මහපාරේ ජන අරගලයේ කථාව

දුර්ධාන්ත අකාර්යක්ෂම සහ දුෂිත රාජපක්ෂ රෙජිමය පලවා හැරීමේ අභිප්‍රායෙන් නිර්පාක්ෂික ලාංකීය පුරවැසියන්ගේ මහපාරේ අරගලය නැතහොත් දේශපාලන ප්‍රකාශනය අඛන්ඩව දින ගණනාවක් දිනෙන් දින සවිමත් වෙමින් සහ වර්ණවත් වෙමින් ඉදිරියට ගමන් කරන බව පෙනෙන්නට තිබේ. මේ ගැන අපේ සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කිව යුත්තේ මේ මොහොතේ අපට දැකීමට ලැබෙන මහජනතාවගේ දේශපාලන ප්‍රකාශනය සහ මැදිහත් වීම නිදහසින් පසු ලංකාවේ නිර්පාක්ෂික පුරවැසි දේශපාලනය සම්බන්ධයෙන් සැලකීමේදී ඉතා සුවිශේෂී සහ වර්ණවත්ම මොහොත වශයෙන් අප විශ්වාස කරන බවය. නිර්පාක්ෂික යනුවෙන් ප්‍රකාශ කිරීමේදී මේ සටන් කරුවන් සියලු ආකාරයේ ශ්‍රිලංකාවේ පක්ෂ දේශපාලනයේ බැමිවලින් නිදහස් වූ පාරිශුද්ධ නිර්පාක්ෂික පිරිසක් හෝ සටනක් වශයෙන් මෙය හදුන්වන්නේ නැති බව කිව යුතුය. මේ අරගලකරුවන් තුල ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකම පාහේ සාමාජිකයින් ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ, ආදී සියලුම දේශපාලන සමාජ සංස්කෘතික අනන්‍යතාවයන් නියෝජනය කරන මිනිසුන් සහ ගැහැනුන් එකම සටන් පාඨයක් වටා පෙළගැසී සිටින බව පැහැදිලි යථාර්තයයි. මේ සටන් කරුවන්ගේ සමාජ දේශපාලන අනන්‍යතාවයන් එලෙසම තිබියදී මේ අරගලය සදහා ඔවුන් සංවිධානය වූයේ සහ පෙලගැසුනේ පක්ෂ දේශපාලන අනන්‍යතාවයකින්හෝ එක් දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් හෝ නායකත්වයෙන් නොවේ. මෙය නිර්පාක්ෂික අරගලයක් ලෙසින් අප හදුන්වන්නේ ඒ අර්ථයෙනි. එමෙන්ම මේ අරගල භූමිය තුල ඉතා විශාල වශයෙන් පසුගිය ජනාධිපති වරණයේදී ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්කිරීම සදහා ඡන්දය ප්‍රකශකල අය පමණක් නොව ගෝටාහය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල කැපවීමෙන් වැඩකළ ප්‍රමුඛපෙලේ ආධාරකරුවන්ද බොහෝ සිටින බව පැහැදිලිවම හදුනා ගැනීමට පුලුවන. රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාර තුල විශාල වශයෙන් භාවිතා වූ ආයුබෝවේවා මහරජාණනි ගීතය ලියු ගීත රචකයා මේ අරගල භුමිය තුලදී තමන්ගේ පෙර දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරමින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීම මේ පිළිබද පෙන්වාදිය හැකි හොදම උදාහරණයක් වේ.

මෙය ලියන මොහොත වනවිට මේ පුරවැසි අරගලය සතියකට වැඩි කාලයක් බොහෝ උද්යෝගයෙන් සහ ශක්තිමත්ව පවත්වාගෙන විත් තිබේ. ජාතික ජනබලවේගයේ බේරුවල සිට පැමිණීමට සැලසුම් කර තිබුන පාගමනක් මේ අරගල භූමියට සම්බන්ද වන බවත් මේ අරගලය සදහා වන දේශපාලන මගපෙන්වීම සහ නායකත්වය තමන් ලබාදීමට අදහස් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක ප්‍රකාශ කර තිබුණි.  එම ප්‍රකාශය සහ දේශපාලන මැදිහත්වීම සම්බන්දයෙන් මේ අරගලයේ ක්‍රියකාරිකයින් ඇතුළු බොහෝ දෙනෙකුගෙන් එල්ල වූ විවේචනාත්මක අදහස් දැක්වීම සහ විරෝධයද දුටුවෙමි. කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ එම රැලිය වෙනත් ස්ථානයක පැවැත්වීමට එම ව්‍යාපාරය තීරණය කිරීම පිලිබදව ඔවුන්ට ස්තූති විය යුතුය. යම් ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ධජය යටතේ එම පක්ෂයේ ක්‍රියකාරිකයින් මේ අරගල භූමියට පිවිස එහි ස්ථාපිත වුයේ නම් මේ නිර්පාක්ෂික ජනතා අරගලයට පක්ෂ දේශපාලන ලේබලය අලවා දුර්වල කිරීමට මෙන්ම පරාජය කිරීමටත් ආණ්ඩුවට ඉඩප්‍රස්තාවක් විවර වන්නට තිබුණි. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ වැනි ජනතා අරගලයේ දශක ගණනාවක් යෙදී සිටින දේශපාලන පක්ෂයක් නිර්පාක්ෂික ආණ්ඩු විරොධී ව්‍යාපාරය කොල්ල කෑවා  හෝ දුර්මුඛ කලා යන අපකීර්තියට ලක්වීම එම පක්ෂයටද ඉමහත් දේශපාලන කැළලක් සහ අපකිර්තියකි. මේ නිර්පාක්ෂික ජනතා අරගලයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද එමගින් හානියක් සහ අවැඩක් වීමට ඉඩ තිබුන බව පැහැදිලිවම කිව හැකිය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පරිණත දේශපාලනය ව්‍යාපාරයක් ලෙස සිය උද්ඝෝෂණ ව්‍යාපාරයේ ක්‍රමෝපාය වෙනස් කිරීම සම්බන්දයෙන් මේ මොහොතේ රටේ සැබෑ දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරන ප්‍රගතිශීලි මිනිසුන්න්ගේ ගෞරවය නිසැකවම හිමිවනු ඇති බව අපගේ විශ්වාසයි. දැන් ඊළගට පැන නගින ප්‍රශ්නය වන්නේ ජාතික ජනබලවේගය ඇතුළු මේ රටේ විපක්ෂ දේශපාලන ව්‍යාපාරවලට මේ නිර්පාක්ෂික මහජන ව්‍යාපාරය සමග සම්බන්දවිමට සහ දේශපාලනිකව ගනුදෙනු කිරීමට අකැපද යන්නය. එම කරුණට ප්‍රවිෂ්ට වීමට ප්‍රථමයෙන් මේ අරගලයේ පසුබිම සම්බන්දයෙන් කෙටියෙන් අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතමු. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ශ්‍රීලංකාව ගත කර තිබෙන දශක හතකට වඩා වැඩි ඉතිහාසය තුළ තට්ටු මාරු ක්‍රමයට රටේ රාජ්‍ය බලය අත්පත් කරගත් ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙක අතිශය දුෂිත බලලෝභී මජර ක්‍රමයක් සිය පැවැත්ම වෙනුවෙන් පවත්වාගෙන පැමිණි බව මේ රටේ තරුණයන් ප්‍රමුඛ බහුතර සබුද්ධික පුරවැසියන්ට හොදින්ම අවබෝධ වී තිබුණි. ඔවුන් පවත්වාගෙන ආ පාලන තන්ත්‍රය තුල ආර්ථික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් රට දැවැන්ත පිරිහීමකට සහ විනාශයකට ගමක් කර තිබුන බව රටේ පුරවැසියන්ට ඉතා හොදින් ප්‍රත්‍යක්ෂ වී තිබෙන යථාර්තයකි. අවසාන වශයෙන් රටේ පැවති මැතිවරණය වන ගෙවුණ ජනාධිපතිවරණයේදී  පුරවැසි සමාජයේ ප්‍රධාන ඉල්ලීමක් සහ සටන් පාඨයක් වශයෙන් සිස්ටම් චේන්ජ් එකක් සහ 225 ම එපා යනුවෙන් වන සටන් පාඨයක් ගොඩ නැගී තිබුනේ මේ නිසාය. ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මේ තත්වය ඉතා හොදින් තේරුම් ගෙන තිබුන අතර ඔවුන් මේ සටන්  පාඨ සහ මහජන ඉල්ලීම ගෙවුණ ජනාධිපතිවරණයේදී මහ දවාලේ කොල්ලකනු ලැබූ බව ඉතා පැහැදිලිය. යුද්ධය දිනිම, සම්ප්‍රධායික දේශපාලකයෙක් නොවීම, කොළඹ නගරය ලස්සන කිරීම වැනි විවිධ අතාර්කික හේතූන් පදනම් කරගෙන මේ ජරාජීරණ ක්‍රමය වෙනස් කර රට සංවර්ධනය කරන අධිකාරීවාදී වුවත් ජනතාවාදී නායකත්වයක් ලබා දෙන මහා දේශපාලන පෞරුෂයක් වශයෙන් ගෝඨාභය පිම්බීමට ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය සමත් වූ අතර ඒ මායාවට රැවටුන තරුණයන් ප්‍රමුඛ නැවුම් වෙනසක් පැතූ පුරවැසියන්  ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කරනු ලැබුවේ කොයිතරම් බලපොරොත්තු සහගතවද  යන්න ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව රටපුරා  තරුණයන් ස්වේච්ඡාවෙන් සංවිධානය වෙමින් තාප්පවල චිත්‍ර ඇදීමෙන් ඉතා හොදින් තහවුරු වේ. ඉන් පසුව සිදුවූයේ කුමක්ද යන්න පිළිබදව අපි ඉතා හොදින් දනිමු.

          කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ මේ මායාකාරී ප්‍රයෝගයන් සහ ඊනියා ප්‍රචාරයන් සම්බන්දයෙන් ගෙවුණ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ඕනෑතරම් ජනතාව දැනුවත් කල බව පිළිගත යුතුය. රාජපක්ෂ ආණ්ඩුවකින් දුෂණය නාස්තිය පිටුදැක දුෂිත දේශපාලන ක්‍රමය වෙනස් කර නැවුම් පාලන තන්ත්‍රයක් ඉල්ලා සිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමකට වඩා වැඩි දෙයක් නොවේ. දැන්මේ බුර බුරා නැගෙන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා අපේක්ෂා භංගත්වයට පත් වූ සමාජයක වේදනාව බව ඉතාම සරලව පැහැදිලිකල හැකිය. පන අදිමින් තිබුන ආර්ථිකයේ හුස්ම හිර කිරීමට කබ්රාල් බැසිල් ආදී චෞරයින් යුහුසුළුව කටයුතු කිරීමද මේ මහපාරේ අරගලය ඇරබීම තව තවත් වේගවත් කරනු ලැබිය.

          මේ පසුබිම තුල හිදිමින් මේ මහජන අරගලය සදහා විපක්ෂ දේශපාලන බලවේගයන් වලට සම්බන්ධ විය හැක්කේ කෙසේද යන්න විමසා බැලීම වැදගත්ය. මෙහිදී කිව හැක්කේ මේ මොහොත වන විටත් ජාතික ජනබලවේගයට සම්බන්ධ ක්‍රියාකාරිකයින් බොහෝ පිරිසක් මේ ජනතා අරගලය සමග සම්බන්ධවී තිබෙන බවයි. ජවිපෙ හෝ ජාතික ජනබලවේගය යන නාමකරණය යටතේ නොවුනත් මේ අරගලය වර්ණවත් කරන සමාජවාදී ශිෂ්‍ය සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු බොහෝ සංවිධානවල ක්‍රියාකාරිකයින් මේ තුල සිටින බව ඉතාම පැහැදිලිය. ඔවුන් පමණක් නොව ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකම ජාතියකම ආගමකම මිනිසුන් සහ ගැහැනුන් මේ සටන තුල හිදිමින් එකම අරමුණක් වෙනුවෙන් සටන් කිරීම පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේ අරගලය වඩා සටන්කාමී සහ වර්ණවත්වී තිබෙන්නේ එනිසාය යන්න අපගේ අදහසයි.

          කෙසේ වෙතත් ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ සහ බලවේග වලට මේ ජනතා ක්‍රියාකාරිත්වය සමග ඍජු සම්බන්ධයන් පැවැත්වීමට අවකාශ තිබිය යුතුය යන්න අපගේ විශ්වාසයි. එයින් අදහස් කරන්නේ සහමුලින්ම මේ අරගලය ඒ දේශපාලන පක්ෂවල ආධිපත්‍යයට යටත් විය යුතු බව නොවේ. නමුත් වඩා සාර්ථක සහ ජයග්‍රාහී ජන අරගලයක් උදෙසා දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර සමග  පවත්වන සාධනීය සම්බන්ධතාවය නිර්පාක්ෂික ජනතා සටනට වැදගත් වන බව අපගේ අදහසයි. ඒ අර්ථයෙන් මේ අරගලය සමග වඩා සමීප සබදතාවයක් පැවැත්මේ වැඩි සුජාත හිමිකම පවතින්නේ ජාතික ජනබලවේගයට බව අපගේ අවංක විශ්වාසයයි. ඔවුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස පසුගිය කාලය පුරාවට ලංකාවේ දේශපාලන පොලව තුල මේ ජරාජීර්ණ ක්‍රමයට විරුද්ධව සිදුකල දේශපාලන මැදිහත්වීම විසින් ජාතික ජනබලවෙගයට එම සුජාත හිමිකම ලැබී තිබෙන බව අපගේ අදහසයි. ජවිපෙ සමග යම් විවේචනයක් තිබෙන අයෙකුට වුවත් ජාතික ජනබලවේගය යන පුළුල් දේශපාලන පෙරමුණ සමග දේශපාලන  ගනුදෙනුවක් කිරීමට අපහසුතාවයක් තිබිය නොහැකිය යන්න අපගේ අදහසයි. එයින් අප අදහස් කරන්නේ මේ ජනතා අරගලය සහමුලින්ම ජාතික ජනබලවේගයේ දේශපාලන ධජය යටතට පැමිණිය යුතු බව නොවේ. මේ නිර්පාක්ෂික පොදුජන අරගලය ස්වකීය භාවිතාව මගින් තමන්ටම ආවේනික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම වැදගත්ය. නමුත් ජනතා අරගලයේ ජයග්‍රාහී අවසානයක් සදහා පොදු අරමුණක් වෙනුවෙන් මිතුරු දේශපාලන බලවේග සමග එක්සත්ව කටයුතු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. මෙහිදී නිර්පාක්ෂික අරගලකරුවන්ට මෙන්ම ජාතික ජනබලවේගයටත් ඉවසීමෙන් යුතුව යම් කැපකිරිමක් කිරීමට සිදුවන බව අපගේ අදහසයි.

මේ අරගලය සමග ජාතික ජනබලවේගය හැරුණු කොට වෙනත් දේශපාලන ව්‍යාපාරවලට ගනුදෙනුවක් සහ සබදතාවක් නැතිද? අප එසේ කියන්නේ නැත. මේ හැම පක්ෂයකම සාමාජකයින්  මේ අරගලය තුල හිදියි. නමුත් සජිත් ප්‍රේමදාස වැනි සුරංගන කතා කියන දේශපාලන ළදරුවෙකුට මෙවැනි ක්‍රම විරෝධී අපේක්ෂා පෙරදැරි කරගත් ජනතා ජනබලවේගයක් සමග දේශපාලන සබදතාවක් පැවැත්වීමට තව බොහෝ ගෙදර වැඩ කිරීමට ඉතිරි වී තිබෙන බව අපි කියන්නේ කිසිදු දේශපාලන කුහක කමක් නිසා නොවේ. ඔහුගේ අතීත භාවිතාව නිසාය. මා බලයට පත්කරනු ලැබුවහොත් කෙසේ හෝ රටේ සියලු ප්‍රශ්න විසදා රට සුඛිත මුදිත කරන බව ගෝඨාභය රාජපක්ෂත් කිව්වේය. සජිත් ප්‍රේමදාසත් මේ තරම් විශාල ජන අරගලයක් සිදුවෙමින් තිබියදී රටේ ප්‍රධාන විපක්ෂ නායකයා වශයෙන් කියන්නේ එම කතාවමය. ප්‍රශ්න විසදීම සදහා වන ප්‍රයෝගික දැක්මක් හෝ වැඩපිළිවෙලක් ඔහු ඉදිරිපත් කරන්නේ නැත. ඔහු නිරුපණය කරන්නේ රාජපක්ෂලාගේ ඊළග භූමිකාව බව කීමට වැඩි අටුවාටීකා ටිප්පනි අවශ්‍ය නැත. ඉදින් රෑ වැටුන වලේ දවල් වැටීමට තරම් මේ රටේ පුරවැසියන් මෝඩයෝද? තව දුරටත් දිගින් දිගටම ඉතිහාසය පුරා රැවටුන බොරුවට නැවත නැවතත් රැවටීමට මේ රටේ ජනතාව සුදානම් නැති බව මේ නිර්පාක්ෂික ජනතා සටන මගින් ඕනෑවටත් වඩා හොදින් තහවුරු කර තිබේ. කෙසේ වෙතත් සමගි  ජනබලවේගය දේශපාලන කදවුරේ වුවත් මේ තීරණාත්මක මොහොතේ නිර්මාණශිලි සහ ජනතාවාදී ප්‍රායෝගික දේශපාලන නායකයින්ට නැවුම් ප්‍රවේශයකින් මේ නිර්පාක්ෂික ජනතා අරගලය සමග සම්බන්ධ විය හැකිය.

          කෙසේ වෙතත් මේ උදාවී තිබෙන්නේ අදුරු සහ කාලකන්නි අතීතය වෙනුවට පැහැබර සහ වර්ණවත් හෙට දවසක අරුණළු බව අපගේ අවංක විශ්වාසයයි. සෑම අදුරු වලාවකම රිදී රේඛාවක් තිබෙන බවට වන අදහස වත්මන් ලාංකීය අර්බුදය විසින් ප්‍රත්‍යක්ෂ කර තිබෙන බව අපගේ අදහසයි. රාජපක්ෂ රෙජීමය සිය බල ව්‍යපෘතිය වෙනුවෙන් රටතුල වැපුරූ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මේ නව ජනතා පිබිදීම විසින් තීරණාත්මක ලෙසින් පරාජය කර තිබේ.  රට පිළිබදව වන සුබ සිහිනයක පළමු කොළ එලිය වන්නේ එයයි.  මේ බයානක ජාතිවාදී ආගම්වාදී විස පැතිරවීමට නැවත කිසිදු දේශපාලන පිසාචයෙකුට ඉඩ නොදීමට කටයුතු කිරීමද මේ අරගලයේම අඛණ්ඩව පවත්වා ගත යුතු උත්තුංග කර්යභාරයකි. මේ රටේ තරුණයන් නව රටක් සහ නව බලාපොරොත්තුවක්  වෙනුවෙන් පෙළගැසී තිබේ. මේ බලාපොරොත්තුව ජයග්‍රහණය කරන තුරු ඔවුන් හා අත්වැල් බැදගෙන ඉදිරියට ගමන් කිරීම යහපත් හෙටක් වෙනුවෙන් අරගල කරන සියලු දේශපාලන ව්‍යාපාර වලට සහ පුද්ගලයින්ට මේ මොහොතේ පැවරී තිබෙන තිබෙන මගහැර යා නොහැකි කාර්යභාරයක්ය යන්න අවසාන වශයෙන් ලියා තබමි.   

සුදේශ් ප්‍රසන්න

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *