ලංකාවේ පක්ෂ දේශපාලනය

ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂ දේශපාලනයට සැලකිය යුතු ඉතිහාසයක් තිබෙන බ ව අපි හොදින් දනිමු. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවති සමයේදිම සර්වජන ඡන්ද බලය ලබාගත් අපි බොහෝ අඩු ලුහුඩුකම් මධ‍්‍යයේ වුවත්, පසුගාමී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් දශක ගණනාවක් තිස්සේ ඇද වැටෙමින් නැගිටිමින් කෙදිරි ගාමීන් වුවත් පවත්වා ගෙන පැමිණ තිබේ. ජේ.ආර්. ජයවර්ධන විසින් විධායක ජනපති ධූරය හඳුන්වා දීමෙන් පසුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම බර පතල අර්බුදයකට ලක් වුවත් එය වෙනම කථා කල යුතු මාතෘකාවකි.

ගෙවුන ඉතිහාසය පුරා නාමික අර්ථයෙන් හෝ බහු පක්ෂ කුමයක් තුළ මහජන ඡන්දයෙන් පත් කර ගන්නා නියෝජිතයින් මඟින් ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කිරීමේ අවම ඉඩක් ලාංකීය පුරවැසියන්ට හිමිවී තිබිණි. පාකිස්ථානය බංගලාදේශය වැනි අපේ කලාපයේ රටවල් සාමාන්‍යයෙන් කාලයකට වතාවක් මුහුණ දෙන හමුදා පාලනයක අත්දැකීම ඉතිහාසය පුරා තවම අත් නොවිඳීමට රටක් වශයෙන් අපි වාසනාවන්ත වීමු.  වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව ක්‍රමයෙන් රට මිලිටරීකරණයට ලක් වෙමින් පවතින බවට වන සංවාදයක් දැන් ආරම්භ වී තිබේ. අපි සිතන්නේ එයත් වෙනම කථා කල යුතු මාතෘකාවක් බවයි. කිනම් තත්ත්වයක් යටතේ හෝ අවසාන වශයෙන් තවමත් අපේ රට බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන නාමික වශයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක්ය යන්න පිළිගත හැක.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ බලය සම්බන්ධයෙන් වන තරඟයේදී නිදහසින් පසු දශක හතක් පුරා ගෙවුණ ඉතිහාසය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට පුමුඛස්ථානය හිමිවී තිබුණ බව අපි දනිමු. ලංකාවේ පක්ෂ දේශපාලනය පිළිබඳව කථා කිරීමේදී එක්සත් ජතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක යෝධයින් දෙදෙනාව සිටි බව අපි හොඳින්ම දනිමු. අනෙක් සියලුම දේශපාලන පක්ෂ ලිලිපුට්ටන් නම් මේ දෙදෙනා ගලිවර්ලා විය. සාමන්‍යයෙන් මේ දේශපාලන පක්ෂ දෙක ආණ්ඩු පිහිට වූ බොහෝ අවස්ථාවන් වලදී අනෙක් කුඩා දේශපාලන පක්ෂ වල සහයෝගයෙන් සභාග ආණ්ඩු පිහිටුවා තිබුනත් ඒ කිසිදු අවස්ථාවක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ප්‍රමුඛත්වයට අභියෝග කිරීමට අනෙක් දේශපාලන පක්ෂ වලට ඉතිහාසය පුරා අවස්ථාව හිමිවී නොමැත.

සමස්ථයක් වශයෙන් ගතහොත් පක්ෂ අභ්‍යන්තර සංවිධාන ව්‍යුහයේ හෝ  දේශපාලන ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් සැලකීමේදී මේ දේශපාලන පක්ෂ දෙකෙහි අවධානයට ලක් කල යුතු තරමේ ව්‍යාහාත්මක වෙනසක් නොමැති බව අපගේ අදහසයි. අවසාන අර්ථයෙන් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඉතා පසුගාමී දූෂිත සහ අකාර්යක්ෂම දේශපාලන පක්ෂ වේ. මේවා දේශපාලන ව්‍යාපාර යැයි හඳුන්වනවට වඩා මාෆියා මූල්‍ය ආයතන ලෙස සංවිධානය වී පැවති බව කීවද එය අතිශෝක්තියක් නොවේ.

ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රජ්‍ය බලය සඳහා උරුමක්කාරයන් බවට පත් වී සිටි මේ දේශපාලන පක්ෂ දෙක සහ ඒ පක්ෂ වල නායකයින්ගේ ග්‍රහණයෙන් අපේ රටේ දේශපාලනය ගලවා ගැනීම නැත හොත් පිරිසිදු කර ගැනීම පැහැදිලි දේශපාලන අවශ්‍යතාවයක් විය. අවස්ථා දෙක තුනකදී විකල්ප දේශපාලන පක්ෂ සහ නායකයින් බිහි වූවත් ඒවායේ පැවැත්ම කෙටි කාලීන විය. ලලිත්, ගාමිණි විසින් බිහි කල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විජය කුමාරතුංගගේ මහජන පක්ෂය ආදිය ඉතිහාසයේ බිහිවී නැතිවී ගිය. විකල්ප දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් සම්බන්ධයෙන් වන උදාහරණයෝ

ය. ලංකාවේ පක්ෂ දේශපාලනය ගැන පුළුල්ව සාකච්ඡා කරනවා නම් පැරණි වමේ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ, සුළු ජාතික දේශපාලන පක්ෂ සිංහ ජාතිවාදය මත පදනම් වූ හෙළ උරුමය වැනි දේශපාලන පක්ෂයන් පිළිබඳවත් කථා කිරීම අනිවාර්ය වේ. නමුත් එව වෙනම මාතෘකාවකි.

අපි මේ ලිපියෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වර්තමානයේදී උරුම වී තිබෙන ඉරණම පිළිබඳවයි. මුලින් දක්වනු ලැබූ ආකාරයට මේ දේශපාලන පක්ෂ දෙකම ලංකාවේ දේශපාලන සිතියමින් මකා දමා එම චිත්‍රය අලුතින් ඇදීමට හැකි නම් එය වඩාත් ඉදිරිගාමී වෙනසක් අපේක්ෂා කරන්නන්ගේ ජයග්‍රහණයක් වන බවට කිසිදු විවාදයක් නොමැත. ඉතිහාසයේ මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ ගලිවර්වරයා තවත් එක් ලිලිපුට්ටෙක් බවට රූපාන්තරණය වී තිබෙන බව අපි දනිමු. මෙවර මහ මැතිවරණය ආශ්‍රිතව එජාපය නම් ගලිවර්වරයාත් සමගි ජනබල වේගය වශයෙන් තවත් දේශපාලන බලවේගයක් එජාප ගර්භාශයෙන්ම උපත ලබා තිබෙන නිසා ලිලිපුට්ටෙක්  වීමට නියමිතය.

මව් පක්ෂයන් මරාගෙන ඒ පක්ෂ වල දේශපාලන ගර්භාෂයෙන්ම අලුත් කුමාරවරුන් දෙදෙනෙකු බිහි වී තිබේ. නමුත් ගැටළුව වන්නේ අලුත උපන් මේ දරුවන් දෙදෙනාම අංගවිකලයන් වීමය. නව ඉදිරිගාමී දේශපාලන බලාපොරොත්තුවක් සමඟ නව දරු උපතක් බලාපොරොත්තු වූ යමෙක් සිටියේ නම් එම තීරුවේ සියලුම අපේක්ෂා සහ බලාපොරොත්තු  මේ නව පක්ෂ දෙක විසින් බොද කර දමා තිබෙන බව අපේ අදහසයි.

ඉතා පසුගාමී වැඩ වසම් පක්ෂයක් වූ ශ්‍රීලනිපය බයිපාස් කර ගෙන පැමිණි පොහොට්ටු පක්ෂය ශ්‍රීලනිපයටත් වඩා අධිකාරිවාදී ගෝත්‍රවාදී එක පවුලක් වටාම පමණක් භ්‍රමණය වන වර්ගවාදය සහ ආගම්වාදය ස්වකීය දේශපාලන පැවැත්මේ කේන්ද්‍රීය සාධකය බවට පත් කරගත් මුග්ධ දේශපාලන පක්ෂයක්ය යන්න ඉතා අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදුවී තිබෙන යථාර්ථයයි. නාමික අර්ථයෙන් හෝ අවම ලිබරල් පුජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් පෙනි සිටි සහ යම්තාක් දුරකට සුළු ජන වර්ගයන්ට දෙපය තබා ගත හැකි සුළු හෝ දේශපාලනික වේදිකාවක් වූ එජාපය මරාගෙන උපදින්නට උත්සහ දරණ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන නායකත්වය ස්වකීය දේශපාලන පැවැත්ම තහවුරුකර ගැනීමට උත්සහ දරන්නේ රාජපක්ෂලාටත් වඩා රාජපක්ෂවාදී වීමෙන්  බව පැහැදිලිවම හඳුනාගත හැකිය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ මුරකරුවන් නැතහොත් ආරක්ෂකයන් වීමට මේ දෙගොල්ලෝ අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබෙන බව පෙනේ. ලංකාවේ පක්ෂ දේශපාලනයේ මේ මොහොතේ යථාර්ථය මෙයයි. අන්තවාදයෙන් තොර මිනිස් වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලාපොරොත්තු ආමන්ත්‍රණය කරමින් විපක්ෂයේ දේශපාලන භූමිකාවට පණ පොවන නව දේශපාලන ව්‍යාපාරයක් සඳහා ලාංකීය දේශපාලන පොලවේ පැහැදිලි පුරප්පාඩුවක් නිර්මාණය වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් නව දේශපාලන බලවේගයක් මේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරයිද නැතහොත් වැඩ වසම් ගෝත්‍රවාදය විසින් ලංකාවේ දේශපාලන වැඩ බිම ආක්‍රමණය කරයිද යන්න අනාගතයේදී සිදුවන දේශපාලන චලනයන් විසින් තීන්දු කරනු ඇතැයි යන්න අපගේ අදහසයි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *