සාහිත්‍ය සැප්තැම්බරය

සැප්තැම්බර් මාසය ගෙවී යමින් තිබේ. මට මතක හැටියට සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය පිළිබඳව ගිය වසරේත් අපේ වෙබ් අඩවියේ මෙවැනිම කෙටි ලිපියක් ලීවෙමි. ඉදින් සෑම වසරකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පුරුද්දක් ලෙස ලියන ලිපියක් බවට මේ ලිපිය පත්වෙමින් තිබෙන්නේ යැයි විටෙක මට සිතේ. කෙසේ වෙතත් මෙලෙසට සාහිත්‍යය වෙනුවෙන් මාසයක් නම් කර තිබීම නාමිකව හෝ සාහිත්‍යය පිලිබඳව වන අපේ උනන්දුව සහ උද්යෝගය වර්ධනය කරන නිසා එය යහපත් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් අපි ඉතා හොඳින් දන්නා ආකාරයට සාහිත්‍ය පිළිබඳව සංවාදය හුදු ප්‍රදර්ශනාත්මක හෝ නාමික ක්‍රියාකාරකම් වලට පමණක් සීමා නොවිය යුත්තක්ය යන්න ඕනෑම කෙනෙක් අවිවාදයෙන් යුතුව පිළිගනු ඇත. නමුත් කිසිවක් සිදු නොවී පවතිනවාට වඩා ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් නාමිකව හෝ යමක් සිදුවීම යහපත්ය. ඒ අනුව කිව හැක්කේ කෙතරම් විවේචන සහ අඩුලුහුඩුතාවයන් පැවතිය හැකි වුවත් සැප්තැම්බර් මාසයේ මේ සාහිත්‍ය පිළිබඳව ඇති වී තිබෙන කලබලය දෙස අපි බලන්නේ සාධනීය දෘෂ්ඨියකින් බව කිව යුතුය. එමනිසා අපේ ‍වෙබ් අඩවවියේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් සෑම වසරකම එකම ආකාරයක ලිපියක් දිගින් දිගටම පලවුවත් එහි වරදක් නැතැයි මම සිතමි. නමුත් ඒ ලිපියේ අදහස් වල හැඩහුරුකම වෙනස් කළ හැකි නම් ලිපිය කියවන පාඨක ඔබට එය නීරස හෝ ඒකාකාරි එකක් නොවන බවද දනිමි.

ගිය වසරේත් අපි ලියූ ආකාරයටම කිව හැක්කේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ කළ එලි බසින සුවිශේෂතම මංගල්‍ය වන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බවයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාහිත්‍ය ලෝලී ප්‍රජාවට පමණක් නොව සමස්තයක් වශයෙන් හැම දෙනාටම පාහේ වාර්ෂිකව එළබෙන සැණකෙළියක් බවට පත් වී තිබේ. වෙනත් අඩුලුහුඩුකම් කොතෙක් පැවතියත් සාහිත්‍යය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මකව හෝ එවැනි සැණකෙළියක් පැවැත්වීම අපි දකින්නේ ධනාත්මකව බව ගිය වසරේ ලියූ ලිපියේ කිවු ආකාරයටම මේ වසරේත් අපි අවධාරණයෙන් යුතුව කියා සිටිමු.

එමෙන්ම සාහිත්‍ය මාසයට සමගාමීව බී.එම්.අයි.සී.එච්. එකේ පොත් ප්‍රදර්ශනයෙන් පරිභාහිරව පොත් ප්‍රදර්ශනයක් මෙන්ම විවිධ කලා සාහිත්‍ය ක්‍රියාකාරකම් ගිය වසරේ මෙන්ම මේ වසරේත් රෝයල් තැප්‍රොබෙන් එකේ පැවැත්වෙන බව අපි දුටු‍වෙමු. එයත් ඉතා සාධනීය සහ බලාපොරොත්තු සහගත ප්‍රවේශයක් බව අපි සිතමු. මේ ආකාරයෙන් ඉදිරියේදී කොළඹ නගරයට සීමා නොවී රටපුරා සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ක්‍රියාකාරකම් ප්‍රදර්ශනාත්මකව හෝ සිදුවනවා නම් හොඳය යන්න අපේ අදහසයි.

අවසාන වශයෙන් මේ කෙටි ලිපියේ අපි කියා සිටින්නේ සාහිත්‍ය මාසයේ සාහිත්‍ය වෙනුවෙන් ඇති වන සුළු හෝ අවධානය සහ උනන්දුව කලා සාහිත්‍ය සංස්කෘතික ක්‍රියාකාරකම් විෂයෙහි අඩු අවධානයක් සහ උද්යෝගයක් පවතින අඳුරු දූපතක දැල්වෙන හීනි ඉටිපන්දම් එළියක් බවයි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *