20 කොයිබටද

නව රජය මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක සාතිශය බහුතර බලයක් ලබා ගැනීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සූදානම් වී සිටියි. මේ දිනවල දේශපාලන ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වන විසිවන සංශෝධනය වශයෙන් සාකච්ඡා වෙන්නේ එම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බව අපි ඉතා හොඳින් දනිමු. මේ වන විට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දෙපිල බෙදී විවාද කිරීම ආරම්භ වී තිබේ. රජය ප්‍රකාශ කර සිටින්නේ පොරොන්දු වූ ආකාරයට ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවත් එතෙක් ජනාධිපතිවරයාට වැඩ කරගෙන යාමේදී බාධකයක් වී තිබෙන 19 වන සංශෝධනයේ දුර්වලතාවයන් මගහැරවීම උදෙසා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බවයි. මේ දිනවල දේශපාලන ලෝකයේත් පුවත්පත් වලත් ප්‍රධාන මාතෘකාව මේ විසිවන සංශෝධනයයි. රජයට පක්ෂ කණ්ඩායම් 19 වන සංශෝධනයේ දහසක් වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් එය අහෝසිකර දමා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමේ  අවශ්‍යතාවය සහ වැදග‍ත්කම අවධාරණය කරති. පාර්ලිමේන්තුවේ කළු සාටක පැළදීමේ සිට උද්ඝෝෂණ මාධ්‍යහමු පවත්වමින් ආණ්ඩු විරෝධි පාර්ශවය විසිවන සංශෝධනය පරාජය කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය අවධාරණය කරති. සැබැවින්ම මෙය මෙගා නාට්‍යයක් වාගේය. ජනතාව මේ නාට්‍ය දෙස ඔහේ බලාගෙන සිටිති. බහුතරයක් බිම් මට්ටමේ ජනතාවට නම් මේ විවිධ අංකවලින් හඳුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් අදාලම නොමැත. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ සහ සංවේදී ප්‍රශ්න මාතෘකා  ඕනෑ තරම් තිබේ. කෙසේ වෙතත් අද අපි මේ ලිපියෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු දේශපාලන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නේ, එය මේ දිනවල ජනප්‍රියම මාතෘකාව නිසා නොවන බව කිව යුතුය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ඒ ආශ්‍රිත මාතෘකා සම්බන්ධයෙන් වන ජනප්‍රිය අදහස් වලට වෙනස් අදහස් සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ යුතු සහ අවධානය යොමු කළ යුතු යැයි අපි සිතමු.  එමෙන්ම මේ මොහොතේ කෙසේ වත් මගහැර යා නොහැකි  මේ කෙන්ද්‍රීය ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ සමාජයේ ඇත්ත සාකච්ඡාවක් සහ සංවාදයක් ඇති විය යුතු යැයි අපි විශ්වාස කරමු.

සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැලකෙන්නේ ඕනෑම රටක ප්‍රමුඛ නැතහොත් උත්තරීතර නීතිය වශයෙන් බව අපි ඉතා හොඳින් දනිමු. නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයක් සලකන්නේ බරපතල නෛතික සහ සදාචාරාත්මක වරදක් වශයෙනි. නමුත් සමාජයක ශිෂ්ඨසම්පන්න  භාවය සහ නීතිගරුක භාවය මැනිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු වගන්ති වලින් නොව එම සමාජයේ දේශපාලන සංස්කෘතියේ පවතින දියුණු භාවය මත යැයි සිතමි. මහා බ්‍රිතාන්‍ය වැනි රටවල ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පවතින  අප වැනි රට වලට වඩා බොහෝ ඉහල ප්‍රජාතාන්ත්‍රික සහ නෛතික ප්‍රමිතීන් පවත්වාගෙන යන බව අපි ඉතා හොඳින් දනිමු. කෙසේ වෙතත් වර්තමාන ලෝකයේ මහා බ්‍රිතාන්‍ය වැනි සුවිශේෂ ව්‍යාතිරේඛයන් හැරුණුකොට බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ලිඛිත ව්‍යවස්ථාවක් තිබේ. මේ කරුණු සාමාන්‍යයෙන් අපි කවුරුත් ඉතා හොඳින් දන්නා කරුණු වුවත් ක්‍රමානුකූලව අපේ මාතෘකාවට ප්‍රවේශ වීම සඳහා කෙටියෙන් හෝ මෙවැනි කරුණු දැක්වීමක් අවශ්‍ය යැයි  විශ්වාස කරන නිසා මෙසේ ලියමි.

සාමාන්‍යයෙන් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයක් සලකන්නේ එම රටේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් වශයෙනි. විශේෂයෙන්ම යටත්විජිත ග්‍රහණයෙන් නිදහස ලැබූ රටවල් ස්වකීය ජාතික නිදහසත් සමඟ තම රටේ සමාජ,  ආර්ථික,  දේශපාලන සහ සංස්කෘතික කාරණා පිළිබඳව අවධානය යොමුකර සියලු සමාජ ස්ථරයන්ගේ සහභාගිත්වයෙන් සිදු කල බරපතල සංවාදයකින් සහ සාකච්ඡාවකින් පසුව සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ගත්හ. අපේ අසල්වැසි ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කල හැකි හොඳම උදාහරණයයි.

ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදී නිදහසින් පසුව ගෙවුන ඉතිහාසය පුරාවටම එවැනි සබුද්ධික ජනතා සහභාගිත්වයකින් යුතුව ගොඩ නගාගනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති බව පැහැදිලි යථාර්ථයකි. සාමාන්‍යයෙන් අප රටේ ඉතිහාසය පුරාවටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී සලකා බලනු ලැබුවේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ සහ පාලකයින්ගේ අවශ්‍යතාවයන් පිළිබඳවයි. ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවට ආණ්ඩුපක්ෂ න්‍යාය පත්‍රයට ප්‍රමුඛතාවය හිමිවීම අපේ ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ ප්‍රධානම ඛේදවාචකය යැයි සිතමු. මේ සාකච්ඡාව තුළදී අපේ දැඩි විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක්වන්නේ 1978 ජේ.ආර් ජයවර්ධන මහතා විසින් හඳුන්වා දී සංශෝධනයන්ට ලක්වෙමින් දැනටත් නීතිය වශයෙන් පවතින දෙවන ජනරජ ව්‍යවස්ථාවයි. විධායක ජනාධිපතිධූරය, මනාප ඡන්ද ක්‍රමය ආදී වශයෙන් දහසකුත් වැරදි අඩුපාඩු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දකිමු. ගෙවුන දශක හතරක ඉතිහාසයේ 19 වතාවක් මේ ව්‍යවස්ථාව සංශෝධනය වූයේද මේ හේතුව නිසාමය.

කෙසේ වෙතත් දෙවන ජනරජ ව්‍යවස්ථාව සිතා බලා ජාතික  අවශ්‍යතාවයන් මත ගොඩ නැංවූ ව්‍යවස්ථාවක් නොවනවා මෙන්ම 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවද ජාතික න්‍යාය පත්‍රයකට සකස් කළ ව්‍යවස්ථාවක් නොවූ බව කිව යුතුය. දෙවන ජනරජ ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන රජයේ න්‍යාය පත්‍රය අනුව සකස් වූවක් වන අතර පළමු ජනරජ ව්‍යවස්ථාව සිරිමා බණ්ඩාරනායක රජයේ න්‍යාය පත්‍රය මත සකස් විය. මේ ව්‍යවස්ථා දෙක විෂයෙහිම ජාතික න්‍යාය පත්‍රයක් නොවු බව ඉතිහාසය දන්නා මධ්‍යස්ථව හිතන ඕනෑම අයෙක් අවිවාදිතව පිළිගනු ඇත. විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය සේවයේ සහ අධිකරණ ස්වාධීනත්වයේ මළගම ආරම්භ වූයේ 1972 ව්‍යවස්ථාව මඟිනි. 1977 ව්‍යවස්ථාව මඟින් ඒ තත්වය තවත් තහවුරු විය. ඒ පිලිබඳව කරුණු සහ උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කල හැකි වෙතත් එය වෙනම කථා කල යුතු මාතෘකාවක් බව සිතමි.

අපේ රටේ නිදහසින් පසුව සිදුකල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයන් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ද තනිකරම අවස්ථාවාදී සහ ආණ්ඩු පක්ෂයේ හුදු දේශපාලන අවශ්‍යතාවයන් උදෙසාම පමණක් සිදු වූ ඒවා බව කිසිදු සැකයකින් තොරව කිවහැක. ජනමත විචාරණයක් මඟින් පැවති පාර්ලිමේන්තු කාලය දිගු කළ ජේ.ආර්. ආණ්ඩුවේ කුප්‍රකට ලාම්පු කලගෙඩි සෙල්ලම මේ සඳහා වන හොඳම උදාහරණයය. දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්බන්ධයෙන්  සැලකීමේදී ආණ්ඩුපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පමණක්ම ව්‍යවස්ථා සංශෝධනයන් සිදුකල ඉතිහාසයට ව්‍යතිරේඛයන් කිහිපයක්ද තිබෙන බව කිව යුතුය. එනම් 13, 17 සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ඒවාය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් ලංකාවේ ජාතික ප්‍රශ්න උදෙසා සිදු කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. රටම ගිනි ගනිමින් තිබියදී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය හරහාය. දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් පසුව ගෙවුන ඉතිහාසය පුරාවටම එම ව්‍යවස්ථාවේ පැවති විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු ගැටළුකාරි තත්වයන් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අපේ දේශපාලන සමාජයේ ක්‍රමයෙන් ඇතිවිය. අවසානයේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලූම ප්‍රධාන දේශපාලන දහරාවන් දෙවන ජනරජ ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනීමේ අවශ්‍යතාවය පිළිගත්හ. 1994 පටන් සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් මේ දේශපාලන සටන් පාඨය විපක්ෂයේ සිටින විට ඔසවා ගන්නා දේශපාලන නායකයින් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව තම පොරොන්දුව වහාම අමතක කර දැමුවේ විධායක ජනාධිපති ධූරයේ රහ වැටීම නිසාය. කෙසේ වෙතත් සමාජයක් වශයෙන් අධිකරණය සහ රාජ්‍ය සේවය ස්වාධීන කිරීමේ අවශ්‍යතාවය මෙන්ම දියුණු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ රටතුළ සිදුවිය යුතුය යන අදහස පිළිබඳව යම් සාකච්ඡාවක් සහ සංවාදයක් ඇති විය. එම සමාජ තෙරපීමෙන් ගැලවීමට ලංකාවේ දේශපාලන පක්ෂ වලටද නොහැකි විය. එම දේශපාලන පක්ෂ විසින් මේ සමාජ මතවාදය සිය බලය තහවුරු කර ගැනීම සඳහා කොල්ල කනු ලැබීය. ඒ සඳහා හොඳම උදාහරණය 2015 බලයට පත් වූ ඊනියා යහපාලන ආණුඩුවයි.

කෙසේ වෙතත් ඉදිරිගාමී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් වූ සමාජ ඉල්ලීම නිසා මගහැරයා නොහැකි ලෙස පැවති ආණ්ඩු හිරකරගෙන පොදු සමාජ අභිලාෂයන් පිළිබඳව බලාපොරොත්තුවෙන් එක්තරා අකාරයකට බලහත්කාරයෙන් වාගේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණන් දෙකක් වශයෙන් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය හැක. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දෙකම සිදුකරනු ලැබුවේ පැවති ආණ්ඩුවලට මගහැරයා නොහැකි පීඩනයක් එල්ල කීරීමෙන් බව අපි හොඳින්ම දනිමු.

17 වන ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම 18 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් නිශේධනය කර සිය අධිකාරිවාදි බල ව්‍යාපෘතිය තහවුරු කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්විය. ඒ මගින් තහවුරු කර සිටියේ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සහ මූලධර්ම සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන නායකයින්ගේ වන අකමැත්ත සහ විරෝධයයි. එය එක් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සීමා වූ කරුණක් නොව අපේ රටේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් වන ඛේදජනක ඉරණමක් බව කිව යුතුය.

18 වන සංශෝධනය මගින් අධිකාරිවාදී බලයක් තහවුරු කරගෙන දිවි ඇති තෙක් ජනාධිපති කම් කිරීමට සිහින දුටු රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තු සුන්විය. නාමික අර්ථයෙන් හෝ දශක ගණනක් ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරනු ලැබූ ලාංකීය සමාජය ආඥාදායක යකඩ සපත්තුවකට පෑගී සිටීමට අකමැති බව තහවුරු කරමින් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ලංකාවේ බහුතර ජනතාව පෙළ ගැසුනහ. කෙසේ වෙතත් බලයට පැමිණි ඊනියා යහපාලන රජයට දියුණු දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් කිසිදු දැක්මක් සහ වැඩපිළිවෙලක් නොවූ බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් සිවිල් සමාජයේ වන දේශපාලන ඉල්ලීමේ පීඩනය හේතුවෙන් 19 වන සංශෝධනය සිදු කිරීමට ඔවුන්ට සිදුවිය. ඒ අනුව නැවත  රාජපක්ෂ මහතාගේ 18 වන සංශෝධනය බල රහිත කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නීතිගත විය.

17, 18, 19 ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනයන් එක පෙළට සිදු වූයේ නාට්‍යාකාරයෙනි. 17 සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකෙහිද බොහෝ අඩුලුහුඩුකම් තිබිණි. එමෙන්ම එම 17 සහ 19 නීතිගත කළ එවකට පැවති ආණ්ඩු මේ ව්‍යවස්ථා සංශෝධනයන් සිදු කලේ කැමැත්තෙන් නොවේ. නොකර බැරි කමටය. කෙසේ වෙතත් එම ව්‍යවස්ථා සංශෝධනයන් නාමිකව හෝ මේ රටේ දියුණු දේශපාලන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය නියෝජනය කල බව කිව හැක. විශේෂයෙන් 19 වන සංශෝධනය මඟින් ඇති කරනු ලැබූ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය විසින් අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ පැහැදිලි බලාපොරොත්තු සහගත වර්ධනයක් සිදු වු බව පෙනෙන්ට තිබුණි. රාජ්‍ය සේවය විෂයෙහි ප්‍රමාණාත්මකව විශාල වෙනසක් පෙනෙන්නට නොතිබුණත් තවදුරටත් රාජ්‍ය සේවා කොමිසම බලාත්මක කරමින් එයට ශක්තිය ලබා දුන්නේ නම් ක්‍රමානුකූලව රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිළිබඳව යම් හෝ බලාපොරොත්තුවක් තැබිය හැකි තත්වයක් තිබිණි. පොළිස් කොමිෂමේ ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන් යම් විවේචනයක් පැවතියත් ඒ ගැටළු ප්‍රශ්න පැවතියේ එම කොමිෂන් වල වරදක් නිසා නොවන බව සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන ඕනෑම අයෙකු පිළිගනු ඇත.

මුලින්ම සඳහන් කළ ආකාරයටම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සර්ව සම්පූර්ණ එකක් යැයි අප කියන්නේ නැත. නමුත් එම ව්‍යවස්ථා හැරවුම් ලක්ෂය විසින් බොහෝ සුභවාදී බලාපොරොත්තු ජනිත කල බව අපි සිතමු. සමාජයක් වශයෙන් කළ යුතුව තිබුණේ පැවති අඩුලුහුඩුකම් නිවැරදි කරගෙන වඩා දියුණු සහ ප්‍රජාතන්ත්‍රවාදී එම මාවතේ ඉදිරියට ගමන් කිරීමය.

දැන් අපේ ජනප්‍රිය මාතෘකාව වන 20 වන සංශෝධනය වෙත අපි පැමිණ සිටියි. 19 යට විකල්පයක් ලෙස හඳුන්වා දී තිබෙන්නේ සියල්ල නැවත ආපස්සට හරවන 20 වන සංශෝධනයයි. 18 වන සංශෝධනයෙන් පසුව ඊටත් වඩා සිය අධිකාරිවාදී බල අපේක්ෂාවන් ඉටු කරන 20 වන සංශෝධනය කරලියට දැමූ රාජපක්ෂවරු දැන් බලා සිටිති.   

එක්තරා ආකාරයකට මෙය ඉතිහාසය නැවත නැවතත් සිදුවීමකි. මාක්ස් කියා තිබෙන ආකාරයට විගඩමක් සහ ඛේදවාචකයක් වෙමින් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය නැවත නැවතත් එකම සිදු වෙමින් එකම අඳුරු ගුහාවක සිරවී තිබෙන බව අකමැත්තෙන් වුවත් පිළිගත යුතු යථාර්ථය යැයි අපි සිතමු.

දැන් පවතින තත්ත්වය අනුව අපි යථාර්ථයට මුහුණ දිය යුතු යැයි සිතමි. මේ මොහොතේ රාජපක්ෂ ආණ්ඩුව විසින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ගෙන ඒ යැයි සිතීම උත්ප්‍රාසජනක දවල් හීනයක් පමණී. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන විටදී මෙන්ම මහ මැතිවරණයේදී 2/3 බහුතර බලයක් ලබාගන්නා විටදීම මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු වීම අනිවාර්යතාවයකි.

මහපොළොවේ යථාර්ථය අනුව කල්පනා කර බලන්නේ නම් සිය අධිකාරිවාදී බල උවමනාවන් ඉටුකරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂ රෙජිමය කෙසේ හෝ සම්මත කර ගනු ඇත. දැනට යොජිත 20 ව්‍යවස්ථා කෙටුම්පතේ ස්වරූපය අනුව අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම යටත්කර ගනු ලැබූ විධායකයක් ගොඩ නැගීමට සූදානම් වන බව ඉතා පැහැදිලිය. පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලතල වලටද අතපෙවීමට සූදානම් වන බවක් පෙනෙන්ට තිබේ.

කෙසේ හෝ මේ විසකුරු ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ ආණ්ඩුව සම්මත කර ගනිතැයි සිතිය හැකි වුවත් ඊට විරුද්ධ අරගලය අත හැරීමට හෝ මගහැරයාමට විපක්ෂයට කිසිසේත්ම නොහැකිය යන්න අපේ අදහසයි. මේ මෙහොතේ මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට විරුද්ධව ජනමතයක් ගොඩනැගීමටත් ඒ පිළිබඳව ජනතාවට අධ්‍යාපනයක් ලබා දීමටත් මේ රටේ සියලු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුද්ගලයින්ට සංවිධාන වලට සහ දේශපාලන පක්ෂ වලට විශාල වගකීමක් පැවරී තිබේ. ඉතිහාසයේ මින් පෙරත් සිදු වූ ආකාරයටම මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ආපසු හැරවිය හැක්කේ ජනබලයෙන්ම පමණි. ඒ සඳහා ශක්තිමත් සහ සබුද්ධික ජනතා ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වී තිබේ. කිසිදු දැක්මක් හෝ වැඩපිලිවෙළක් නොමැති ප්‍රධාන විපක්ෂයට මේ ඓතිහාසික කාර්ය භාරය කිරීමට ශක්තියක් තිබේ යැයි තවම පෙනෙන්නට නොමැත. ජනතා විමුක්ති පෙරමුණ යම් හඩක් නැගීමට උත්සහ කලත් දැනෙන අරගලයක් උදෙසා ලංකාවේ දේශපාලන පොළොව සංවිධානය කිරීමට තරම් ඔවුන්ට ජන පදනමක් නොමැති බව යථාර්ථයයි. විශේෂයෙන්ම සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට පටු ජාතිවාදී න්‍යාය පත්‍ර වල සිරවී සිටිනවාට වඩා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට ලක්වී තිබෙන මෙවන් මොහොතක අරගලයේ ඉදිරිපෙල සිටගත හැක. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් ක්‍රොංග්‍රසය වැනි මේ දේශපාලන පක්ෂ කුමක් කරනු ඇත්දැයි තවම සිතාගත නොහැක. නමුත් මේ අරගලයේ අත්හැරිය නොහැකි වගකීමක් ඔවුන්ට තිබෙන බව නම් අවධාරණය කළ යුතුය. මේ මොහොතේ මේ යක්ෂයා පරාජය කළ නොහැකි වෙතත් මේ භයානක අනතුර පරාජය කරන දිගුකාලීන අරගලය උදෙසා උද්යෝගිමත් සහ ක්‍රියාශීලි පුරවැසි සහ දේශපාලන ක්‍රියාකාරිත්වයක් ගොඩ නංවාගෙන මේ අනතුරට විරුද්ධව සටන් කිරීම ආරම්භ කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැත. ඉදින් අවසාන වශයෙන් කියා සිටිය හැක්කේ විපක්ෂයක් ඕනෑ කර තිබේ යන්න පමණය.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *