පොහොර යුද්ධයේ නොනිමි කතාව

පොහොර යුද්ධයේ අවසානයක් වෙනුවට විවිධ ස්වරූපයෙන් අළුත් අර්බුද  ගණනාවක් නිර්මාණය කරමින් කෘෂි කර්මාන්තය පමණක් නොව වෙනත් ක්ෂේත්‍රයන් වලටත් පැතිරුණ අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.  ලංකාවේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ සියලු ම මාධ්‍යයන් ගෙවුණ සති කිහිපය පුරාවටම ඕනෑ තරම් තොරතුරු සහ ප්‍රවෘත්ති ඉදිරිපත්  කරනු ලැබූ බව අපි දුටුවෙමු. රටේ හතර දිග්භාගයේ සෑම අස්සක් මුල්ලක් නෑරම අඛණ්ඩව එක දිගට  මතු වෙමින් ආ ගොවි විරෝධතා රැල්ල මගින් මේ ප්‍රශ්නය ලාංකීය සමාජයේ බිම් මට්ටමට කෙතරම් තීරණාත්මක බලපෑමක් සිදු කර තිබේද යන්න ප්‍රත්‍යක්ෂ වේ.

පොහොර ඉල්ලා සිදු කෙරෙන මේ ගොවි අරගලයන් සහ ඊනියා කාබනික වගාවේ මිථ්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය අවකාශය තුළ මේ වන විටත් ඕනෑ තරම් සාකච්ඡා වී තිබේ. ඒ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කල යුතු ඉතා සංවේදී සහ වැදගත් මාතෘකාවක් බව අප පිළිගන්නා අතරම අද අපේ මේ ලිපියෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ පොහොර ප්‍රශ්නය සහ ගොවි අරගල වැනි වූ සුපුරුදු මාතෘකාවන් සම්බන්ධයෙන් නොවන බව ප්‍රකාශ කරමි. සැබවින්ම අපි මුලිනුත් ප්‍රකාශ කරනු ලැබූ ආකාරයට රජයේ මෙකී අමනෝඥ තීරණය හේතුවෙන් කෘෂි කර්මාන්තය ආශ්‍රිත ඇති වී තිබෙන දැවැන්ත අර්බුදයට අමතරව සමාජයේ වැඩි අවධානයට සහ සාකච්ඡාවට ලක්නොවූ සහ නොවන තවත් ක්ෂේත්‍ර වල අර්බුදයන් ගණනාවක්ම නිර්මාණය වී තිබේ.

මේ ඊනියා කාබනික ගොවිතැන සම්බන්ධයෙන් වන අදහස හඳුන්වා දෙමින් රසායනික පොහොර භාවිතය අත්හිටුවන බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව ප්‍රකාශ කරනු ලැබුවේ වඩාත් පරිසර හිතකාමී සහ ඉහල අස්වැන්නක් ලබාගත හැකි කාබනික පොහොර ලංකාව තුල නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බවත් ලංකාව තුළ කාබනික පොහොර නිපදවීම ඇරඹීමට යම් කාලයක් ගතවන නිසා එතෙක් ජාත්‍යන්තර වශයෙන් ඉහල ප්‍රමිතියකින් යුක්ත කාබනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් වන අදහස් වලදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබුවේ චීනයෙන් නාගරික කසල කාබනික පොහොර ලෙසින් ලංකාවට ගෙන්වීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවත් එසේ වුවහොත් එය කෘෂිකර්මය සහ පරිසරය සම්බන්ධයෙන් බරපතල අර්බුදයන් ගණනාවක්ම ඇති කරනු ලබන බවයි. මෙයට පිළිතුරු දෙමින් සිය සුපුරුදු වාචාල කමින් යුතුව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරනු ලැබුවේ ලංකාවට ගෙන්වන සියලූම කාබනික පොහොර ගොවියන් වෙත මුදා හරින්නේ ලංකාවේ විද්‍යාගාර වල සිදු කරන ඉහල මට්ටමේ විද්‍යාත්මක පරීක්ෂණයකින් පසුව බවත් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිවෙකු බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි. එමෙන්ම දිගින් දිගටම කෘෂිකර්ම ඇමතිවරයා පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ චීනයේ නාගරික කසල කාබනික පොහොර ලෙසින් ගෙන්වීම අසත්‍යයක් බව සහ ඉතා ඉහල ගුණාත්මක භාවයෙන් යුතු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත කාබනික පොහොර ලංකාවේ ගොවියන්ට ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් යුතුව කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් කාලය කෙමෙන් ගෙවී යන විටදී චීනයෙන් පොහොර ගෙන්වීමේ කතාව යථාර්ථයක් වෙමින් පැවති බව අපි දුටුවෙමු. මේ චීනයෙන් ගෙන්වන පොහොර සම්බන්ධ සංවාදය අඛණ්ඩව දිගින් දිගටම ඇදී ගිය අතර  මේ පොහොර වල සාම්පල ලංකාවේ විද්‍යාගාර පරීක්ෂණයන් වලදී අවස්ථා කිහිපයක් අසමත් වී තිබුණ අතර මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ගෙන්වීමට සූදානම් වන පොහොර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් රට තුල දිගින් දිගටම ප්‍රශ්න කරන ආකාරයක් දක්නට ලැබුණි. චීනයෙන් ගෙන්වීමට සැලසුම් කර තිබෙන පොහොර සාම්පල ලංකාවේ විද්‍යාගාර පරීක්ෂණයන් වලදී අසමත් වූ බව ආණ්ඩුවට සැඟවීමට නොහැකි වූ නිසා කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් නැවතත් ප්‍රකාශ කරනු ලැබුවේ ඒ ආකාරයෙන් ලංකාවේ විද්‍යාගාර පරීක්ෂණ වලදී එම පොහොර සාම්පල වල ප්‍රමිතිය අසමත් වූ බව සත්‍යයක් බවත් කෙසේ වෙතත් තවම පොහොර රටට ගෙන්වීම සිදුකර නැති අතර ඉහල ප්‍රමිතියෙන් යුක්ත පොහොර පමණක් රටට ගෙන්වීමට අවශ්‍ය සියලු කටයුතු රජය මගින් සිදු කරන නිසා ඒ පිලිබදව අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව කෘෂිකර්ම ඇමතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබීය. නමුත් අවසාන වශයෙන් ලංකාව තුලදී අදාළ පොහොර සාම්පල සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විද්‍යාගාර පරීක්ෂණයන් හීදී තහවුරු වූයේ පසට සහ කෘෂිකාර්මික ජෛව පද්ධතියට හානිකර ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක් චීනයෙන් ගෙන්වීමට සැලසුම්කර තිබෙන පොහොර වල අන්තර්ගත වන බවයි. මේ සම්බන්ධයෙන් ලංකාවේ විද්‍යාගාර පරීක්ෂණයන් හි ප්‍රතිඵල සමාජගත වූ නිසා මේ පොහොර ගෙන්වීමට විරුද්ධව සමාජ පීඩනයෙන් ගැලවීමට නොහැකි තත්වයක් රජයට ඇති විය. මේ තත්වය තුල අකමැත්තෙන් වුවත් රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වූයේ චීනයෙන් ගෙන්වීමට නියමිත පොහොර වල ප්‍රමිති සහගත තත්වය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් පවතින්නේ නම් මේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් නැවත සිතා බලන බවයි.

ප්‍රශ්නය උද්ගත වූයේ මේ අවස්ථාවේ පටන්ය. ආණ්ඩුව පෙන්වීමට උත්සහ කරන ආණ්ඩුව සහ චීනය අතර අතිජාත මිත්‍රත්වය වෙනුවට චීනය වහාම තමන්ගේ රටේ සමාගම වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව පෙනී සිටියේය. වහාම ප්‍රකාශයක් නිකුත් කළ  චීන සභාපති කාර්යාලය ආණ්ඩුවේ ස්ථාවරය දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් නොනැවතී චීනයෙන් අදාළ පොහොර ගෙන්වීම අත්හිටුවීමට කටයුතු කරනු ලැබුව හොත් එය  ලංකාව හා චීනය අතර පවත්නා මිත්‍රත්වය පළුදු වීමට හේතුවන බව පැහැදිලිවම ප්‍රකාශ කලේය. එමෙන්ම ලංකාවේ විද්‍යාගාර වල සිදු කරනු ලැබූ අදාළ පරීක්ෂණය නිසි ක්‍රමවේදයට අනුව සිදු වූවක් බව තමන් නොපිලිගන්නා බවත් අදාළ චීන සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් චීන රජය පෙනී සිටින බවත් කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කරනු ලැබීය.

මෙවැනි තත්වයක් තුළ ආණ්ඩුව සිය ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුවත් අදාළ සියලුම බලධාරීන් කසාව බිව් ගොළුවන් මෙන් මුනිවත රැකි බව පෙනෙන්නට තිබුණි. මේ සම්බන්ධයෙන් ලංකාවේ විද්‍යාගාර පරීක්ෂණයන් සිදු කරනු ලැබූ අදාළ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ විශේෂඥයින්ගෙන් චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රශ්න කරනවා දුටුවෙමි. මෙහිදී අදාළ කෘෂි විද්‍යාඥයින් පැහැදිලිවම තමන් සිදු කල පරීක්ෂණය නියමිත ආකාරයට සිදු වූ බව ප්‍රකාශ කරමින් චීන තානාපති කාර්යාලයේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරනු ලැබීය. නමුත් ආණ්ඩුවේ නිලධාරීන් තවම සිටින්නේ මුනිවත රකිමිනි.

මේ පසුබිම තුළ ඇති වී තිබෙන තත්වයේ බරපතල කම තවම සමාජයේ අවධානයට  නියමිත ආකාරයට යොමු වී නොමැති බව අපගේ අදහසයි. ගෙන්වීම නවත්වනවා යැයි කිව් ප්‍රමිතියෙන් තොර චීන පොහොර නිහඬවම ලංකාවට ගෙන්වා ගොවියන් අතර බෙදා දීමට ආණ්ඩුව සූදානම් වන බවට දැන් පැහැදිලි තොරතුරු ලැබෙමින් පවතී. විශේෂයෙන් චීනයේ අනතුරු හැඟවීම් හමුවේ අසරණ වූ ආණ්ඩුවට වෙනත් ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බව සාමාන්‍ය අවබෝධයක් තිබෙන ඕනෑම අයෙකුට හොඳින් අවබෝධ වේ. මේ ප්‍රශ්නය හමුවේ චීනය කිසිදු බුරුලක් ලබා දීමට සූදානම් නොවන බව තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මගින් ප්‍රත්‍යක්ෂ වේ. විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා හෝ වෙනත් කිසිවක් පිළිගැනීමට චීනය සූදානම් නොමැති බවත් ප්‍රමිතිය සම්බන්ධයෙන් කිනම් ප්‍රශ්න පැවතියත් චීනය විසින් ලබා දෙන විස සහිත නාගරික කසල හෝ වෙනත් ඕනෑම ජරාවක් කාබනික පොහොර වශයෙන් මුදල් ගෙවා ලබා ගැනීමට දැන් ලංකාවට සිදු වී තිබේ.

රජරට වකුගඩු රෝගය ඇතුලු බොහෝ සෞඛ්‍යමය ප්‍රශ්නයන් වලට හේතුව වශයෙන් ආණ්ඩුව පෙන්වා දුන්නේ රසායනික පොහොර භාවිතාවයි. ඊට පිළියමක් වශයෙන්  කාබනික ගොවිතැනට යොමු වනවා යැයි කියමින් රසායනික පොහොර වලටත් වඩා පසටත් ජෛව පද්ධතියටත් හානිකර මෙන්ම බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රමාණවත් අස්වැන්නක් ගොවියාටද නොලැබෙන චීනයේ  නාගරික කසල අපේ ගොවියාට කාබනික පොහොර ලෙසින් මිලදී ගැනීමට සිදු වීම කෙතරම් නම් අභාග්‍යයක්ද?

කිසිදු ඉදිරි දැක්මකින් හෝ වැඩපිලිවලකින් තොරව ආණ්ඩුව රග දැක්වූ කාබනික වගා නාටකයේ ප්‍රතිපලයන් ලැබෙමින් පවතිනුයේ ඒ ආකාරයටය. රටපුරා පොහොර නැති කමින් ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ගොවියන් මහපාරට පොහොර ඉල්ලා අරගල කිරීමට ආණ්ඩුව විසින් තල්ලු කර දමා තිබේ. අනෙක් පැත්තෙන් පොහොර ප්‍රශ්නයේ ආරම්භයේ දීම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කරනු ලැබූ අනතුරු හැගවීම සත්‍යක් බවට පත් කරමින් විස පිරුණු නාගරික අපද්‍රව්‍යන් කාබනික පොහොර ලෙසින් ගෙන්වා නිමා නොවන මහා අර්බුදයක් ආණ්ඩුව අලුතින් නිර්මාණය කර තිබේ. එමෙන්ම පසුගිය දිනයක ගුවන් මගින් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබූ නැනෝ තාක්ෂණයෙන් යුක්ත දියර යූරියා පොහොර වල ඇත්ත තත්වය සම්බන්ධයෙන් රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පිළිගත් ප්‍රමුඛ පෙලේ සියලූම විද්වතුන් අනතුරු හඟවා තිබේ. පසුගිය දිනයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්යවරුන්  කිහිප දෙනෙක්ම, ගෙන්වනු ලැබූ දියර යූරියා පොහොර ලංකාවේ වගා බිම්වල යූරිය අවශ්‍යතාවයට කිසිම ආකාරයකින් සුදුසු නොවන බව විද්‍යාත්මක සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කර තිබෙනවා මාධ්‍ය මගින් දුටුවෙමි. මේ සියලු ප්‍රශ්න මගින් ආණ්ඩුව තව තවත් තහවුරු කරමින් සිටින්නේ කාබනික වගාව නම් මිරිඟුවකට මුවා වී ආණ්ඩුව හත්පොලේ ගාගෙන නිමා නොවන සහ ඛේදජනක පොහොර යුද්ධයක් සහ ගොවි අරගලයක් නිර්මාණය කර තිබෙන බවයි. ආණ්ඩුවේ කේවට්ටයන් මේ ආකාරයට ලංකාවේ කෘෂිකර්මාන්තය විෂයෙහි දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරනු ලැබුවද එහි වේදනා බර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී තිබෙන්නේ සුවහසක් වූ ලංකාවේ අසරණ ගොවි ප්‍රජාවටය. දැන්වත් ආණ්ඩුවේ මෝඩ සහ උද්දච්ච තීරණයන් පසෙක දමා ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලැබූ ලංකාවේ කෘෂි කර්මාන්තයේ මේ අර්බුදයට යථාර්ථවාදි පිළිතුරක් ලබා දීමට ආණ්ඩුවට බල කරන පුළුල් බහුජන අරගලයක් අවශ්‍ය වී තිබෙන බව අවසාන වශයෙන් ලියා තබමි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *