීය ලෙසින් පරිවර්තනය කරනු

ඇතැයි සිතීම තව දුරටත් මෝඩ කමක් නොව සැබෑම විහිලුවක්ය යන්න අපගේ අදහසයි. එලෙස ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට ඉතා සත්‍භාවයෙන් පවත්නා දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අභිලාෂයක් පැවතියද මේ රටේ දූෂිත දේශපාලන ව්‍යුහය තුළ එවැන්නක් සිදු කල නොහැකි බව අවබෝධ කර ගැනීමට ගැඹුරු දේශපාලන දැනුමක් අවශ්‍ය වේ යැයි අපි නොසිතමු. පසුගිය යහපාලන රජයේ ජනාධිපතිවරයා වූ සිරිසේන මහතා ඉතා නොදියුණු අවස්ථාවාදී සහ බලලෝභී දේශපාලකයෙක්ය යන්න පිළිබදව කිසිදු විවාදයක් නැතත් ඊනියා යහපාලන රජයේ අසාර්ථකත්වයේ හේතුව සිරිසේන මහතාගේ හෝ වික්‍රමසිංහ මහතාගේ හෝ පෞද්ගලික අඩුලුහුඩුකම් සහ දුර්වලතාවයන් පමණක් නොවන බව අපගේ අදහසයි. මේ ලිපිය අනවශ්‍ය ලෙසින් දීර්ඝ වන නිසා මෙහි ඒ් පිළිබදව වැඩි දුරටත් ලිවීමට අපේක්ෂා නොකරමි. අපගේ අදහස අනුව පොදු දේශපාලන අරමුණක් සදහා විවිධ දේශපාලන අනන්‍යතාවයන් සහිත පක්ෂ සහ කණ්ඩායම් එක් සටන් පෙරමුණක හිද එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටීම සහ සටන් කිරීම ප්‍රතික්ෂේප කල යුතු යැයි අපි නොසිතමු. සැබවින්ම සිය සුවිශේෂ දේශපාලන අනන්‍යතාවයන් රැකගෙන පොදු අරමුණක් වෙනුවෙන් එක්ව සටන් කිරීම අනිවාර්යෙන්ම අපේ දේශපාලන භූමියේ ජයග්‍රහණයන් සදහා ඉතා වැදගත් සහ අවශ්‍ය සාධකයක් බව අපි විශ්වාස කරමු. නමුත් පවත්නා මජර සහ දූෂිත ක්‍රමය රැක ගනිමින් එක කල්ලියකින් බලය ලබාගෙන තවත් කල්ලියකට බලය දීමට ව්‍යාජ පොදු අපේක්ෂක ‌බෝඩ් ලෑල්ලක් යට හිට ගැනීමේ දේශපාලන ප්‍රෝඩාවේ තරම පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ඕනවටත් වඩා හොදින් ඉගැන් වූ බව අපගේ අදහසයි.  

                                     අපේ රටේ ඊළග දේශපාලන බලාපොරොත්තුව වශයෙන් ජාතික ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන කදවුර සම්බන්දයෙන් සාකච්ඡා කිරීමේ දී නිරායාසයෙන්ම ඕනෑම අයෙක් මතුකරන ප්‍රධාන ප්‍රශ්න පිළිබදව විවේචනාත්මකව විමසා බැලිය යුතුයැයි සිතමි. මුල්ම ප්‍රශ්නය වශයෙන් මෙහිදී ඉදිරිපත් වන්නේ මේ බලකදවුරට මැතිවරණයකින් ජයග්‍රහණය කර රාජ්‍ය බලය ලබාගත හැකිද යන්නය. බලය ලබාගත නොහැකි නම් එම දේශපාලනය වෙනුවෙන් වෙහෙසීමෙන් තේරුමක් තිබේද? යන්න ඊළග ප්‍රශ්නයයි. ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් හෝ එවැනි මතවාදිමය කාරනා සම්බන්දයෙන් හෝ  88 – 89 කාලයේ ජවිපේ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය සම්බන්දයෙන් විවේචනාත්මක අදහස් දරණ කණ්ඩායම් වලට මේ බලවේගය සමග එකතු වී වැඩකල හැකිද යන්න ඊළග වැදගත් ප්‍රශ්නයයි. ජවිපෙට වඩා නැවුම් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගයකට මේ නව නායකත්ව භූමිකාව පැවරීම වඩාත් සුදුසු නොවන්නේද යන ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අනෙක් වැදගත් අදහස වශයෙන් කිව හැකිය. ජවිපේ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධයෙන්  වන දැක්ම සහ වැඩපිලිවෙල ප්‍රායෝගික නොවන සහ නූතනවාදී නොවන එකක්ය යන්න අනෙක් වැදගත් විවේචනාත්මක අදහස වශයෙන් අපි දකිමු.

          මුලින්ම අපි ජාතික ජනබලවේගයට මැතිවරණ ජයග්‍රහණය කල හැකිද? මැතිවරණය ජයග්‍රහණය කල නොහැකි නම් ඒ් වෙනුවෙන් සිදු කරන මහන්සිය අපතේ යාමක් නොවේද යන ප්‍රශ්නය සම්බන්දයෙන් අවධානය යොමු කරමු. දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් සිය ඡන්දදායකයින්ගේ සහ ක්‍රියාධරයින්ගේ උද්යෝගය පවත්වාගෙන යාම සදහා ජවිපේ නායකයින් මැතිවරණ ජයග්‍රහණයක් සහ ආණ්ඩු පිහිටුවීම් සම්බන්ධයෙන් කතාකිරීම අපිට තේරුම්ගත හැකිය. ඒ් අර්ථයෙන් අපි මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විවේචන කිරීමට කැමති නැත. නමුත් එළඹෙන නුදුරු දිනයකදීම ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පිහිටු වන ලබන බව අපි කියන්නේ නැත. නුදුරු දිනයකදී එවැනි මැතිවරණ ජයග්‍රහණයක් සම්බන්දයෙන් යමෙක් බලාපොරොත්තු තබාගෙන සිටින්නේ නම් එය ප්‍රායෝගික නොවන සිහිනයක් බවද ප්‍රකාශ කිරීමට අපි පැකිලෙන්නේ නැත. නමුත් මේ බලවේගයේ ජන පදනම ශක්තිමත්ව වර්ධනය වීම සහ එහි බිම්මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වය වඩාත් සක්‍රිය වීම රටේ දේශපාලන සෞඛ්‍ය සම්බන්දයෙන් සැලකීමේදී ඉතා යහපත් බව අපි විශ්වාස කරමු.  මේ රට බිදවැටෙන නිසා රට අතහැර යාම හොදම පිලියම යැයි අපි විශ්වාස නොකරමු. රටේ අනාගතය සම්බන්දයෙන් දුෂ්කරම පැයේදී වඩාහොද අනාගතයක් වෙනුවෙන් නිර්ව්‍යාජව අරගල කරන ශක්තිමත් විපක්ෂ බලවේගයක් ගොඩනගා ගැනීම රටේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් සැලකීමේදී සතුටු විය හැකි ජයග්‍රහණයකි. ආණ්ඩුවක් පිහිටු වීමට නොහැකි වූවත් ශක්තිමත් විකල්ප ආණ්ඩුවක් ලෙසින් ක්‍රියාකිරීමට එවැනි දේශපාලන බලවේගයකට තිබෙන ශක්‍යතාවය සුළුපටු එකක් නොවේය යන්න අපගේ විශ්වාසයයි. වඩාත් යහපත් දේශපාලන පරිවර්තනයක් සහ අනාගතයක් උදෙසා මේ මොහොතේ ගත හැකි හොදම ආරම්භය එයයි යන්න අපගේ අදහසයි. මේ නිසා ජාතික ජනබලවේගය මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටු වූයේ නැති වුවත් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම අපරාධයක් හෝ නාස්තියක් නොව මේ මොහොතේ රටේ දේශපාලන අනාගතය වෙනුවෙන් සිදු කරන හොදම ආයෝජනයක්ය යන්න  අපගේ අදහසවේ.

          මතවාදීමය කාරණා සම්බන්ධයෙන් හෝ ජවිපේ අතීතය සම්බන්ධයෙන් විවේචනාත්මක කණ්ඩායම් වලට ජාතික ජනබලවේගය සමග එකතු විය හැකිද යන්න  අනෙක් වැදගත් ප්‍රශ්නයයි. පෞද්ගලිකව   මේ ලියුම්කරු ජවිපේ ක්‍රියාධරයෙක් නොවේ. එමෙන්ම ජවිපේ බිම් මට්ටමේ සමාජිකයින් සහ ක්‍රියාකාරකම් සමබන්ධයෙන් අපටත් බොහෝ විවේචන සහ නොඑකගතාවයන් තිබේ. ඒ සියලු විවේචන සහ නොඑකගතාවයන්  සහිතව වුවත් මැතිවරණයකදී ජාතික ජනබලවේගයට සහයෝගය දීමට සහ ඡන්දය දීමට හෘදසාක්ෂියට එකගව අපට අපහසු නැත. දහසක් වැරදි අඩුපාඩුකම් සහ විවේචන මධ්‍යයේ වුවත් ලාංකීය දේශපාලන පොරපිටියේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව යම් හෝ  යහපත් බලාපොරොත්තුවක් තබාගත හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයයි යන්න අපේ අදහසයි.  එමෙන්ම 88 – 89 යුගය සැබැවින්ම අදුරු යුගයකි. ඒ යුගය සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් යම්කිසි ස්ථාවරයක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නට පුලුවන්. ඒ කෙසේ වෙතත් ඒ යුගය තුළදී ජවිපේ විසින්ද බොහෝ වැරදි අඩුපාඩුකම් සිදු වී තිබෙන්නට පුළුවන. නමුත් එය ගෙවා දැමු අදුරු අතීතයකි. අදුරු අතීතයක එල්ලී සිටිනවාට වඩා යහපත් අනාගතයක් දෙස බැලීම වඩාවැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක් අතට වර්තමාන ජාතික ජනබලවේගයේ බොහෝ නායකයින් සහ ක්‍රියාධරයින් 88 – 89 අදුරු යුගයෙන් පසුව බිහි වූ නැවුම් මිනිසුන්ය යන්නද පිළිගත යුතුය.අනෙක් අතට 88 – 89 යුගයේ ජවිපේ විරෝධි වෙනත් වාමාංශික කණ්ඩායම් නියෝජනය කළ වසන්ත දිසානායක වැනි දේශපාලන ක්‍රියාකාරකයින් එම අතීතය අමතක කර පසුගිය මැතිවරනයේදී ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙක් වශයෙන් තරග කරමින් සංකේතවත් කලේ අතීතයේ වැරදි අඩුපාඩු සහ දේශපාලන එදිරිවාදිකම් අනාගත යහපත් බලාපොරොත්තු වෙනුවෙන් මේ මොහොතේ අත්හල හැකි බවය යන්න අපි සිතමු.

          ජවිපෙට වඩා නැවුම් සහ විශේෂයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අලුත් දේශපාලන බලවේගයක් ඊළග විකල්ප නායකත්වය වශයෙන් තෝරා ගැනීම වඩාත් සුදුසු නොවන්නේද යන්න මේ සාකච්ඡාව තුළදී මතුකරන අනෙක් වැදගත් ප්‍රශ්නයයි. ලංකාවේ දේශපාලනයේ මහපොළොවේ යථාර්ථයට අනුව නව ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම කෙතරම් අපහසුද යන්න ගෙවුණ ඉතිහාසය පුරාවට ඕනෑතරම් උදාහරණ තිබේ. අනෙක් වැදගත් කාරණය වශයෙන් අප විශ්වාස කරන්නේ ජාතික ජනබලවේගය වෙනුවට වෙනත් ව්‍යාපාරයක් ගොඩනගනවා නම් එය වඩා ඉදිරිගාමී සහ දියුණු ව්‍යාපාරයක් වීම අවශ්‍යය. නමුත් මෑතකාලීන උදාහරණ දෙස අවධානය යොමුකලහොත් මහේෂ් සේනානායක, නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිත සහ ඔවුන් වටා පෙළ ගැසී සිටි බලවේගය ගෙවුණ ජනාධිපතිවරණයේදී නැවුම් දේශපාලන නායකත්වයක් පිළිබදව වන සමාජ බලාපොරොත්තුව විගඩමක් බවට පත්කල බව කීමට අපට ඕනෑ තරම් කරුණු තිබේ. එවැනි ජෝකර්ලාට විකල්ප බලවේගයක් ලෙස ජාතික ජනබලවේගය ලගටවත් පැමිණීමට නොහැකි බව ගෙවුණ මැතිවරණ ආශ්‍රිතව ඉදිරිපත් කල හැකි ඕනෑ තරම් උදාහරණ තිබේ.  ගුණාත්මක වශයෙන් නාගානන්දලාට වඩා ඉදිරියෙන් සිටින බව කිවහැකි පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි බලවේගයන් මැතිවරණ දේශපාලනයේදී අසාර්ථක වීම මේ යථාර්ථය තවදුරටත් තහවුරු කරනු ලබයි.

          මේ සම්බන්ධයෙන් වන කතාබහේදී ඉදිරිපත්වන තවත් අදහසක් වන්නේ ජවිපේ අදහස් සහ මතවාදයන් පසුගාමී ඒ්වා බව සහ එය නූතනවාදී ව්‍යාපාරයක් නොවන බවයි. ජාතික ජනබලවේගය සමාජ ව්‍යාපාරයක් වශයෙන් වර්ධනය වීමේදී දැන් තිබෙන තත්වයෙන්ම පැවතිය යුතුයැයි අපද සිතන්නේ නැත.  එම ව්‍යාපාරයට එකතු වන අළුත් ව්‍යාපාර නැවුම් මිනිසුන් මගින් කාලයත් සමග එයද වෙනස් විය හැකි බවත් එය එසේ විය යුතු බවත් අපගේද විශ්වාසයයි. දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් එය වර්ධනය විය යුත්තේ මේ මොහොතේ පවතින අදහස් මතවාදයන් සහ ක්‍රියාකාරිත්වයන් අනුවම බව අපි නොසිතමු. එම ව්‍යපාරයට අලුත් අදහස් සහ අලුත් මතවාදයන් එක්කර එම ව්‍යාපාරය වඩා ප්‍රායෝගික සහ නූතන වාදී ව්‍යාපාරයක් බවට පත්කිරීමේ මෙහෙවර පැවරී තිබෙන්නේ ඉදිරියේදී මේ සමග අත්වැල්බැද ගන්නා ගැහැණුන්ට සහ පිරිමින්ටය යන්න අපගේ අදහසයි.

          අප මිට පෙරත් මෙහි සදහන් කරනු ලැබූ ආකාරයට ගන අන්ධකාරයේ අතරමංවී සිටින මේ දූපතට මායාබලයකින් මහා විප්ලවයක් කිරීමට ජාතික ජනබලවේගයට හැකි යැයි අප සිතන්නේ නැත. මේ සමාජ දේශපාලනික ගන අන්දකාරයේ දැල්වෙන එකම සහන් එළිය ජතික ජනබලවේගය යැයි අප සිතන්නේ නැත. බොහෝ අඩුලුහුඩුකම් විවේචන මධ්‍යයේ වුවත් මේ කෑලි කපන ගන අන්ධකාරයේ කනාමැදිරි එළියක් හෝ ලබාදෙතැයි සිතිය හැකි එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගයය යන්න අපගේ විශ්වාසයයි. රටක් වශයෙන් අපි ගෙවා දමන මේ ඉතා දුෂ්කර නිමේෂයේ යම් හෝ බලාපොරොත්තුවක් තැබිය හැකි ජාතික ජනබලවේගය වටා ඉදිරිගාමීව සිතන මිනිසුන් පෙළ ගැසිය යුතු බව සහ එම ව්‍යාපාරය ශක්තිමත් කල යුතු බව අපි විශ්වාස කරන බව අවසාන වශයෙන් ලියා තබමි. කෙසේ වෙතත් අපගේ අදහස් වඩා නිවැරදි අදහස් යැයි අප නොසිතමු. මීට වඩා වෙනත් අදහස් තිබිය හැකිවා මෙන්ම එම අදහස් සමග සංවාද කිරීමෙන්  අපගේ අදහස් පෝෂණය කර ගැනීමට සහ වෙනස් කර ගැනීමට වුවත් අපි පැකිලෙන්නේ නැත. එම නිසා මේ ලිපිය සංවාදයට විවෘත බවත් අපට විරුද්ධ වෙනත් අදහසකට ඇහුම්කම් දීමටත් එම අදහස් වලට ගරු කරමින් සංවාද කිරීමටත් කැමැත්තෙන් සිටින බවත් අවසාන වශයෙන් ලියා තබමි.

සුදේශ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *