කොරෝනාවෙන් පසු සංචාරක කර්මාන්තය

මේ කාලයේ මුලු ලෝකය පුරාවටම කොරෝනා අර්බුදය විසින් දැවැන්ත පසුබෑමකට නැතහොත් සමස්ත කර්මාන්තය සහමුලින්ම කඩාවැටුණු, ක්ෂේත්‍රයක් වේ නම් එය සංචාරක කර්මාන්තයයි. ලෝකයේ සෑම ක්ෂේත්‍රයක්ම සෑම කර්මාන්තයක්ම මේ අර්බුදය විසින් ගිල ගනු ලැබූවත් අනෙක් ක්ෂේත්‍රයන් ඉදහිට හෝ මහත් වෑයමෙන් හුස්ම ගන්නට අර අදින බව පෙනේ.  නමුත් සංචාරක කර්මාන්තය අර්බුද හේතුවෙන් යම් කාලයකට සහමුලින්ම මැරී වැටුන කර්මාන්තයකි.

මිනිස් ඉතිහාසය පුරාවටම සංචරණයට මිනිසාගේ පැවති අසීමිත අශාවේ විකාශනයක් වශයෙන් ලෝකයේ සංචාරක කර්මාන්තය වර්තමානයේ පවතින තත්ත්වයට දියුණු වී තිබේ.  කර්මාන්තයක් වශයෙන් ලෝක ආර්ථිකයට දැවැන්ත පංගුවක් එක්කරන ලෝකයේ විශාලතම ගෝලීය සිවිල් කර්මාන්තය වශයෙන් සැලකෙන්නේ සංචාරක කර්මාන්තයයි. මේ ආර්ථිකමය වටිනාකම මෙන්ම ලෝකයේ සමාජ සංස්කෘතික දේශපාලන ක්ෂේත්‍රයන් සමග මේ කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා වල ලොව පුරා බිලියන ගණනාවක් දෙනා යෙදී සිටිති. කොවිඩ් 19 වසංගතය විසින් ලෝකයේ සුළු කාලයකට වුවත් මේ වන විට සහමුලින්ම අකර්මර්න්‍ය වී තිබෙන්නේ එවැනි දැවැන්ත කර්මාන්තයකි.

පශ්චාත් කොරෝනා සමයේ ලෝක සංචාරක කර්මාන්තය අළුත් ගමනක් ඇරඹිය යුතුව තිබේ. අළුතෙන්ම ආරම්භ වන මේ කර්මාන්තය නැවත නව ජවයකින් ඉදිරියට ගමන් කරවීම සදහා නව තේමාවකින් වැඩ ඇරඹිය හැකි නම් එය වැදගත් වනු ඇත. ලෝකයම එකම පද්ධතියක් වශයෙන් සලකන සංචාරක කර්මාන්තය උදෙසා ගෝලිය වශයෙන් එක තේමාවක් තෝරා ගැනීම අපහසු නොවනු ඇත.

මෙවැනි දැවැන්ත කර්මාන්තයක නව ආරම්භයක් සදහා එක රටක් හෝ ආයතනයක්  හෝ පුද්ගලයෙක්  හෝ කරන අදහසක් යෝජනා ඉදිරිපත් කිරීමකින් කල නොහැකි බව අපි දනිමු. නමුත් පවතින තත්ත්වය හමුවේ කර්මාන්තය නැවත ඇරඹීම උදෙසා ක්‍ෂෙත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සාමූහික ප්‍රයත්නයකින් ලෝක මට්ටමින් නව දැක්මක් සහ වැඩ පිළිවෙලක් ගොඩ නන්වා ගැනීම අනිවර්ය අවශ්‍යතාවයක් වී තිබෙන බව ක්ෂේත්‍රය සම්බන්දයෙන් අවබෝධයක් තිබෙන ඕනෑම අයෙකු පිලිගන්නා යථාර්ථයකි.

මෙවන් මොහොතක පරිසර හිතකාමි සංචාරක සංකල්පය හෝ වගකීම් සහගත සංචාරක සංකල්පය වැනි ගෝලීය වශයෙන් සමස්ථ මිනිස් වර්ගයාටම ඵලදායක වන නැවුම් සහ නිර්මාණශීලී තේමාවක් ඔස්සේ අළුතෙන් වැඩ ඇරඹිය හැකි නම් එය සංචාරක කර්මාන්තයටත් සමස්ථ මිනිස් වර්ගයාටමත් ඉතා ඵලදායක වනු ඇත. පරිසර හිතකාමි සංචාරක සංකල්පය සම්බන්දයෙන් ලෝකය මේ වන විට යම් දැනුමක් සහ අවබෝධයක් ලබා තිබුණත් වගකීම් සහගත සංචාරක කර්මාන්තය තවම ලෝකය තුල නිසි අධ්‍යයනයකටහෝ සකච්ඡාවකට බදුන් නොවූ සංචාරක ක්ෂේත්‍රයට අළුතෙන් එකතු වූ නව සංකල්පයකි. අනාගතයේ වගකීම් සහගත සංචාරක සංකල්පය සංචාරක කර්මාන්තය තුල ඉහල වටිනාකම්ක් සහිත අදහසක් පමණක් නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් බවට පත් කල හැකි නම් එය ලොක සංචාරක කර්මාන්තයේ පුනරුදයක් වනු ඇත. එම පුනරුදය උදාවන තුරු සංචාරක කර්මාන්තයට ලැදි අපි සැවොම දෑස් දල්වා බලා සිටිමු. වගකීම් සහගත සංචාරක කර්මාන්තය සම්බන්දයෙන් ඉදිරි ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. 

                                                                                   සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *