කොළඹ ජාත්‍යන්තර පොත්ප්‍රදර්ශනයෙන් සාහිත්‍ය ලෝකයට ආලෝකයක් ලැබේද?

සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසය කාලාන්තරයක පටන් සාහිත්‍ය මාසය වශයෙන් ලෝකය සමරති. කියවීමෙ අගය, වටිනාකම පිළිබ‍ද වැඩි අවධානයක් යොමු වීමට මේ ආකාරයෙන් සාහිත්‍ය මාසයක් යොදා ගැනීම ප්‍රතිඵලදායක බවට විවාදයක් නොමැත.

             ලංකාවේ සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයේ, දැනට දශක දෙකක පමණ කාලයක පටන් වඩා වැඩි අවධානයක් යොමු වී තිබෙන බව කිව හැක. මීට දශක දෙකකට පමණ පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආරම්භ කරන්නට යෙදුන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ උද්යෝගය සදහා ප්‍රධාන හේතුව බව කවුරුත් දනිති. 

              මුලින් ම කිව යුත්තේ කිනම් අඩු ලුහුඩුකම් පැවතියත් මොන තත්වයක් යටතේ හෝ මාසයක කාලයකට හෝ ප්‍රචාරකවාදී අර්ථයෙන් වුවත් සාහිත්‍ය පිළිබදව සංවාදයක් උනන්දුවක් උද්යෝගයක් ඇති වීම වැදගත් බවයි. ඒ අර්ථයෙන් කොළඹ ජාත්‍යන්තර  පොත් ප්‍රදර්ශනය මෑත කාලයේ ලංකවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ සුවිශේෂී වැදගත් සිදු වීමක් බව පිළිගත යුතු යැයි අපි සිතමු.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීම විලාසිතාවක් වීම, පොත් ප්‍රදර්ශනයට සහභාගී වන බහුතරයක් පොත් මිල දී ගන්නවා වෙනුවට නූඩ්ල්ස් කමින් රස්තියාදු වීම, වඩා වැඩියෙන් අලවි වන්නේ සාහිත්‍ය පොත පත නොව පාසැල් ළමුන් භාවිතා කරන අභ්‍යාස පොත් පෑන් පැන්සල් වැනි ලිපි ද්‍රව්‍ය වීම, විලාසිතාවට පොත් මිල දී ගත්තත් එම පොත් බහුතරයක් දෙනා නොකියවීම වැනි වූ දහසක් විවේචන මේ පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන බව අපි දැක ඇත. ඒ බොහෝමයක් විවේචන සත්‍ය ඒවා බව බැලූ බැල්මට පෙනේ. ඒ විවේචන සියල්ල සම්පූර්ණයෙන්ම සත්‍ය වුවත් ඒ සියලු අඩු ලුහුඩුකම් සහ දුර්වලතා මධ්‍යයේ වුවත් සාහිත්‍යයේ නමින් වසරකට වතාවක් ප්‍රචාරක වාදී අර්ථයෙන් වුවත් මෙවැනි සැණකෙළියක් පැවැත්වීම සහ ඒ ආශ්‍රයෙන් නාමිකව හෝ සාහිත්‍ය සම්බන්ධයෙන් උනන්දුවක් අවධානයක් සහ උද්යෝගයක් ඇතිවීම කිසිවක් සිදු නොවී පවතිනවාට වඩා යහපත්ය යන්න අපි විශ්වාස කරමු. ඒ අර්ථයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගුණාත්මකව සංවර්ධනය කිරීමට උත්සහ කිරීම ඵලදායි ප්‍රයත්නයක් වශයෙන් අපි විශ්වාස කරමු.

ආරම්භක කාලයට වඩා වර්තමානය වන විට පොත් ප්‍රදර්ශනය පැවැත්වීමේ සහ සංවිධානය කිරීමේ ප්‍රමිති සහගත බව බොහෝ පිරිහී  තිබෙන බව මේ පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායකයින් වන පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයින් පවා ප්‍රකාශ කර තිබෙනවා දුටුවෙමි. එම දුර්වලතාවයන් අවම කර ගැනීමට පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඇතුළු ලංකවේ සාහිත්‍යයට ආදරය කරන සමස්ත ප්‍රජාවටම කාර්ය භාරයක් පැවරී ඇතැයි අපි විශ්වාස කරමු.

මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දියුණු කිරීමෙන් සාහිත්‍ය ලෝකයේ ප්‍රබෝධයක් ඇති වන බව හෝ සාහිත්‍යයේ දියුණුව වෙනුවෙන් කල යුතු එක ම සහ හොදම කාර්ය භාරය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දියුණු තත්වයකට පත් කිරීම බව අපි කිසිසේත්ම විශ්වාස නොකරමු. ශිෂ්ටාචාරයක සංස්කෘතික ජීවිතයේ වටිනා ප්‍රකාශයක් වන සාහිත්‍ය රසවින්දනය පුළුල් කිරීම සදහා පොත් ප්‍රදර්ශන, පොත් එලි දැක්වීමේ උළෙලවල් වැනි දේට කල හැකි කාර්ය භාරය ඉතා සීමිත බව අපගේ විශ්වාසයයි.

ඒ කෙසේ වෙතත් කන් අඩි පුපුරණ මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංග වල උන්මන්තක වේග රිද්ම නර්තනය පමණක් එක ම පොදු සාමුහික කල ක්‍රියාකාරකමක් බවට පත්  සැබෑම සංස්කෘතික කාන්තාරයක් වී තිබෙන රටක මහා දැවැන්ත ක්‍රියාකාරිත්වයන් සහ භාවිතාවන් ආරම්භ කිරීමට ප්‍රථම පහසු තැනින් යමක් පටන් ගෙන කර ගෙන යාමම වටියි. ඒ අර්ථයෙන් දශක දෙකක පමණ කාලයක් තුල ක්‍රමක්ක්‍රමයෙන් ජන සහභාගිත්වය වර්ධනය කර ගෙන ජනප්‍රිය සංස්කෘතිය තුල විලාසිතාමය වටිනාකමක් හිමිකර ගැනීම දක්වා, මෙවැනි රටක පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීම ම ජයග්‍රහණයකි.

එම ප්‍රදර්ශනය ආශ්‍රිත වටිනා උප සංස්කෘතීන් වර්ධනය වෙමින් තිබෙන බවද පෙනේ. ලංකාවේ ජනප්‍රිය ලේඛකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට පසුගිය පොත් ප්‍රදර්ශනයේ දී කුටියක් හිමිවී නොමැත. සැබැවින්ම කිනම් හේතුවක් මත එය සිදු වුවද එය සිදු නොවිය යුත්තක් බව අපගෙ පෞද්ගලික අදහසයි. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ සමාජ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් දරුණුම විවේචනයන් තිබෙන පුද්ගලයෙකුට වුවත් ඒ මහතාගේ සාහිත්‍යමය මැදිහත්වීම නොතකා හැරිය නොහැකි යැයි අපි නොසිතමු. එපමණක් නොව සියලුම සාහිත්‍යයකරුවන්ටත්, පාඨකයින්ටත් මේ  වේදිකාවේ වෙනස් කර සැලකීමකින් තොරව සමාන අවස්ථාවන් හිමිවිය යුතුය යන්න අපගේ අදහසයි. එ අර්ථයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතාට පසුගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටියක් හිමි නොවීම දෝෂ සහගත බව අපි විශ්වාස කලත් එම සිදුවීමෙන් ද මේ පොත් ප්‍රදර්ශනය ආශ්‍රිත ලංකාවේ සාහිත්‍ය කථිකාවට යහපතක් සිදු වූ බව අපි දුටුවෙමු.

බී.එම්.අයි.සී.එච්. පරිශ්‍රය තුල සන්නස්ගල මහතාගේ සංහිද ප්‍රකාශන ආයතනයේ පොත් සදහා කුටියක් හිමි නොවුවද ඒ මහතා එම පොත් ප්‍රදර්ශනය පැවති කාලයේදී ඒ මහතාගේ පෞද්ගලික සංස්කෘතික අවකාශයක් වශයෙන් හදුනා ගත හැකි රෝයල් තැප්‍රොබේන්  හිදී පොත් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබීය. ඉතා සහන මිලට සංහිද පොත් එම කාලය තුල  රෝයල් තැප්‍රොබේන් වෙත ගොස් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව පාඨකයින්ට විවෘත විය. සැලකිය යුතු පිරිසක් ඒ කාලය තුල සංහිද ප්‍රකාශන මිල දී ගැනීම සදහා එහි ගොස් තිබුණි. ඒ අර්ථයෙන් උපුල් ශාන්ත සන්නස්ගල  මහතාගේ එම වෑයම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන්නට යෙදුන විකල්ප පොත් ප්‍රදර්ශනයක් බව කිව හැක. 

සැබැවින්ම ඒ තත්ත්වයත් අගය කල යුතුය. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සන්නස්ගල මහතා පමණක් නොව තවත් එවැනි විකල්ප මතධාරී සාහිත්‍යකරුවන් එම කාලයේදී තවත් එවැනිම විකල්ප පොත් ප්‍රදර්ශනයන් සහ කල සාහිත්‍යය ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලැබුව හොත් සැබැවින්ම එම උප සංස්කෘතීන් ලංකාවේ සාහිත්‍යයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් දක්වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

 මේ සියලු කරුණු අනුව අපට කිව හැක්කේ දැන් වසර ගණනාවක් මුලුල්ලේ සැප්තැම්බර් මාසයේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බොහෝ අඩු ලුහුඩුකම් සහ දුර්වලතා පැවතියත්, ලංකාවේ සාහිත්‍ය කථිකාවට ප්‍රචාරාත්මක සහ ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් වටිනාකමක් එක් කරනු ලැබූ සුවිශේෂ ක්‍රියාකාරකමක් බවයි. මේ පොත් ප්‍රදර්ශනයේ දුර්වලතාවයන් අවම කර ගෙන වඩාත් ගුණාත්මක වෙනසක් ඇති කිරීම සදහා අදහස්, යෝජනා, ක්‍රියාකාරිත්වයක් සහ සහභාගීත්වය ලබා දීම ලංකාවේ සාහිත්‍ය නවෝදයක් අපේක්ෂා කරන පොත් ප්‍රකාශකයින්, පාඨකයින්, ලේඛකයින් ඇතුළු සියළුම දෙනාගේ කාර්ය භාරය යන්න අපි අවසාන වශයෙන් ලියා තබමු

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *