කොරෝනා කියා දෙන වැදගත්ම පාඩම

ගෝලීය වසංගතයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන්නට යෙදුන කොරෝනා භීතිකාවෙන් මුළු ලෝකයම ත්‍රාස්ත වී සිටීයි. සැබැවින්ම මෙය මේ මොහොතේ මිනිස් ශිෂ්ටාචාරය මුහුණ දෙන ක්ෂතිමය අත්දැකීමකි. කොලරා වසංගතය, මැලේරියා වසංගතය වැනි මිනිස් ශිෂ්ටාචාරය අතීතයේ මුහුණ දුන් භයානක වසංගත රෝග පිළිබදව කථාවන් අතීත කථා බවට පත්වී තිබුණි.

මේ සියවසේ වෛද්‍ය විද්‍යාව ලබා ඇති ජයග්‍රහණ අනුව මෙවැනි ගෝලීය වසංගතයකට ශිෂ්ටාචාරය මුහුණ දෙනු ඇතැයි බලවත් රටවල් පවා නොසිතන්නට ඇත. නමුත් සියල්ල උඩු යටිකුරු කරමින් ගෝලීය වසංගතයක භීතියෙන් ලොවම ත්‍රාස්ත වී සිටින නිමේෂයක, මේ කොරෝනා වසංගතය සමස්ත ශිෂ්ටාචාරයටම ඉතා වටිනා පාඩමක් උගන්වා ඇති බව පිළිගත යුතුය.

ධනවාදයේ උච්ච යුගයක අප දිවි ගෙවමින් සිටියේ අපේම ලෝකවලය. මේ ධනේශ්වර ක්‍රමය විසින් අපගේ හිස මත පැට වූ දහසකුත් එකක් සිහින බලාපොරොත්තු අරමුණු අපේක්ෂා පසුපස අපි දිවා රෑ නොමැතිව දුවමින් සිටියෙමු. විකිණෙන සහ විකුණන ලෝකයක පාරි‍භෝජන භාණ්ඩ අත්පත් කර ගැනීම උදෙසා රුපියල් හොයා යෑම හැරුණු කොට අපට අනෙක් සෑම දෙයක්ම ද්වීතීක කරුණු විය. විශේෂයෙන්ම ශිෂ්ටාචාරයක් වශයෙන් අපේ පැවැත්ම පොදු එකක් බව සහමුලින් අපි අමතක කර දමා සිටියෙමු. මම,  මගේ බිරිද දරුවන් හැරුණු විට උපරිම සමීප ඥාතීන් හැරුණු කොට පොදු ජීවිතයක් සහ සාමූහික භාවිතාවක් පිළිබදව කිසිවෙකුට සිතීමට අවශ්‍ය වූයේ නැත.

ජීවන අත්දැකීම් බෙදා හදා ගැනීම, පොදු සාමූහික ජීවන භාවිතාවන් හා පුළුල් සමාජීය සිතීමක් වැනි වූ මාතෘකාවන් අයත් වූයේ ඉතා සුළුතරයක්  වූ සමාජ ක්‍රියාකරීන්, වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් වැනි වූ කිහිප දෙනෙකුට පමණි. ඔවුන් මහා සමාජයේ නොතැකිය හැකි තරම් කුඩා සුළුතරයක්  වූ අතර එම හඩට සමස්තයක් වශයෙන් කිසිදු සමාජ පිළිගැනීමක් නොවූ බවද පිළිගත යුතුය.

නමුත් කොරෝනා පැමිණ අපි ගිලීසිටි සිසිර නිද්‍රාවෙන් අපි අවදි කරවා තිබේ. මිනිස් පැවැත්ම යනු අවසාන අර්ථයෙන් සාමුහික ශිෂ්ටාචාරමය ක්‍රියාකාරිත්වයක් බව කනට පහරක් දී සමස්ත මිනිස් වර්ගයාට පෙන්වා දී තිබේ. නවීන වෛද්‍ය විද්‍යාව තව කෙටි කලකින් කොරෝනා පරදවනු ඇත. ඒ සමගම කොරෝනා අපට ඉගැන්වූ මිනිස් පැවැත්මේ වටිනා පාඩම අපි අමතක කර දමමුද?

       සුදේශ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *