සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක භූමිකාව

වර්තමානයේ ලංකාවේ පාර්ලිමේන්තුව යනු ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවකි. එම පාර්ලිමේන්තුවේ විපක්ෂය තුළ ප්‍රමාණාත්මකව බහුතර බලයක් හිමි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා බව අපි දනිමු. ඒ අර්ථයෙන් මේ මොහොතේ ලංකාවේ ප්‍රධාන විකල්ප නායකයකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරන බව පිළිගත යුතුය. සාමාන්‍යයෙන් පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක ඊළග රාජ්‍ය නායකයා වශයෙන් සැලකෙන්නේ විපක්ෂ නායක වරයාය. රාජ්‍ය බලය අහිමි වුවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ විපක්ෂ නායකයාට හිමිවී තිබෙන භූමිකාව නොතකා හැරිය නොහැකි මෙන්ම ඉතා වැදගත් එකක්ය යන්න සාමාන්‍ය පිළිගැනීමයි.

       මේ සියලු තත්වයන් තුළ ලංකාවේ වර්තමාන විපක්ෂ නායකයාගේ දේශපාලන භූමිකාව සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සජිත් ප්‍රේමදාස යන පුද්ගලයා පිළිබදව සාකච්ඡාවකට වඩා මේ මොහොතේ ලාංකීය දේශපාලනය සහ රටේ අනාගත දේශපාලන අපේක්ෂාවන් සම්බන්ධ සාකච්ඡාවක් බව අපගේ විශ්වාසයයි. සජිත් ප්‍රේමදාස යන පුද්ගල චරිතය සම්බන්ධයෙන් පෞද්ගලික අප්‍රසාදයක් හෝ විශේෂ ලැදියාවක් අපට නොමැති වුවත් සජිත් ප්‍රේමදාස යන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ දේශපාලන භාවිතාව සහ භූමිකාව පිළිබදව වන සංවාදය නොතකා හැරිය නොහැකි එකක්ය  යන්න අපගේ විශ්වසයයි.

     ලංකාවේ රාජපක්ෂ පවුල මත පදනම් වූ දේශපාලන බල කදවුරෙන් බාහිර දේශපාලනය සම්බන්ධයෙන් සැලකීමේදී මෑත ඉතිහාසයේ වැදගත් සංසිද්ධීන් සහ චලනයන් ගණනාවක්ම සිදු වූ බව හඳුනා ගැනීමට පුළුවන. ඒ අතර සාම්ප්‍රධායික  එක්සත් ජාතික පක්ෂයේ ඛන්ඩනය වැදගත්ම සිදුවීමක් වශයෙන් හැදින්විය හැකිය. ලාංකීය දේශපාලනයේ නිදහසින් පසු ඉතිහාසයේ වඩාත් පැරණිතම සහ විශාලතම ධනේෂ්වර දේශපාලන පක්ෂය වශයෙන් අවිවාදිතව හදුන්වා දිය හැකි එක්සත් ජාතික පක්ෂය බෝඩ් ලෑලී දේශපාලන පක්ෂයට සීමා කරමින් මැතිවරණ ඉතිහාසයේ එම පක්ෂය ලැබූ දරුණුතම පරාජය පසුගිය මහමැතිවරණයේදී ලැබූ බව අපි දනිමු. ‌ෙ‍ඓතිහාසිකව එජාපයේ යුගයක අවසානය එලෙස සිදු වූ බව මේ මොහොතේ කිව නොහැක්කේ එජාප දේශපාලන ගර්භාෂයේ බිහිවූ දරුවා වන සමගි ජන බලවේගය ලෙසින් වෙනත් නමකින් එජාපය තිබුනට වඩා කුඩා දේශපාලන පක්ෂයක් වශයෙන් නැවත උපත ලබා තිබෙන නිසාය. එනම් සමගි ජනබලවේගය යනු එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණුවර හැරුණු කොට වෙනත් යමක් නොවන බව කීමට බොහෝ කරුණු තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම, එම පාක්ෂිකයන් සහ නායකයින් ඇතුළු සියල්ල සම්පූර්ණයෙන්ම පාහේ සමගි ජනබලවේගය ලෙසින් වෙනත් නමකින් කලඑලි බැස තිබෙනවා හැරුණු කොට දැනෙන දේශපාලන වෙනසක් එම බලවේගයෙන් තවම අපට පෙනී ගොස් නොමැත. සිදු වී තිබෙන එකම දෙය බව පෙනෙන්නේ එජාප බලකදවුරට රට තුළ පැවති ඡන්ද පදනමේ පැහැදිලි අඩුවක් සිදුවීම බව බැලූ බැල්මට පෙනේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී සමගි ජනබලවේගයේ උපත පිළිබදව සාකච්ඡා කිරීම අනිවාර්ය වේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වයේ අඛණ්ඩව රැදී සිටිබව අපි දනිමු. එම වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන පක්ෂ නායකත්ව භූමිකාව තුළ පාක්ෂිකයා තුළ යම් අසහනයක් වර්ධනය වූ බව අපි දුටුවෙමු. මේ තත්වය තුළ අවස්ථා කිහිපයකදීම එජාපයේ ජනප්‍රිය සහ ප්‍රමුඛ පෙලේ නායකයින් කිහිපදෙනෙක්ම පක්ෂය හැරගිය අතර පක්ෂ ප්‍රතිසංධානයක් පිළිබද දශකයකට ආසන්න කාලයක් පුරාවට නොනිමි සංවාදයක් සහ විවාදයක් එම පක්ෂය තුළ පැවති බව අපට මතකය.

     සජිත් ප්‍රේමදාස මහතා තරුණ දේශපාලකයෙක් වශයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කලේ ලංකාවේ දුෂ්කර දිස්ත්‍රික්කයක් වශයෙන් හදුනාගත හැකි හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. ඒ මහතා එක්තරා යුගයක එජාපයේ ජන කාන්ත සහ තමන්ටම ආවේණික දේශපාලන පෞරුෂයක් ගොඩ නගාගෙන තිබුණ ජනප්‍රියත්වය  මෙන්ම ජනඅප්‍රසාදයත්  එකලෙස හිමකරගත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතනුවන් වීම තුළ ඔහු දේශපාලනය අරඹන විටදීම ඔහුට විශාල අවධානයක් හිමි වූ බව පැහැදිලිවම පෙනෙන්ට තිබුණි. ලංකාවේ දේශපාලන නායකයෙක් වශයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා පිලිබදව සැලකීමේදී එය වෙනම කථා කලයුතු මාතෘකාවක් බව සිතමි. ඔහුගේ උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වයන් සහ විශේෂයෙන්ම 88,89 යුගයේ රාජ්‍ය මර්ධනය සහ දේශපාලන මිනී මැරීම් සම්බන්ධ ලෙහෙසියෙන් සෝදා පිරිසිදු කලනොහැකි ලේ පැල්ලම් සහ කළු පැල්ලම් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිරූපය පුරාවටම තැවරී තිබෙන බව ඉතා පැහැදිලි සත්‍යයකි. කෙසේ වෙතත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට ඔහුටම ආවේණික වූ ඉතා ආකර්ෂණීය දේශපාලන ව්‍යාපෘතියක් පැවති බවද අනිවාර්යෙන්ම පිලිගත යුතුය. ගම් උදාව, ජනසවිය වැනි පහල පංතියේ ලංකාවේ පීඩිත සමාජ ස්ථරය ආමන්ත්‍රණය කරන විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කල ප්‍රේමදාස ජනාධිපතිවරයා එම ව්‍යාපෘතීන්ට සමගාමීව ඉතා නිර්මාණශීලි ප්‍රචාරණ ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් ඔහු‌ගේ දේශපාලන පෞරුෂය රටේ පීඩිත සමාජ ස්ථරය තුළ ස්ථාපිත කරගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. රටේ දිළිදුකම පිටුදැකීම සදහා ඇරඹු ජනසවිය ව්‍යාපාරයත් නිවාස ප්‍රශ්නය වෙනුවෙන් ඇරඹු ගම් උදාව ව්‍යාපාරයත් එම සමාජ ප්‍රශ්න වලට තිරසාර විසදුම් ලබාදෙනවා වෙනුවට එම ප්‍රශ්න තවත් උග්‍රකල බව  මැදහත්ව සලකා බැලුව හොත් පෙනි යයි. නමුත් එම ව්‍යාපෘතීන් හරහා ප්‍රේමදාස ජනාධිපතිවරයා  ගොඩනගාගත් ජනකාන්තභාවය ඔහුගේ දේශපාලන ජීවිතය විෂයෙහි වටිනා ආයෝජනයක් වූ බව කිවහැක. ලංකාවේ හතරදිග්භාගයේ පීඩිත මිනිසුන්ගේ නියෝජිතයෙක් වශයෙන් වන ප්‍රතිරූපයක් එම ව්‍යාපෘතීන් හරහා ප්‍රේමදාස ජනාධිපතිවරයාට හිමි වූ අතර අ‌පේ අදහස අනුව එය පැහැදිලි ඇස් බැන්දුමක් වුවත් ප්‍රේමදාස මහතා‌ගේ ශක්තිමත් සහ නිර්මාණශීලි ප්‍රචාරණ ව්‍යාපාරය විසින් ඒ මහතා මෑත ඉතිහාසයේ බිහිවූ පීඩිත ජනතාවගේ නායකයෙක් වශයෙන් ලාංකීය ජනමනස තුළ ස්ථාපිත කරනු ලැබූ බව කිව හැකිය.  

       ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අකල් මරණයෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඔහුගේ එකම පුතනුවන් වන සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට ප්‍රවේශ වන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සංකේතීය දේශපාලන ප්‍රාග්ධනයේ එකම උරුමක්කරුවා වශයෙනි. එම නිසා ඔහුට ආරම්භයේ පටන්ම දේශපාලන ලෝකය තුල අවධානයක් හිමි වූයේ නිරායාසයෙනි. ආරම්භයේ පටන් පියාගෙන් හිමි වූ පීඩිත පංතියේ හිතවතාගේ භූමිකාවට පණදුන් සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට කේන්ද්‍ර කරගත් ප්‍රාදේශීය දේශපාලකයෙක් ලෙසින් එජාපය තුල ඉස්මතු වූ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ හම්බන්තොට දේශපාලනයේ ප්‍රධාන සහ එකම ක්‍රමවේදය වූයේ විවිධ භාණ්ඩ සහ මූල්‍ය ආධාරයන් දුගී ප්‍රජාව වෙත බෙදා දෙමින් ජනප්‍රියත්වයක් ගොඩ නංවා ගැනීමය. ආරම්භයේ පටන් එජාපයේ නායකයින් පවා සජිත්ගේ මේ දේශපාලනය සීනි බෝල දේශපාලනය ලෙසින් හැදින් වූ බව අපට මතකය. සැබැවින්ම සජිත්ගේ එම දේශපාලනය කිසිදු විවාදයකින් තොරව සීනිබෝල දේශපාලනයක් විය. සාමාන්‍යයෙන් සුභසාධන වාදය සහ දේශපාලන භාවිතාව අතර පැහැදිලි වෙනසක් වර්තමාන ලෝකය හදුනාගන්නා අතර සජිත් ප්‍රේමදාස මහතාගේ හම්බන්තොට දේශපාලනය අඩුම තරමින් සුභසාධන වාදයක්වත්  නොවූ බව දේශපාලනය ගැන සහ සජිත්ගේ අතීත භාවිතාව ගැන දන්නා ඕනෑම අයෙකු පිලිගන්නා යථාර්ථයයි. කොටින්ම එය බඩු භාණ්ඩ බෙදීමම කේන්ද්‍රකරගත් ව්‍යාපෘතියක් වූ අතර දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල මැතිවරණයක් ආශ්‍රිතව ඡන්ද අපේක්ෂකයන් මේ ආකාරයට බඩු භාණ්ඩ සහ මිල මුදල් බෙදා දීම තහනම් කර තිබෙන්නේ එය ඍජුවම ඡන්ද දායකයින්ට අල්ලස් ලබා දෙන නොමනා මෙන්ම මැතිවරණ නීතියට අනුව අනීතික ක්‍රියාවක්ද වශයෙන් සලකන නිසාය. කෙසේ වෙතත් එවැනි හුදු  ප්‍රචාරණවාදී නොමේරු දේශපාලනයක හම්බන්තොට පදනම් කරගෙන යෙදී සිටි සජිත් ප්‍රේමදාසට ජාතික වශයෙන් යම් ජනප්‍රියත්වයක් පැවතියේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයා වශයෙන්ම පමණි. නමුත් ලංකාවේ නොදියුණුතම සහ ඉතා පීඩිත මිනිසුන් ජීවත් වූ දුෂ්කර දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට මිනිසුන් අතර සජිත්ගේ මේ බඩු බෙදන දේශපාලනය යම් තරමකින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ආදී සියලු සාධක සමග ජනප්‍රිය වූ බව පිලිගත යුතුය.

                   සජිත් ප්‍රේමදාස මහතා ඒ ආකාරයට හම්බන්තොට දේශපාලනය තුල ස්ථාපිත වූවද ජාතික දේශපාලන නායකයෙකු වශයෙන් හෙතෙම මෑතක් වන තුරුම කිසිදු කාර්යභාරයක් සිදු නොකල බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් ඔහුගේ සුභසාධන වාදී ව්‍යාපෘතිය “සසුනට අරුණ” වැනි විවිධ ලේබල් යටතේ හම්බන්තොටින් රටේ අනෙක් ප්‍රදේශ වලට ව්‍යාප්ත කිරීමටත් ඒ තුලින් ජාතික නායකත්ව ප්‍රතිරූපයක් ගොඩ නැගීම උදෙසා ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය උත්සහ කරමින් තිබෙන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් රටේ කිසිදු සමාජ, දේශපාලනික, ආර්ථික කරුණක් සම්බන්ධයෙන් ජාතික නායකයෙකු වශයෙන් තමන්ගේ ස්ථාවරය හෝ වැඩ පිළිවෙල මේ දක්වා මොනම ආකාරයකින්වත් ඉදිරිපත් කිරීමට වර්තමාන විපක්ෂ නායක ධූරයද දරණ සජිත් ප්‍රේමදාස මහතා අපොහොසත් වූ බව පැහැදිලිවම පෙන්වා දිමට පුළුවන.

        මේ වන විට ලංකාවේ අධිපති දේශපාලන මතය වන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයබවත් එම මතවාදයේ එකම හිමිකරුවා බවට රාජපක්ෂ පවුල පත්වී තිබෙන බවත් කිසිදු විවාදයකින් තොරව පිලිගත හැක. රාජපක්ෂ පවුලෙන් භාහිර වෙනත් ජාතික නායකත්වයක් බිහිවන්නේ නම් මේ මතවාදයට විකල්ප මතවාදී පදනමක් ගොඩනැගිය යුතු බවට කිසිදු විවාදයක් තිබිය නොහැක. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන දෘෂ්ඨිවාදය සහ මුලින්ම ගොඩ නැගී තබෙන්නේ පාලක රජපක්ෂ පවුලේ දේශපාලන දෘෂ්ඨිවාදය වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම්වය. ඒ බව ඒ මහතාගේ සමස්ත දේශපාලන භාවිතාව මගින් ඕනෑ තරම් උදාහරණ ගෙන හැර දැක්විය හැකි අතර කොටින්ම සජිත් ප්‍රේමදාස මහතා වුවත් එය ප්‍රසිද්ධියේ පිලිගනු ඇතැයි සිතමි. ඉදින් රාජපක්ෂලාට වඩා හොදට රාජපක්ෂ මතවාදය වෙනුවෙන් පෙනි සිටීමට උත්සහ කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාගේ දේශපාලනය රාජපක්ෂ දේශපාලනයේම ඊළග දිගුව බව තේරුම් ගැනීමට දේශපාලනය ගැන මහ ගැඹුරු දැනුමක් අවශ්‍ය නොවන බව අපේ අදහසයි. සමගි ජනබලවේගයේ මතවාදීමය වශයෙන් යම් හෝ ස්ථාවරයක් දරණ චම්පික රණවක මහතාගේ දේශපාලනය, සජිත්ගේ දේශපාලනය සමග සමපාත කල නොහැකි බවට දැන් සෑම අතින්ම සංඥා ලැබී තිබේ. එය වෙනම සාකච්ඡා කලයුතු මාතෘකාවක් වන අතර කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ සීනිබෝල බොළද ළදරු භාවිතාව හැරුණු විට ඔහුගේ පසුබිමේ කිසිවක් නොමැති බව එය තවදුරටත් තහවුරු කරනු ලබයි.

    ප්‍රේමදාස මහතා ජාතික නායකයෙක් වශයෙන් අවසාන කාලයේ යම් තරමකින් හෝ මතු වූයේ එජාප නායකත්ව අර්බුධය හරහාය. ඔහුගේ අනුගාමිකයින් සිතා සිටියේ එජාප නායක රනිල් පලවා හැර සජිත් නායකත්වයට පත්කර ගතහොත් පක්ෂය දිනවිය හැකි වන බවය. යම් කාලයක් තිස්සේ මේ නායකත්ව සටන එජාපය තුළ පැවති අතර එහි කූටප්ප්‍රාප්තිය වූයේ ගෙවුන ජනාධිපතිවරනයේදී එජාප අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතා විසින් සටන් කර ලබා ගැනීමය. හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් ඔහු කල දේශපාලනය තුළ ඔහු ගොඩනගාගත් පීඩිත මිනිසුන්ගේ නියෝජිතයෙක්ය යන ප්‍රතිරූපය මෙන්ම ජනාධිපති ප්‍රේමදාස සාධකය නිසා සජිත්ට ජනාධිපතිවරණයේදී ආකර්ෂණයක් ලැබෙණු ඇතැයි විශ්වාස කලේ ඔහුගේ අනුගාමිකයින් පමණක් නොව වික්ටර් අයිවන් වැනි දේශපාලන මතධාරීන්ද ජනාධිපතිවරණය ආශ්‍රිතව එම අදහස පලකරනු ලැබීය. මැතිවරණයෙන් ජයග්‍රහණය නොකලත් එවැනි ජනතා ආකර්ෂණයක් මැතිවරණ ප්‍රතිපල වලින් පෙන්වනවා වෙනුවට සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහයටත් වඩා අන්ත පරාජයක් මැතිවරණයෙන් ලැබීම තුළින් තහවුරු වූයේ රටේ ගැමි පීඩිත ජනතාව තුල වුවත් පෙන්වන තරම් සුවිශේෂ ජනකාන්ත භාවයක් ඔහුගේ පියාට මෙන් සජිත් ප්‍රේමදාස මහතාට නොවූ බවය.

        සජිත් ප්‍රේමදාස ගෙවුණු රජයේ ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කල සමයේ ඔහුගේ ප්‍රායෝගික දේශපාලන දැක්ම සහ කාර්යසූරත්වය සම්බන්ධයෙන් ඕනෑ තරම් උදාහරණ සොයා ගතහැකිය. ඇමතිවරයෙක් වශයෙන් සිය ආධාර කරුවන්ට නීති විරෝධි ආකාරයට දහස් ගණනින් රාජ්‍ය ආයතන වල පත්වීම් ලබා දෙමින් සහ නූතන යුගයට නොගැලපෙන පෙට්ටි ගෙවල් තැන තැන අවිධිමත් ලෙස ඉදිකර බෙදා දෙමින් මහජනතාව දෙස යාචකයින් ලෙස බලා යමක් ලබා දීම හැරුණු කොට ඉහල දේශපාලන දැක්මක් හෝ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ජාතික නායකයෙකු වශයෙන් මොනම ආකාරයේ හෝ රාජතාන්ත්‍රික භාවයක් තමන්ට නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා ඉතා හොදින් ඔප්පු කර තිබේ. ඒ මහතා සම්බන්ධයෙන් වන ජනප්‍රිය අදහස වන උසනම් සිකුරිටි මිටි නම් කම්කරු යන දැක්ම ඔහු සම්බන්ධයෙන් අතිශෝක්තියක් නොව සැබවින්ම ඔහුගේ දැක්මේ පවතින දුප්පත් කමේ ප්‍රමාණය ඔහුගේම වචනයෙන් රට හමුවේ  හෙළිදරවු කිරීමක් වශයෙන් අපට සිතේ.

     මේ සියලු කරුණු ‍ මත අර්බුදයේ කරවටක් ගිලී තිබෙන ශ්‍රීලංකාවේ ඊළග ජාතික නායකයා වශයෙන් අපේ  ප්‍රධාන විපක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා අංශුමාත්‍රයක් වත් මොනම ආකාරයේ හෝ සුදුසුකමක් සපුරා නොමැති බව අපේ පැහැදිලි කියවීමයි. අප එසේ ප්‍රකාශ කරන්නේ ඒ මහතා පිලිබදව වන පෞද්ගලික තරහක් නිසා නොව ඔහු විසින්ම ඔහුගේ දේශපාලන භාවිතාව විසින් මේ පොලොවේ ගෙවුන දශක දෙක තුල ඔප්පු කරනු ලැබූ යථාර්ථය තුළ හිදිමින් බව කිව යුතුය. කෙසේ වෙතත් ලංකාවේ තට්ටුමාරු දේශපාලන ක්‍රමය හේතුවෙන් අවාසනාවකට රටේ ඊළග නායකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වුවහොත් ජනතාවාදී විපක්ෂ බලවේගය වෙත රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමට සිදුකල දේශපාලන අරගලයම අලුත් වටයකින් ප්‍රේමදාසගේ ළදරු වලිප්පු දේශපාලනය පැරදවිමේ කාර්යභාරයට විතැන් කිරිමට සිදුවන බව අවසාන වශයෙන් ලියා තබමි.

සුදේශ් ප්‍රසන්න ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *