ආදරය වෙනුවෙන් හඩනගමුද?

ආදරය, මිනිස් විෂය සඳහා වඩාත්ම බලපෑම් සහගත මානවීය හැඟීමය. කවි ගීත ඇතුළු සාහිත්‍ය තුළ වැඩිම නිර්මාණ ප්‍රමාණයක් බිහි වී තිබෙන මිනිස් මනෝභාවය ආදරය යැයි ප්‍රකාශ කලොත් එය අතිශෝක්තියක් නොවේ. මේ මාතෘකාව ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට පමණක් සීමා වන පටු එකක් නොවන බව අපි දනිමු. දේශපාලන අදහසක් වෙනුවෙන් ආගමක් වෙනුවෙන් රට නැතහොත් මාතෘ භූමිය වැනි වූ සංකල්පයක් වෙනුවෙන් ආදරයෙන් අනුරාගයෙන් බැදීමට මිනිසුන්ට හැක. මිනිස් ඉතිහාසය පුරාවට එවැනි චමත්කාරජනක වූ ආදරණීය බැදීම් කියා නිම කළ නොහැකි තරම් බව අපි දනිමු. මිනිසුන් ශිෂ්ටාචාරය ගොඩ නැගුවේ ආදරය නිසා යැයි කිවහොත් එය නිවැරදි වනු ඇත.

ගැහැණු පිරිමි ආදරය සැමරීමට ආදරවන්තයින්ගේ දිනයක්ද අපි නම්කර ගෙන සිටිමු. ලොව පුරා ඉතා ජනප්‍රිය දිනයක්ද වන එය ශාන්ත වැලන්ටයින් නම් පූජකයා සිහි කරමින් ලොව පුරා ප්‍රේමවන්තයෝ වාර්ෂිකව සමරති.

රටක් වශයෙන් අපි ආදරයේදී ඉන්නේ කොතනද? අපි මිනිසුන් වශයෙන් කෙතරම් ආදරණීයද? මිනිස් සම්බන්ධතාවල දියුණු සහ ශිෂ්ඨ සම්පන්න මිනිස් මනෝභාවයක් වන ආදරය විශයෙහි අපේ කථාව පිළිබඳව අපි සංවාදයක් ඇරඹිය යුතු නැද්ද? ගැහැණු පිරිමි ආදරය තුළ පමණක් නොව මිනිස් සම්බන්ධතා වලදී අපේ ආදරය කෙතරම් දියුණු මානවීය නොහොත් ආදරණීය එකක්ද? කොටින්ම ගැහැණු පිරිමි ආදරය තුළදී වුවත් අපි සමාජයක් වශයෙන් සැබෑ ආදරවන්තයින්ද?

අපේ සමාජයේ ආදරය ගැන වන සංවාදය නැවත අලුතින් ඇරඹිය යුතු යැයි අපි සිතමු. වැලන්ටයින් දවසේ රෝස මල් හුවමාරු කර ගැනීමෙන් ඔබ්බට යන ආදර සාහිත්‍යයක් අපි ගොඩ නගාගත යුතු නැද්ද? කරුණාසේන ජයලත්, උපුල්ශාන්ත සන්නස්ගල, සුජීව ප්‍රසන්න ආරච්චි ආදීන් පීචං ලේබලයෙන් ඉවතට විසිකරනවා වෙනුවට අපේ රටේ ආදරයේ සාහිත්‍ය උදෙසා ඔවුන්ද යම් කාර්යක් සිදු කළ බව විශ්වාස කරමින්ම වුවද වෙනත් සහ වෙනස් ආදර සාහිත්‍යයක් වෙනුවෙන් මේ පොළොවේ අවකාශයක් තිබේ යැයි අපි සිතමු.

එමෙන්ම මේ ආදරය පිළිබ‍ඳව වන සංවාදයේ දිගුවක් වශයෙන් අනෙකාට ගරු කිරීම ඇතුළු මිනිස් වටිනාකම් පිළිබඳව මෙන්ම සැබෑම ආදරණීය මිනිසුන් සහ ආදරණීය සමාජයක් පිළිබඳව සිතිය හැකි යැයිද කතා කළ හැකි යැයිද අපි සිතමු. සිතුවාට සහ කතා කරාට ගන වානාන්තරයක මං මුලාවූ මේ දූපතේ ආදරේ කථාව යථාර්ථයක් කිරීම මහාම මහා අභියෝගයක් බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් මේ අනාදරය සහ වෛරය මැද්දේ ආදරය වෙනුවෙන් හීන් කෙදිරියක්වත් නැගීමට අපි පසුබට විය යුතුද? ඉදින්  අපි ඉදිරියට  තවත් ආදරය ගැන කතා කරමු.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *