ආයුබෝවන් ට්‍රම්ප්

මේ ලිපිය ලියන මොහොත වන විට ඇමරිකාවේ ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිපලය නිකුත් වී නැතත් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපල වලට අනුව ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පසුගිය සිවු වසර පුරාවට ඉතා ආන්දෝලනාත්මකව ජනාධිපතිධූරයේ කටයුතු කල ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පරාජයට පත් වී තිබේ. ඒ මැතිවරණ ප්‍රතිපලයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සහ වෙනත් විරෝධතාවයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ කඳවුර විවිධ ප්‍රකාශයන් සිදු කලත් ඒවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුපුරුදු පිස්සු නැටුම් අතර වන තවත් එවැනි පිස්සු නැටීමක් වශයෙන් සලකනවා හැර එහි එතරම් වැදගත් කමක් ඇතැයි නොසිතමි.

කෙසේ වෙතත් ලෝක පොලිස්කාරයා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් වසර හතරක කාලයක් ධුරය දැරූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු ඉතිහාසයේ පමණක් නොව මෑත කාලීන ලෝක දේශපාලනය තුළත් සුවිශේෂ චරිතයක්ය යන්න අපේ අදහසයි. ලෝක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික දේශපාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය සිය ඇත්ත භාවිතාව තුළින් කෙතරම් ආක්‍රමණශීලි සහ සදාචාර විරෝධි කටයුතු සිදු කරනු ලැබුවත් ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් නඩත්තු කරනු ලැබූ යම් අනන්‍යතාවයක් තිබුණි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අගයන දියුණු මිනිසුන් සහ සමාජයක් වශයෙන් ඇමරිකාව උත්කර්ෂයට නැගීමට ඇමරිකාවේ ජනාධිපතිවරයාත් ආයතන පද්ධතිය ඇතුළු සියල්ලත් ඉතා සූක්ෂමව කටයුතු කල බව ලොවම දන්නා රහසකි. ඔවුන්ගේ ආක්‍රමණශීලී සහ හිතුවක්කාර ක්‍රියාකාරිත්වය පැවතියේ මේ ප්‍රදර්ශනාත්මක අයිසින් තට්ටුව යට සඟවා වෙනම න්‍යාය පත්‍රයක් වශයෙන්ය යන්න ලෝකයට රහසක් නොවීය.

ශත වර්ෂ දෙකකට වඩා වැඩි ඇමරිකානු ඉතිහාසයේ නිරූපිත මෙකී දෙබිඩි භාවිතාව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කුඩු පට්ටම් කර දමනු ලැබීය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී චර්යාවන් සහ ආචාර ධර්ම ඔහු ප්‍රසිද්ධියේම කඩකරා පමණක් නොව ඒවා හාස්‍යයටද ලක් කලේය. ඔහුටම ආවේණික වූ ඔහුගේ භාවිතාවට ලෝකය පිළිගත් කිසිදු න්‍යායික මතවාදයක් අදාළ වූයේ නැත. කොරෝනා වෛරසය සම්බන්ධයෙන්  ඔහුගේ හැසිරීම සහ ප්‍රතිචාරයන් කොටින්ම ඔහු වෛද්‍යවිද්‍යාව පවා හාස්‍යයට ලක් කරමින් ඔහුගේ විශ්වාසයන් මතම කටයුතු කිරීමක් බව පෙනී ගියේය.

මේ සමස්තය තුළ බැලූ බැල්මට ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනී ගියේ ජෝකර් කෙනෙකු හෝ උන්මත්තකයෙකු වශයෙනි. ඇමරිකාවට පක්ෂපාති අධිපතිමාධ්‍යයන් විසින්ද අවසාන කාලයේ ට්‍රම්ප් නාමකරණය කිරීමට උත්සහ කලේ එලෙසය. නමුත් යථාර්ථය එයද? ට්‍රම්ප් වැනි චරිතයක් ලෝකයේ බලවත්ම රටේ ජනාධිපතිවරයා බවට පත් වූයේ ජනතා ඡන්දයෙනි. ස්වකීය ධුර කාලය තුළ බරපතල උමතු හැසිරීමක් ප්‍රදර්ශනය කලද මෙවර මැතිවරණයෙන් ඔහු පරාජය වුවද ඔහුට රට තුළ සැලකිය යුතු ඡන්ද පදනමක් තවමත් පවතින බව පෙනෙන්නට තිබුණි. ඉදින් සාමාන්‍ය ඇසට පෙනෙන ආකාරයට ට්‍රම්ප් ජෝකර් කෙනෙක් කර නොතකා හරිනවාට වඩා ඔහු නියෝජනය කළ දේශපාලන තීරුව පිළිබඳව සැබෑ සංවාදයක් ඇතිවීම ලෝකයේ ඉදිරි දේශපාලනය විෂයෙහි වැදගත්ය යන්න අපේ අදහසයි. ඉදින් මෙවර ට්‍රම්ප් මැතිවරණයෙන් පරාජය වී ධවල මන්දිරයට ආයුබෝවන් කීවද ඔහු නියෝජනය කළ දෘෂ්ටිවාදය ලෝක දේශපාලනයට එතරම් ලේසියෙන් ආයුබෝවන් නොකියනු ඇත. ඉදින් ට්‍රම්ප්වාදය ගැන ඉදිරියේදී තවබොහෝ කතාකිරීමට සිදුවනු ඇත. එතෙක් ධවල මන්දිරයට ආයුබෝවන් කියන ට්‍රම්ප්ට ආයුබෝවන් කියමු.   

 සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *