බ්ලොක්චේන්, මෙටා සහ ක්‍රිප්ටෝකරන්සි සමගින් අළුත්වන ලෝකය.

ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් සහ අළුත් වෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. ගෙවී ගිය දශක දෙකකටත් වඩා අඩු කාලය තුළදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ආගමනයත්  සමග මිනිස් ශිෂ්ඨාචාරයේ සිදු වූ විප්ලවීය පරිවර්ථනය ලෝකය වෙනස් වීම සහ වෙනස් වීමේ වේගය සම්බන්ධයෙන් මෑත කාලයේ අපි ජීවමානව අත්දුටු හොදම උදාහරණයක් වේ. වර්තමානය වන විට අන්තර්ජාලය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සෑම සමාජයකම මූලික මිනිස් අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. මිනිස් සම්බන්ධතා සහ සන්නිවේදනය විෂයෙහි සමාජ මාධ්‍ය වල බලපෑම අමුතුවෙන් කිවයුතු නැත්තේ ඒ පිළිබදව වර්තමාන ලෝකයේ සෑම අයෙක්ම පාහේ ඉතා හොඳින් දන්නා නිසාය. සමාජ මාධ්‍ය පමණක් නොව සමස්ත අන්තර්ජාලය මිනිස් සමාජය විෂයෙහි සිදු කර තිබෙන විසිරුණු පැතිරුණ බලපෑම මීට දශක කිහිපයකට පෙර තත්වය සමග සිතාගැනීමටවත් නොහැකි තරමේ එකකි.

          අද අපි මේ ලිපියෙන් අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ගැන නොවේ. ඒ පිළිබදව  ඕනෑ තරම් කරුණු අපි දැනටමත් හොදින් දනිමු. අන්තර්ජාලය ආශ්‍රිතව ඉදිරියේ සිදුවිමට නියමිත දැවැන්තම විප්ලවය වශයෙන් හදුන්වාදිය හැකි මෙටා වර්ස් සංකල්පය බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් යම් සංවාදයක් ඇරඹීමට මේ ලිපියෙන් උත්සහ කරමු. සැබවින්ම බ්ලොක්චේන් තාක්ෂණය ඇතුළු මේ විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ කරුණු තාක්ෂණය සමග බැදී පවතී. එම ගැඹුරු තාක්ෂණික කරුණු පිළිබදව අප මෙහි අවධානය යොමු නොකරන අතර, අපගේ අවධානය යොමු වන්නේ මෙකී සංකල්ප භාවිතාව මගින් ඉදිරියේදී අපේ එදිනෙදා ජීවිතයේ සිදුවීමට නියමිත දැවැන්ත බලපෑම සම්බන්ධයෙනි.

බ්ලොක්චේන් තාක්ෂණය මත පදනම් වූ  ක්‍රිප්ටෝ මුදල් භාවිතය මේ වන විටත් ලෝකය තුල ස්ථාපිත වී දශකයකටත් වඩා වැඩි කාලයක් ගතවී ගොස් තිබේ. මෙටා වර්ස් සංකල්පය පිළිබද අදහස අළුත් එකක් බව පෙනෙන්නට තිබුණත් සැබවින්ම එය අන්තර්ජාලය විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතාවේ ඊළග පරම්පරාව වශයෙන් හදුනා ගැනීමේ වරදක් නැතැයි අපි සිතමු. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය වන ෆේස්බුක් සමාගම සිය ව්‍යාපාර සමූහයේ වෙලද නාමය වශයෙන් “මෙටා” යන වෙළද නාමය ප්‍රකාශයට පත්කරනු ලැබූ බව මුලු ලෝකයම දනිති. හුදෙක් මෙය එම සමාගමේ නම වෙනස් කිරීමෙන් ඔබ්බට ඉදිරියේ සයිබර් අවකාශයේ සිදුවීමට නියමිත මහා කුණාටුවේ පළමු සුළං රැල්ල ලෙසින් හැදින්වීමේ වරදක් නැත. මෙටා සංකල්පය සම්බන්ධ තාක්ෂණික සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලින් බාහිරව සැබවින්ම මෙය කුමක්ද යන්න සහ එය අපට බලපෑම් සහගත වන්නේ කෙසේද යන්න පිලිබදව කෙටියෙන් සලකා බැලීම වැදගත්ය.

වර්තමානයේ අපි සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලයේ සැරිසරන්නේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ ද්විමාන තිරයක් ඉදිරියේය. උදාහරණ වශයෙන් යූටියුබ් වීඩියෝවක් නරඹන විට අපි නරඹන්නේ ද්වීමාන වීඩියෝවකී. වර්තමානයේ සයිබර් අවකාශය තුළ වෙන්වු අපේම අවකාශයන් පවතී. උදාහරණ වශයෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ අපේම අවකාශය අපේ  ෆ්රෝෆයිල් එක නැතහොත් අපේ ගිණුම වශයෙන් හැදින්වේ. අපේ ගිණුමක් මගින් අපට සයිබර් අවකාශයේ වෙනත් අය සහ සමූහයන් සමග සබදතා පැවැත්විය හැකි වන අතර විවිධ ආකාරයට අපේ ප්‍රතිචාරයන් දැක්වීමටද අවස්ථාව පවතී. ලයික්, කමෙන්ට් ආදී වශයෙන් අප හදුන්වන්නේ එම ප්‍රතිචාරයන් වේ. නමුත් වර්තමාන තත්වය යටතේ මේ සයිබර් අවකාශයේ අපගේ සහභාගීත්වය සිදුවන්නේ ද්වීමාන ස්වරූපයකිනි. එනම් එක්තරා දුරස්ථ ආකාරයකටය. එය සම්පූර්ණ ජීවමාන සහ සජීවී සම්බන්ධතාවක් නොවේ. සරලව කිවහොත් මෙටා සංකල්පය මගින් සිදු කරන්නේ අපගේ සයිබර් සම්බන්ධතාවය ත්‍රිමාණ කිරීමයි.  එනම් සම්පූර්ණයෙන්ම ජීවමාන සජීවී සම්බන්ධතාවයක් බවට පත්කිරීමයි. සයිබර් අකාශයේ අපට සමාන අනුරුවක් මවනු ලබයි. ඒ අනුරුව මුහුණ දෙස බලාගෙන ඇසිපිය ගසමින් තවකෙක් සමග සංවාද කරයි. ඇවිදියි. සිනාසෙයි. සයිබර් අවකාශයේ තිබෙන වෙළද සැලකට ගොඩවේ. භාණ්ඩ මිලදී ගනී. ඒ ආකාරයට අපි සැබෑ ලෝකයේ මෙන්ම සයිබර් ලෝකයේද ජීවමාන ලෙසින් ජීවත් වේ. ඉතින් තවදුරටත් අපි සැබෑ ලෝකයේ කාර්යාලයක සේවයකල යුතු නැත. සයිබර් අවකාශයේ කාර්යාලයක සිය ගණනක් කාර්ය මණ්ඩලයකට වුවත් එකට වැඩ කල හැකි අතර නමුත් ඒ සියලු දෙනාම භෞතිකව සිටින්නේ තම නිවස තුළයි. මේ සයිබර් ලෝකයට පිවිසෙන උපකරණය දෑසට පැලදීමෙන්ම පමණක් මාර්ග තදබදයට හසුවෙමින් ඔෆිස් යනවා වෙනුවට මොහොතින් කාර්යාලයට යාමට හැකියාව ලැබේ. සැබැවින්ම මේ මායාකාරී ලොකයට පිවිසීමට ගතවෙන්නේ එක නිමේෂයක් පමණි. මේ වෙනස මිනිස් ශිෂ්ටාචාරයට කෙතරම් විප්ලවීය බලපෑමක් සිදු කරනු ඇත්ද? එය සිතාගැනීමට පවා අසීරු බව පමණක් දැනට කිව හැකිය. ඉදිරියේදී ගේම් වශයෙන් හැදින්වෙන විවිධ අන්තර්ජාල ක්‍රීඩාවන් වලදී තරගකරු එම අවකාශයේ ජීවමාන ලෙසින් හිදිමින් ක්‍රීඩාවේ නිරත වේ. මෙය හුදු විනෝදාත්මක අංගයක් නොව ඩොලර් මිලියන ගණන් දැනටමත් ආයෝජනය කරමින් තිබෙන දැවැන්ත කර්මාන්තයකි. ලෝකයේ ප්‍රමුඛ පෙලේ සමාගම් සිය ව්‍යාපාරික ස්ථාන ඇරඹීම සදහා මේ කෘතීම ලෝකයේ කෘතීම ඉඩම් කැබලි ඩොලර් මිලියන ගණන් වලට මිලදී ගනිමින් තිබෙන බව කිවහොත් එය පුදුමාකාර ලෙසින් පෙනී ගියද සත්‍යය එයයි. ඇක්සිඉන්ෆිනිටි ආදී ක්‍රීඩාවන් සිය ප්‍රධාන ජීවන වෘත්තිය කරගත් විශාල පිරිසක් ලෝකයේ සිටින අතර එම අවකාශයන් වල  කෘතීම ඉඩම් දැනටමත් ජාත්‍යන්තර සමාගම් ඉහල මිලට මිලදී ගනිමින් සිටින්නේ අනාගතයේ ඇති වීමට නියමිත විශ්මයජනක මෙටා ලෝකයේ යතාර්ථය මේ වෙළද සමාගම් හොදින් තේරුම් ගෙන තිබෙන නිසාය.

මෙටා ඇතුළු ඊළග පරපුරේ අන්තර්ජාල විප්ලවයත් සමග ලෝකය ආක්‍රමණය කරමින් තිබෙන අනෙක් ඉතා වැදගත් සංකල්පයක් වන්නේ බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටෝ මුදල් ඒකකයන්ය. එක්තරා ආකාරයකට මෙටා සංකල්පය ලෝකයට අලුත් සහ තවම අනාගතයේ පැමිණීමට නියමිත සංකල්පයක් බව කිවහැකි වුවත් ක්‍රිප්ටෝ සහ බ්ලොක් චේන් තාක්ෂණය දැනටමත් ලක්ෂ ගණන් ලෝකයේ මිනිසුන් භාවිතා කරන ඩොලර් ට්‍රිලියන තුනකට ආසන්න වෙළද වටිනාකමක් තිබෙන දැවැන්ත වෙළද පොලකි. බැලූ බැල්මට මෙටා සංකල්පය සහ ක්‍රිප්ටෝ භාවිතය එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් බව කිවහැකි වුවත් අනාගත තාක්ෂණික ලෝක විප්ලවය සිදුවෙමින් තිබෙන්නේ මේ සංකල්පයන් ඒකිනෙකට අතවැල් බැදගනිමින් බව ඉතා පැහැදිලිය. උදාහරණ වශයෙන් මෙටා ලෝකයේ සාප්පු සවාරියක අපි වෙළද සැලකට ගොඩවැදී යම් භාණ්ඩයක් මිලදී ගන්නා විට ක්‍රිප්ටෝ මුදල් වලින් ගෙවීම සිදුකල හැකිය. බ්ලොක් චේන් තාක්ෂණය සමග ඉතා නිරවද්‍යතාවයෙන් යුතුව සියලු ගණුදෙනු විද්‍යුත් ලෙජරයක සටහන් වන නිසා හැමදෙයක්ම පැහැදිලිය. නිරවුල්ය. වරදින්නට හෝ වංචා කිරීමට ඉඩ අවමය. සාප්පු සවාරියකදී මිලදී ගත් දේවල් නිවසටම ලැබෙන නිසා ඉතා පහසුය. පුදුම විය යුතු නැත. ඉදිරියේදී අපට හමුවීමට නියමිතව තිබෙන්නේ ඒවැනි වූ ලෝකයකි.

ලෝකයේ ක්‍රිප්ටෝ මුදල් භාවිතයට පැමිණ වසර 10 ක් පමණ දැනට ගතවී ගොස් තිබුණද එය පොදු මහජනතාව තවම බහුල වශයෙන් භාවිතා නොකරන එක්තරා ආකාරයකට තවමත් බොහෝ දෙනෙකු නොදන්නා සහ නොතේරෙන ක්ෂේත්‍රයක් වශයෙන් කිවහොත් එය නිවැරදිය. හරියටම පැහැදිලි කරනවා නම් එය මුල්ම යුගයේ අන්තර්ජාලය භාවිතා කිරීමට  සමාන කල හැක. ක්‍රිප්ටෝ මුදල් යනු මිනිසා හුවමාරු ඒකකයක් වශයෙන් මුදල් භාවිතා කිරීම ඇරඹු ඉතිහාසයේ විප්ලවීය මංසන්ධිය බව නිසැකවම කිවහැකි පසුබිම ලෝකයේ දැනටමත් ගොඩ නැගෙමින් තිබේ. ක්‍රිප්ටෝ මුදල් යනුවෙන් හැදින්වෙන්නේ සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය කේන්ද්‍රකරගත් මුදල් වර්ගයකි. බොහො දෙනෙක් හොදින් දන්නා “ බිට් කොයින්” ක්‍රිප්ටෝ මුදල් අතර ප්‍රමුඛයා වශයෙන් හැදින්විය හැකිය. එතිරියම්, සොලානා, බයිනෑන්ස් කොයින්, රිපල් ආදී වශයෙන් විවිධ වටිනාකම් වලින් යුක්ත  කරන්සි දහස් ගණනක් ක්‍රිප්ටෝ ලෝකයේ තිබේ. ක්‍රිප්ටෝ හුවමාරු කිරීම සිදු කරන්නේ හුවමාරු සේවාවන් මගින් වන අතර එවැනි හුවමාරු සේවාවන් සිය ගණනක් පවතී. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සේවාව වන්නේ බයිනෑන්ස්ය. ක්‍රිප්ටෝ මුදල් ඒකකයන් සම්බන්ධයෙන් සැලකීමේදී වැදගත්ම කාරණය වන්නේ ඩොලර්, යුරෝ, රුපියල් වැනි සාමාන්‍ය භාවිතයේ පවත්නා අප දන්නා මුදල් ඒකකයන් මෙන් යම් රජයක මහබැංකුවක ආයතනික මැදිහත් වීමකින් තොරව මේ මුදල් ඒකකයන් බිහිවී තිබීමයි. සැබැවින්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය හේතුවෙන් ලෝකයේ සම්ප්‍රදායික මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය ඇතුලු සමස්ත මූල්‍ය ක්‍රමයම අභියෝගයකට ගමන් කර තිබේ. චීනය පසු ගිය වසරේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබුවේ ඒනිසාය. නමුත් එයින් ක්‍රිප්ටෝ වෙළදපොලට සැලකිය යුතු තරම් බලපෑමක් වූයේ නැත. තවත් යම් යම් රටවල් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධ විවිධ නියාමනයන් සිදු කිරීම පිළිබදව අදහස් ඉදිරිපත් කර තිබුණත් ක්‍රිප්ටෝ මුදල් භාවිතය ලෝකය තුල අවහිර කිරීම තවදුරටත් ප්‍රායෝගික දෙයක් නොවන බවට ඉතා පැහැදිලි පසුබිමක් ගොඩ නැගෙමින් තිබේ. ඉලෝන් මාර්ස්ක් වැනි ලෝකයේ බිලියන පතියන් මෙන්ම ඇපල්, ගූගල් වැනි ලෝකයේ ප්‍රමුඛ පෙලේ සමාගම් මේ වන විට ඩොලර් මිලියන ගණනින් ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කර තිබීමෙන් මෙන්ම සිය  ව්‍යාපාරික පද්ධතිය ක්‍රිප්ටෝ කරන්සි  හිතවාදී ඒකක් බවට පරිවර්තනය කරමින් තිබීමෙන් පැහැදිලි වන්නේ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලෝකයේ අනාගතය කුමක්ද යන්නයි. විශේෂයෙන්ම ලෝකයේ රටවල් ගණනාවක්ම සිය මහබැංකු ඉතුරුම් වල බිට් කොයින් ඇතුලු ක්‍රිප්ටෝ මුදල් ඒකක සදහා පංගුවක් වෙන් කර තිබේ. ඉතා වැදගත්ම කරුණ වන්නේ ලෝකයේ මේ වන විටත් එක් රටක් සිය රටේ ප්‍රධාන මුදල් ඒකකය වශයෙන් බිට් කොයින් ප්‍රකාශයට පත්කර තිබීමයි. එල්සැල්වදෝරය එලෙස සිය මුදල් ඒකකය වශයෙන් බිට් කොයින් ප්‍රකාශයට පත්කල ප්‍රථම රට වන අතර එම රටේ ජනාධිපති බුකලේ ඒ සදහා විශාල කැපවීමක් කල බව පසුගිය කාලයේ අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කලේය. පසුගිය වසරේ මේ ආකාරයෙන් එල්සැල්වදෝරය සිය මුදල් ඒකකය වශයෙන් බිට් කොයින් ප්‍රකාශයට පත්කල අතර ආරම්භයේදී යම් යම් අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූවත් මේ වන විට එම ප්‍රයත්නය සාර්ථක වෙමින් තිබේ. තවත් රටවල් කිහිපයක් එල්සැල්වදෝරය ආදර්ශයට ගැනීමට බුකලේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බව පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කලේය.

ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් සැලකීමේදී ඉතා වැදගත් කරුණක් වන්නේ බ්ලොක් චේන් තාක්ෂණයයි. මෙය සංකීර්ණ තාක්ෂණයක් සහිත පද්ධතියක් වන අතර එය වැඩි දුරටත් දීර්ඝව සාකච්ඡා කල යුතු විෂය ක්ෂේත්‍රයක් වේ. ඉතාම සරලව පැහැදිලි කරනු ලබන්නේ නම් බ්ලොක්චේන් යනු විද්‍යුත් ලෙජරයක් වශයෙන් හදුන්වා දීමට පුළුවන. මේ පද්ධතිය තුළ වංචා කිරීමට සහ හැක් කිරීමට තිබෙන අවස්ථාව ඉතා අවම වීම බ්ලොක් චේන් තාක්ෂණය සම්බන්ධයෙන් සැලකීමේදී වැදගත්ම කරුණක් වේ. අනෙක් වැදගත්ම කරුණ වන්නේ බ්ලොක් චේන් තාක්ෂණය ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් පමණක් යොදාගත හැකි තාක්ෂණයක් නොවීමයි. උදාහරණ වශයෙන් ඇමරිකාව, කැනඩාව වැනි රටවල් මේ වන විටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය වැනි විවිධ ක්ෂේත්‍රයන් සදහා බ්ලොක් චේන් තාක්ෂණය යොදා ගනු ලබයි. ඉතා විධිමත් ආකාරයට අන්තර් ජාලයේ විද්‍යුත් පද්ධතියක් තුල පැහැදිලි ආකාරයෙන් සියල්ල සටහන් වන නිසා ඉදිරියේදී ලොකයේ සෑම ක්‌ෂේත්‍රයකටම පාහේ මේ බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගැනීමට ඉඩක් තිබෙන බවට දැනටමත් විවිධ අනාවැකි පලවී තිබේ.

මේ ආකරයට ළග ළගම පෙනෙන අනාගත ලෝකය දැන් අපි හිතනවාට වඩා බොහෝ වෙනස් ලෝකයක් බව කැමති වුවත් අකමැති වුවත් පිලිගැනීමට සිදු වීම යථාර්ථයකි. එය අන්තර්ජාලය පැමිණීමට පෙර යුගයේ සහ අන්තර්ජාලය භාවිතය ව්‍යාප්ත වීමෙන් පසුව උදාවූ වර්තමාන ලෝක තත්වය තුළ මිනිසාට සිදු කරනු ලැබූ බලපෑමට වඩා කිහිප ගුණයක් විශාල බලපෑමක් අන්තර්ජාලයේ ඊළග පරිවර්තන යුගය වන මෙටා යුගයේ බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටෝ මුදල් සමග අත්වැල් බැදගෙන මිනිස් ශිෂ්ටාචාරයට සිදුකරනු ඇත. උදාවීමට නියමිත මේ අරුමැසි ලෝකයට හැකි පමණින් දැන් පටන් සූදානම්වීම හැර වෙනත් විකල්පයක් නොපෙනෙන බව අවසාන වශයෙන් ලියා තබමි.

සුදේශ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *