මහ මැතිවරණය

ලංකාවේ තවත් මහ මැතිවරණයක් උදෙසා දේශපාලන ලෝකය කඩිමුඩියේ වැඩ ආරම්භ කර තිබේ. දේශපාලන පක්ෂ ස්වකීය ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භ කර තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වී යෑම නිසා රට වසා දැමීමත් සමඟ මැතිවරණ පැවැත්වීමේ දිනය අවිනිශ්චිත විය. ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ටද යම් යම් පාර්ශවයන් අවතීර්ණ වුවත් දැන් ඒ ප්‍රශ්න නිරාකරණය වී තිබේ. ලංකාවේ තවත් එක් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරි මාස දෙක තුන ඇතුළත පැවැත් වීමට නියමිතය.

අපේ අදහස අනුව මේ මැතිවරණයත් ඉතිහාසය පුරා පැවති අනෙක් මැතිවරණ මෙන්ම තවත් එක් මැතිවරණයක් පමණක් වන බවයි. මැතිවරණය ආශ්‍රිතව හෝ මැතිවරණයෙන් පසුව හෝ ලංකාවෙ දේශපාලන පොළොවේ සුවිශේෂ චලනයන් සිදුවේ යැයි කිව නොහැක. දැනටමත් මැතිවරණයේ ජයග්‍රාහකයා පිළිබඳ අනුමාන කිරීමට කිසිදු අපහසුවක් නොමැත‍. පසුගිය ජනාධිපතිවරණයෙන් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ පොහොට්ටු පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් තිබේ යැයි සිතිය නොහැක.

මේ තත්ත්වය තුළ ලංකාවේ බල දේශපාලනයේ, ස්ථාපිත සෑම දේශපාලන පක්ෂයකටම මේ මැතිවරණය ආශ්‍රිතව තමන්ගේම දේශපාලන අභියෝගයක් නැතහොත් දේශපාලන බලාපොරොත්තුවක් නිර්මාණය වී පැවතීම මේ මහ මැතිවරණය ආශ්‍රිතව අපිට හඳුනා ගත හැකි සුවිශේෂතම ලක්ෂණය වේ.

මුලිනුත් අපි සඳහන් කරන්නට යෙදුන ආකාරයට පොහොට්ටු පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව කිසිවකුට සැක කිරීමට තරම් සාධාරණ හේතුවක් නොමැත. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම එම ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබේ. නමුත් ජයග්‍රහණයෙන් පමණක් සෑහීමට එම පක්ෂය සූදානම් නැති බව පැහැදිලිව පෙනී යයි.  ඔවුන්ගේ අධිකාරිවාදී දේශපාලන න්‍යාය  පත්‍රය අවහිරයකින් තොරව ක්‍රියාත්මක කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය වී තිබේ.  ඉදින් එම පක්ෂයේ මේ මැතිවරණය ආශ්‍රිතව දේශපාලන අරමුණ සහ අධිෂ්ඨානය වී තිබෙන්නේ එම ජයග්‍රහණය කෙසේ හෝ අත්පත් කර ගැනීමයි.

පොහොට්ටු පක්ෂයේ මේ නිසැක ජයග්‍රහණය සමඟ විපක්ෂයේ අයිතිවාසිකම නිසැක වශයෙන්ම හිමිවිය යුතුව තිබුණේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටයි. නමුත් මෙම මැතිවරණය තුළ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන විපක්ෂයේ හිමිකම පිළිබඳව වන එජාපයේ නින්දගම් අයිතිය අභියෝගයට ලක්ව තිබේ. ඒ එජාපයේ දේශපාලන ගර්භාෂයෙන්ම ජාතික සමඟි ජන බලවේගය නමින් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් බිහි වී තිබීමයි. එනිසා එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූ දේශපාලන ඉරණමම හිමිවේද යන්න තීරණය කරන තීරණාත්මක මහ මැතිවරණය බවට මේ මැතිවරණය පත්ව තිබේ. මේ මැතිවරණයේ අපි දකින ප්‍රධානතම සුවිශේෂී දේශපාලන සාධකය වන්නේ එයයි.

සුපුරුදු ආකර්ශණීය ප්‍රචාරක ව්‍යාපාරයක් සහ ආකර්ෂණීය තරුණ නායකත්වයක් සමඟ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් දේශපාලන බලවේගය අපේක්ෂා කළ තරමේ ජයග්‍රහණයක් එම මැතිවරණයෙන් අත්කර ගත නොහැකි වූ බව අපි දනිමු. 3% ක කල්ලිය වශයෙන් අපහාස උපහාස සහ අවඥාවන්ට ජවිපෙට ලක්වීමට සිදුවූයේද එම නිසාය. ඉදින් තමන්ගේ දේශපාලන බිඳ වැටීමෙන් පිබිදී නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගයක් බවට පත් වීමේ පැහැදිලි අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ හමුවේ පවතී.

මේ ආකාරයකට ලංකාවේ ප්‍රධාන සෑම දේශපාලන පක්ෂයටම ආවේණික දේශපාලන අභියෝගයක් නිර්මාණය කිරීමට මෙවර මැතිවරණය සමත් වී තිබේ. ඉදින් එම සියලුම කරුණු තීරණය කිරීමට අවසානයේ බලය හිමි වී තිබෙන්නේ ඡන්ද බලය හිමි පුරුවැසි ප්‍රජාවටය. සියලු දේශපාලන චලනයන් පිළිබඳව අවම හෝ අවබෝධයකින් ස්වකීය ඡන්ද බලය අභ්‍යාස කරන ඡන්ද දායකයින් සිටින්නේ ඉතාම සුළු ප්‍රමාණයක්ය යන්න කණගාටුවෙන් වුවත් පිළිගත යුතු යථාර්තයයි.

කෙසේ වෙතත් මූලික වශයෙන් එක් දේශපාලන පක්ෂයකට ආඥාදායක අධිකාරිවාදී දේශපාලන බලයක් අභ්‍යාස කල හැකි මට්ටමේ 2/3 බහුතර බලයක්  ලබා නොදීමට තරම් මේ රටේ ඡන්දදායකයින්ට නුවණ පෑදේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. එමෙන්ම කෙතරම් අඩු ලුහුඩුකම් සහ සීමාකම් සහිතව වුවත් පසුගිය පාර්ලිමේන්තුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් හය දෙනා සාපේක්ෂ වශයෙන් තමන්ගේ වගකීම අවම තරමින් හෝ ඉටු කිරීමට උත්සහ කල බව යථාර්ථයයි. ඉදින් නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලයක් ජනතා විමුක්ති පෙරමුණ වෙත ලබා දීමට තරම් අපේ ජනතාව සබුද්ධික වේවායි යන්න අපේ ඊළඟ ප්‍රාර්ථනයයි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *