ඩොලර් යුද්ධය

ලෝකයම කොවිඩ් වසංගතය නිසා ආර්ථික පීඩනයකට සහ පසුබෑමකට ලක් වී තිබෙන මොහොතක රටක් වශයෙන් අපි වසංගතයේ අර්බුදයෙන් දරුණු ලෙස බැට කන ගමන්ම ඊටත් වඩා දරුණු ආර්ථික අර්බුදයක එළිපත්තේ සිටගෙන සිටිමු. නිදහසින් පසුව ගෙවුන දශක හතක ඉතිහාසයේ අවසාන ශේෂ පත්‍රය වශයෙන් අපට උරුම වී තිබෙන්නේ ඩොලර් මන්දපෝෂණයෙන් හුස්ම හිරවී පණ අදින ජාතික ආර්ථිකය නම් වූ මරණාසන්න රෝගියාය. මේ අර්බුදය මේ මොහොතේ අපි හිතනවාට වඩා බිහිසුණු සහ දැවැන්ත ඛේදවාචකයක් ජාතික ආර්ථිකයට පමණක් නොව රටේ දේශපාලන, සමාජ, සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයකටම සිදු කිරීමට නියමිත බව අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදු වී තිබෙන යථාර්ථයයි.

මුලින් මේ අර්බුදයේ ස්වාභාවය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත යුතුය. ආර්ථික විද්‍යාව පිළිබඳව උසස් පෙළ පන්තිය මට්ටමේ අවම දැනුමක් තිබෙන ඕනෑම අයෙක් මේ ඩොලර් මන්දපෝෂණයේ කතාව ඉතා හොඳින් දනිති. ආර්ථික විද්‍යාත්මක පැහැදිලි  කිරීමකින් පරිභාහිරව ඉතාම සරලව මේ ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි කරන්නේ නම් කිව හැක්කේ අපේ ජාතික ආර්ථිකය බංකොලොත් වී තිබෙන බවයි. බංකොලොත් වීම යන අදහස ගැඹුරු පැහැදිලි කිරීමකින් තොරව ඕනෑම දැනුම් මට්ටමක සිටින ගමේ ගොඩේ මිනිසෙකුට වුවත් ඉතාම හොඳින් තේරෙන අදහසකි. එනම් ගමේ කඩයක් බංකොලොත් වනවා යැයි කියන්නේ එම ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි ආකාරයේ ආර්ථික බිද වැටීමක් සිදුවී තිබෙනවාය යන්න ඕනෑම ගැමියෙක් දනියි. විදේශ විනිමය අර්බුදය  සහ  ගෙවුම් ශේෂ අර්බුදය වැනි වූ  ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට ප්‍රථමයෙන් කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් ලංකාව මේ මොහොතේ ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබේ.

ඉතා අප්‍රසන්න සහ කටුක සත්‍ය සහ යථාර්ථය වන්නේ අපේ ජාතික ආර්ථිකය මේ මොහොතේ තිබෙන්නේ පණ අදින මරණාසන්න රෝගියෙකුගේ තත්වයේ බවයි. කොවිඩ් වසංගතය විසින් ඇති කරනු ලැබූ දැවැන්ත පසුබෑම සමස්ථ ලෝකයේම රටවල ආර්ථිකය සඳහා දැවැන්ත බලපෑමක් සිදු කරනු ලැබුවද ලංකාවේ වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ හේතුව කොවිඩ් වසංගත තත්වය නොවන බව පැහැදිලිව කිව යුතුය. කොවිඩ් වසංගතය නිසා ඇති වූ ආර්ථික ඇද වැටීම වේගවත් කිරීම පමණක් සිදුකල බවත් අපේ ජාතික ආර්ථිකය මෙවැනි දැවැන්ත අවදානම් තත්වයකට පත්වූයේ කොවිඩ් වසංගත තත්වය ඇතිවීමට පෙර බවත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන ඕනෑම අයෙක් දනියි.

අප ඉතා හොඳින් දන්නා ආකාරයට නිදහසින් පසුව ගෙවුන ඉතිහාසය තුළ ලංකාවේ පාලනය භාරව සිටි දූෂිත සහ පාදඩ දේශපාලන පන්තිය තරගයට මෙන් අපේ ජාතික ආර්ථිකයේ මේ මිනී වල කපමින් සිටි බව නොරහසකි. සැබවින්ම දැන් කිව හැක්කේ මළකද වල දැමීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගැඹුරට ඔවුන් මිනී වල කපා තිබෙන බවය. සාමාන්‍යයෙන් අපි ජාතියක් වශයෙන් අපනයනය කරන්නේ සුළු සහ ප්‍රාථමික භාණ්ඩයන්ය යන්න අපි දනිමු. වැවිලි බෝග වලට අමතරව ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය යම් තරමකින් හෝ අපිට විදේශ විනිමය උත්පාදනය කරනු ලැබූ කර්මාන්තයන්ය. මේ කර්මාන්තයන් වලින් උපයන විදේශ විනිමයට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් අපේ අපනයනයන් සඳහා අපිට දැරීමට සිදු වී තිබේ. යම් තරමකින් හෝ මේ ආනයන අපනයන පරතරයට සහනයක් සැපයුවේ විදේශගත ශ්‍රමිකයින් විසින් ජාතික ආර්ථිකයට උපයා දෙනු ලැබූ විදේශ විනිමයයි. ගෙවුන ඉතිහාසය පුරාවට මෙවැනි විදේශ විනිමය අර්බුදයක සිර වී සිටි අපට ඉන් ගැලවීම සඳහා වන ආර්ථික වැඩපිළිවෙළක් යෝජනා කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන තන්ත්‍රයට නොහැකි වූ බව අමුතුවෙන් කිවයුතු නැත. අපනයනයන් දිරිගන්වනවා වෙනුවට ප්‍රාඩෝ, බෙන්ස් වැනි නාස්තිකාර සුඛෝපභෝගී භාණ්ඩ සඳහා උපයාගත් විදේශ විනිමයත් දියකර හැරීමට මේ නරුම පාලක පන්තිය කටයුතු කල බව අප හොඳින්ම දනිමු. මෙකී විෂම ආර්ථික ක්‍රියාකාරිත්වයේ දිගු කාලීන තාර්කික ප්‍රතිඵලයක් වශයෙන් විදේශ සංචිත සහමුලින්ම හිදී යෑමත් අපනයනයන් සිදු කිරීමට ඩොලර් හිගවීමත් නිසා මේ ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බව මේ සංකීර්ණ ක්‍රියාවලිය ඉතා කෙටියෙන් සහ සරලව පැහැදිලි කල හැකිය.

දැන් සිදු වී තිබෙන්නේ කුමක්ද? ඉදිරියට සිදු වීමට නියමිතව තිබෙන්නේ කුමක්ද? මේ මොහොතේ අපේ විශේෂ අවධානයට ලක්විය යුතු ප්‍රශ්න වන්නේ මේවාය. රටක් වශයෙන් අපේ ආදායමෙන් වැඩිම පංගුවක් වෙන් කිරීමට සිදු වී තිබෙන්නේ පසුගිය ආණ්ඩු මාරුවෙන් මාරුවට තරගයට මෙන් නාස්තිකාර ව්‍යාපෘති සඳහා  ලබා ගත් ණය සහ පොලිය ගෙවීමටය. මෙකී ණය වාරික අපි ගෙවිය යුතු වන්නේ රුපියල් වලින් නොව ඩොලර් වලිනි. ලෝක ආර්ථිකයත් සමග අපි ගනුදෙනු කරන සෑම විටම අපි විදේශ විනිමය වශයෙන් උපයාගෙන තිබෙන ඩොලර් අපට වියදම් කිරීමට සිදු වී තිබේ. මේ ආකාරයට ණය සහ පොළිය සඳහා ඩොලර් වියදම් කරනු ලැබූ විට අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමටවත් ප්‍රමාණවත් වන තරම් ඩොලර් අපේ ජාතික ආර්ථිකය සතුව නොමැත. ඩොලර් හිඟයේ කථාවේ ඉතාම සරල තේරුම වන්නේ එයයි.

වර්ථමානයේ කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවයේ කරවටක් ගිලී සිටියදී මිනිසුන්ට ඒ සියලු තත්වයන් නොතකමින් තෙල් මිල ඉහල දැමීමට සිදු වූ ඇත්ත හේතුව වන්නේ මෙයයි.  එපමණක් නොව කාබනික වගාව නම් වූ ඊනියා බෝඩ් ලෑල්ලට මුවා වී රජයට පොහොර ගෙන්වීම තහනම් කිරීමට සිදු වූයේද මේ හේතුව නිසාය. දැන් වසර දෙකක් පමණ ලංකාවට වාහන ගෙන්වන්නේ නැත්තේද මේ හේතුව නිසාය. මේ ආකාරයට මේ ප්‍රශ්නය එකිනෙක බැදුණු දම්වැලක් වශයෙන් එකිනෙකට සම්බන්ධ වී තිබේ.  සැබැවින්ම මේ මොහොතේ අපේ ආර්ථිකය තිබෙන්නේ දැවැන්ත යුද්ධයක් හමුවේ බව ඉතාම කෙටියෙන් මේ ප්‍රශ්නය පැහැදිලි කරනවා නම් කිව හැකිය.

මේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සහ විමර්ෂණයන් ආර්ථික විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබූවේ බොහෝ කලක පටන්ය. අපේ ආර්ථිකය බිද වැටීමට නියමිතව තිබෙන බවටත් ඒ සම්බන්ධයෙන් වහාම උපාය මාර්ගික ක්‍රියාමාර්ගයන් වෙත අවතීර්ණ විය යුතු බවටත් ආර්ථික විද්‍යාඥයින් විසින් අවධාරණයෙන් යුතුව පෙන්වා දෙමින් සිටියේ කොවිඩ් වසංගතය ඇරඹීමටත් බොහෝ පෙරය. නමුත් ඒ සියල්ල බීරී අලින්ට වීනා වාදනය කිරීමක් පමණක්ම විය. සියලු අනතුරු හැඟවීම් නොතකමින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රැකියා ලක්ෂයක් දෙනවා යැයි කියමින් රාජ්‍ය සේවය තව තවත් පුරවනු ලැබුවේ මෙවැනි බිහිසුණු තත්වයක් පවතින විටදීය. ආර්ථික විද්‍යාඥයින්ගේ සියලු අනතුරු හැඟවීම් වලට වඩා සිය අවස්ථාවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් මරණාසන්නව තිබුණ අපේ ආර්ථිකයේ ගෙල සිර කිරීමට මේ පාලකයින් කිසිසේත්ම පැකිලුනේ නැත. මෙහිදී දිගු කාලීන තත්වය පිළිබඳව සැලකීමේදී   රට මෙවැනි දරුණු ආර්ථික ප්‍රපාතයන් කරා තල්ලු කරනු ලැබුවේ මාරුවෙන් මාරුවට ගෙවුණු දශක හත තිස්සේම රට වැරදි ආර්ථික දිශාවකට කැදවාගෙන ගිය ආණ්ඩු විසිනි. එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් ආර්ථික අර්බුදයේ ගැඹුරුම තත්වයට පත් වීමෙන් පසුව සිදුකල අනතුරු හැඟවීම් පවා නෑසූ කන්ව සිටීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කල බව කිව හැක. ඒ අනුව මේ ප්‍රශ්නයෙන් පලා යෑමට හෝ ඇඟ බේරා ගැනීමට ගෙවුණ ආණ්ඩුවලටවත් වර්තමාන ආණ්ඩුවටවත් නොහැකි බව කිව යුතුය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පාලකයින් විසින් ඇති කල අර්බුදයේ පවු ගෙවීමට සිදු වී තිබෙන්නේ සමස්ත ලංකාවාසී පීඩිත මිනිසුන්ටය. ඒ සඳහා වන හොඳම උදාහරණය වන්නේ මුලු රටේම ජනතාවට වාහන ගෙන්වීම තහනම් කර තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමයි. මෙවැනි සංවේදී මොහොතක එමෙන්ම රටේ ජනතාවට වාහන ගෙන්වීම තහනම් කර තිබෙන තත්වයන් තුළදී පවා කිසිදු හිරිකිතයකින් තොරව මේ නරුම දේශපාලන පන්තිය තමන් සඳහා පමණක් ප්‍රාඩෝ ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබීය. මේ අනුව මේ ඩොලර් අර්බුදය නිසා ඉදිරියට සිදු වීමට නියමිත මහා ව්‍යසනයට මුහුණ දීමට නියමිතව තිබෙන්නේද මේ රටේ තැලෙන පොඩිවෙන සුවහසක් සාමාන්‍ය මිනිසුන් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ ව්‍යවසනයේ භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙන්නේ අනාගතයේදීය. ඒ සඳහා වන පෙර නිමිති දැන් දැන් සතර අතින්ම පහල වෙමින් තිබේ. ඉන්ධන මිල වැඩි කිරීමේ සිදුවීම පැමිණියේ මේ පෙරහැරේ කසකාරයා වශයෙනි. දැන් රට පුරා ගොවීන් පොහොර නැති කම නිසා වසංගත තත්වය පවා නොතකමින් වීදී බැස තිබේ. මේ සටන් සහ අසහනයන් ඉදිරියේ තව තවත් වේගයෙන් තිව්‍ර වෙමින් පවතී. මේ ප්‍රශ්නයේ ආරම්භය පමණි. ඉදිරියේදී තවතවත් ආනයනයන් සීමා කිරීමට සිදු වනු ඇත. රුපියලේ බිඳ වැටීම නිසා උද්ධමනය ඉහල ගොස් බඩු මිල තවතවත් අහස උසට නැගීම නොවැලැක්විය හැකි වනු ඇත. රජයේ සේවකයන්ට පඩි ගෙවීම පවා අපහසු වනු ඇත. මෑත ඉතිහාසයේ ග්‍රීසියේ සිදු වූ ආකාරයට අපේ ආර්ථිකය සහමුලින්ම බිද වැටී බංකොලොත් ජාතියක් බවට පත්වීමේ මාවතේ අපි ඉතා වේගයෙන් ගමන් කරමින් සිටින බව අකමැත්තෙන් වුවත් පිළිගත යුතු යථාර්ථයයි.

මේ තත්වය හමුවේ කයිවාරු ගසනවා සහ කාබනික වගාව වැනි ඇස්බැන්දුම් පෙන්වීමට උත්සහ කරනවා හැරුණු කොට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දැක්මක් සහිත කිසිදු වැඩපිළිවෙළක් යෝජනා කර නොමැත. කෙසේ වෙතත් අපි රටක් වශයෙන් මේ අභියෝගයට මේ මොහොතේ මුහුණ දිය යුතුව තිබේ. ප්‍රශ්නයේ සැබෑ යථාර්ථය තේරුම් ගෙන සංවිධිත ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටීම සහ අරගල කිරීමට මගහර යා නොහැකි වගකීමක් මේ නිමේෂයේ ලාංකීය දේශපාලනයේ ප්‍රගතිශීලී කදවුර වෙත පැවරී තිබෙන බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.

සුදේෂ් ජයවර්ධන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *