සුළු ජාතික පක්ෂ කොයිබටද

ලංකාවේ සුළු ජාතික පක්ෂ සම්බන්ධයෙන් කරුණු ගණනාවක්ම හේතුවෙන් නැවත යම් සංවාදයක් සහ අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ආශ්‍රිතව මේ පක්ෂ වල භාවිතාව සහ භූමිකාව සම්බන්ධයෙන් පෙර නොවූ ආකාරයේ උනන්දුවක් සහ අවධානයක් රටේ දේශපාලන සංවාද තලයේ ඇති වූ බව පෙනෙන්නට තිබුණි. රවුෆ් හකීම්, මනෝගනේෂන්, රිෂාඩ් බදූර්දීන් මෙන්ම දෙමළ ජාතික සංධානය ඇතුළු ලංකාවේ ප්‍රමුඛ පෙලේ සියලුම සුලු ජාතික දේශපාලන බලවේගයන් ජනාධිපතිවරණයේදී සිය දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනු ලැබුවේ රාජපක්ෂ කඳවුරට විරුද්ධව බව රහසක් නොවේ. මහ මැතිවරණයේදී වුවත් දෙමළ ජාතික සංධානය ඇතුළු උතුරු පළාත නියෝජනය කරන දේශපාලන පක්ෂ හැරුණු විට බදුර්දීන්, හකීම්, මනෝගනේෂන් ඇතුළු සියලුම සුළු ජාතික නායකයින් සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකතනය වටා පෙළගැසී එක්ව තරග කළ බව අපි දනිමු. පසුගියදා පැවති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්බන්ධ ඡන්ද විමසීමේදී මේ පක්ෂ වල මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් 20 ට පක්ෂව රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය ලබා දීම තුළ සුළු ජාතික පක්ෂ වල දේශපාලන භූමිකාව පිලිබඳ සංවාදය සහ අවධානය අළුත් වී තිබේ.

කෙසේ වෙතත් මේ සියලුම සුළු ජාතික දේශපාලන පක්ෂ වල සහ දේශපාලන නායකයින්ගේ, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ඒකායන දේශපාලන අධිෂ්ඨානය වූයේ පොහොට්ටු පක්ෂය නැතහොත් රාජපක්ෂ කඳවුර පරාජය කිරීම බව ඉතා පැහැදිලිය.

ලංකාවේ නිදහසින් පසුව ගෙවුන ඉතිහාසය පුරාවටම සුළු ජාතික පක්ෂ විසින් මැතිවරණ දේශපාලන විෂයෙහි අත්පත් කරගත් සුවිශේෂ භූමිකාවක් විය. ඕනෑම ජාතික මැතිවරණයකදී ප්‍රධාන බල කඳවුරු දෙක වටා බහුතර සිංහල ඡන්ද පදනම බෙදී යෑම මත ඕනෑම ජාතික දේශපාලන පක්ෂයකට ආණ්ඩු පිහිටු වීමේදී මේ සුළු ජාතික දේශපාලන පක්ෂ වල සහයෝගය ලබා ගැනීම අනිවාර්යතාවයක් විය. විශේෂයෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව මේ පක්ෂ වල රජුන් තැනීමේ භූමිකාව වඩාත් ශක්තිමත්  වූ බව ඉතිහාසය සාක්ෂි දරනු ලබයි. ජනාධිපතිවරණ ඉතිහාසය විමසා බැලීමේදී මේ තත්ත්වය තවත් තහවුරු වේ. ගෙවුන ඉතිහාසය පුරාවට ලංකාවේ ජනාධිපතිවරණයක් ජය ගැනිම සඳහා ප්‍රධාන අපේක්ෂකයාට තම දේශපාලන කඳවුරෙන් ලැබෙන ඡන්ද පදනම හැරුණු කොට සුළු ජාතික දේශපාලන පක්ෂ වල සහයෝගය ලබා ගැනීම අනිවාර්යතාවයක් විය. ජනාධිපතිවරණයකදී මේ සුළු ජතික පක්ෂ දෙකට බෙදී   ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය ලබා දුන් බව අපි දනිමු. කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් සුළු ජාතික පක්ෂ වල සහයෝගයෙන් තොරව සිංහල ඡන්ද මත පදනම් වූ ප්‍රධාන දේශපාලන පක්ෂයේ ඡන්ද වලින් පමණක් ජයග්‍රහණය කිරීම පසුගිය ජනාධිපතිවරණය වන තුරුම පැවතුනේ යථාර්ථයෙන් තොර සැබෑකරගත නොහැකි දේශපාලන සිහිනයක් වශයෙන් යැයි කිවහොත් එහි අතිශෝක්තියක් නැතැයි සිතමි.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය ලංකාවේ මැතිවරණ දේශපාලන විෂයෙහි සුළු ජාතික පක්ෂ සඳහා පැවති භූමිකාව දෙදරවනු ලැබූ විරල දේශපාලන මොහොතක් යැයි පැහැදිලිවම කිව හැක. ඒ සඳහා බලපෑ බොහෝ හේතු පැවති අතර එය වෙනම කථා කල යුතු මාතෘකාවකි. රාජපක්ෂ කඳවුර ජනාධිපතිවරණයේදී මුල පටන්ම ජයග්‍රහණය සඳහා විශ්වාසය තැබුවේ සිංහල ඡන්ද මත බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය සහමුලින්ම ආමන්ත්‍රණය කරනු ලැබුවේ සිංහල බෞද්ධ ජාතිවාදී මතයට බව රහසක් නොවේ. කෙසේ වෙතත් අවසානයේ සියලු තත්ත්වයන් යටතේ පොහොට්ටු පක්ෂය නැතහොත් රාජපක්ෂ කඳවුර බහුතර සිංහල ඡන්ද වලින් පැහැදිලි ජයග්‍රහණයක් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ දෙකෙහිදීම ලැබූ බව අපි ඉතා හොඳින් දනිමු.

දැන් එළඹ තිබෙන්නේ මැතිවරණයෙන් පසු නිමේෂයයි. මැතිවරණ ආශ්‍රිතව විවිධ සටන් පාඨ සහ ප්‍රචාරක ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලැබූවත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රාජ්‍ය පාලනය විෂයෙහි දී පොරොන්දු සහ සටන් පාඨ සහමුලින්ම අමතක කර දැමීම අපේ දේශපාලකයින්ගේ සහ දේශපාලන ක්‍රමයේ ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. ඉදින් ඒ අර්ථයෙන් ආණ්ඩුවට සුළු ජාතික පක්ෂ සමඟ හෝ සුළු ජාතික පක්ෂ වලට ආණ්ඩුව සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් බැලූ බැල්මට පැවතිය නොහැක.

සැබැවින්ම අපේ රටේ වාර්ගික සහ  ආගමික නියෝජනය මත සංවිධානය වූ සුළු ජාතික දේශපාලන පක්ෂ සහ එම පක්ෂ වල දේශපාලන නායකයින් ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන නායකයින්ගෙන් දශමයක් වත් වෙනස් නැති දේශපාලකයින්ය යන්න අපේ අදහසයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සහ එම දේශපාලන පක්ෂ වල නායකයින් සේම සුළු ජාතික දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයින්ද තම ඡන්ද පදනම ඇතුළු ඉතාම අවස්ථාවාදී සහ පටු පරමාර්ථයන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය යොදාගන්නා බව අපි ඉතා හොඳින් දනිමු. ආගම් සහ ජනවර්ග අතර පවත්නා සැකය, බිය ස්වකීය පැවැත්ම සඳහා නිර්ලජ්ජිතව යොදා ගැනීමට ප්‍රධාන පක්ෂ සහ සුළු පක්ෂ කිසිසේත්ම පැකිලෙන්නේ නැත. එය රටේ දේශපාලන සංස්කෘතිය පිලිබඳව වන අවාසානාවන්ත තත්ත්වයකි.

කෙසේ වෙතත් මේ සියලු සීමාකම් සහ අඩු ලුහුඩුකම් මධ්‍යයේ වුවත් ඒ ඒ ජනවර්ග වල ප්‍රාදේශීය, ආගමික සහ ජනවාර්ගික අනන්‍යතාවයන් නියෝජනය කිරීම උදෙසා සුළු ජාතික දේශපාලන පක්ෂ විසින් ඉටු කරනු ලැබූ සහ ඉටු කරමින් තිබෙන කාර්ය භාරය නොතකා හැරිය නොහැකිය යන්න අපගේ අදහසයි. විශේෂයෙන් මේ දේශපාලන පක්ෂ ජාතික මැතිවරණ වලදී කිනම් දේශපාලන කඳවුරකට සහයෝගය ලබා දුන්නත් ආණ්ඩු පිහිටුවීමෙන් පසුව බලය ලබාගත් දේශපාලන කඳවුර සමඟ එකතු වී තමා නියෝජනය කරන වාර්ගික පදනමේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනි සිටි බව ඉතිහාසයේ අපි හොඳන් දැක තිබේ. ඒ සඳහා වන හොඳම උදාහරණය නිදහසින් පසුව ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රජුන් තනන්නා ලෙස අභිෂේක ලැබූ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ පටන් ඔහු මියයන අවස්ථාව වන විට පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව දක්වාම කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමය. මේ දේශපාලන නායකයින්ගේ මෙකී දේශපාලන භාවිතය සම්බන්ධයෙන් වන අවස්ථාවාදී සහ වර්ගවාදී ස්වරූපය පිළිබඳව විවේචනය වෙනම එකකි. පැහැදිලිවම ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂවල සේම මේ සුළු ජාතික දේශපාලන පක්ෂ වල පසුගාමී නොදියුණු අවස්ථාවාදී සහ ජාතිවාදී දේශපාලන භාවිතාව වෙනස් විය යුතුය යන අදහස සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිතන ඕනෑම අයෙකු විරුද්ධ වෙතැයි සිතිය නොහැක. ඒ විවේචනය සමඟ වුවත් ආණ්ඩුව පිහිටු වන ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂ සමඟ මේ සුළු ජාතික පක්ෂ එක්වීම තුළ ආණ්ඩුව තුළ මේ ජනවර්ග වල අවශ්‍යතාවයන් නියෝජනය කිරීම සම්බන්ධයෙන් මෙකී දේශපාලන නායකයින් වැදගත් කාර්ය භාරයක් ඉටුකරනු ලැබීය. උතුරු නැගෙනහිර යුද්ධය පවතින කාලයේ වතුකරය සන්නද්ධ ප්‍රවාහය වෙත ඇදී නොයාමට සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ දේශපාලන භාවිතාව වැදගත් කාර්යභාරයක් ඉටුකල බව පිළිගත හැක.

මේ සියලු තත්වයන් සමඟ  වර්තමානයේ උදාවී තිබෙන සුවිශේෂී දේශපාලන නිමේෂය තුල සුළු ජාතික පක්ෂ වල කාර්යභාරය විමසා බැලීම ඉතා වැදගත්ය යන්න අපගේ අදහසයි.

අපි මුලින්ද සදහන් කරනු ලැබූ ආකාරයට ගෙවුන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අපේ මැතිවරණ දේශපාලන ඉතිහාසයේ යම් සලකුණක් සනිටුහන් කල බව අපි දනිමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් සිංහල ඡන්ද පදනමේ හයියෙන් පමණක් ජයග්‍රහණය කරනු ලැබූ ප්‍රථම අවස්ථාව ගෙවුන ජනාධිපතිවරණයේදී උදා වූ බව ප්‍රකාශ කලොත් එය නිවැරදිය. සිංහල බෞද්ධ අන්තවාදීන් මැතිවරණ සමයේදී මෙන්ම මැතිවරණයෙන් පසුවද හඩ නගමින් ඉන්නේ තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිළිබඳවය.

වාර්ගික සහ ආගමික අනන්‍යතාවයන් හේතුවෙන් නිදහසින් පසුව ගෙවුන දශක හත පුරාවටම ලේ කදුළු ඇති තරම් හෙලු ලංකාව වැනි බහු වාර්ගික සමාජයක තනි ආගමික සහ ජාතියක යන ආධිපත්‍යයට යටත් වූ ආණ්ඩු කිරීමක් ගැන සීතීමම මහා විනාශයකට වඩා වැඩි දෙයක් නොවේ. මැතිවරණ සමයේ පැවතුන දේශපාලන තත්ත්වයන් තුළ ස්වකීය ජයග්‍රහණය උදෙසා කිනම් සටන් පාඨ ප්‍රචාරණ ව්‍යාපාරය තුල ඉදිරියට දැමුවත් ආණ්ඩුකරණය යනු වෙනම කලාවක් බව රජය තේරුම් ගත යුතුය. මහින්ද රාජපක්ෂ වැනි පරිණත සහ පළපුරුදු දේශපාලකයෙකුට මේ යථාර්ථය අමුතුවෙන් පහදා දීම අවශ්‍ය වන්නේ නැත. පසුගිය මැතිවරණ දෙකේදී මේ ඡන්ද පදනම නොතකා හරිමින් පැවති සුවිශේෂ තත්ත්වයක් තුළ ආණ්ඩුවට ජයග්‍රහණය කල හැකි වුවත් ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ වලදී තනි සිංහල ඡන්ද වලින් පමණක් ජය ගැනීමට සිතීම මුලාවක් බව ආණ්ඩුව තේරුම්ගත යුතුය. මේ සියලු තත්වයන් තුළ අන්තවාදීන්ගේ හඩනැගීම පසෙක දමා සුළු ජාතික දේශපාලන පක්ෂ සමග ශක්තිමත් ගණුදෙනුවකට ‍ප්‍රවේශ වීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් සැලකීමේදී වැදගත් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි අපි සිතමු. මේ යථාර්ථය ආණ්ඩුව තේරුම් ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ අර්ථයෙන් බදුර්දීන්, මනෝගනේෂන් සහ හකීම් සමග වන ආණ්ඩුවේ අළුත් ගණුදෙනුව දෙස බැලිය යුත්තේ සුභවාදීවය යන්න අපේ අදහසයි.

මෙහිදී සුලු ජාතික දේශපාලන පක්ෂත් ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයන් පසෙක තබා තමන් නියෝජනය කරන ජන කණ්ඩායම් රාජ්‍යකරණයෙන් ආන්තික වීමේ අවදානමට විරුද්ධව කටයුතු කල යුතුය. එය තවත් පැහැදිලිව කියන්නේ නම් මේ මොහොතේදී ඔවුන් අකමැත්තෙන් වුවත් ආණ්ඩුව සමග දේශපාලන ගනුදෙනුවක් කළ යුතුය. එසේ නොවී සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ග්‍රහණයට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව සහමුලින්ම යටත් වුවහොත් සමස්ත රටේම ඉදිරි දේශපාලන චිත්‍රය බියකරු බව කිව යුතුමය.   

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *