විකල්පයේ අභියෝගය

      මෙවර ජනාධිපතිවරණයේදී විවිධ දේශපාලන” සමාජ” සංස්කෘතික හේතුන්ගේ එකතුවක් වශයෙන් රාජපක්ෂ පවුල කෙන්ද්‍ර කරගත් පොහොට්ටු පක්ෂයට බලය හිමිවී තිබේ. එම ජයග්‍රහණය කොන්දේසි විරහිත පැහැදිලි බහුතරයකින් හිමිකරගත් ජයග්‍රහණයකි. පක්ෂ විපක්ෂ කිනම් දෙaශපාලන අදහස් දැරුවත් මේ මොහොතේ ලාංකීය දේශපාලනයේ” බහුතර ජනවර්ගය වන සිංහල” බෞද්ධ ප්‍රජාවගේ සාතිශය බහුතර කැමැත්තක් හිමිකර ගැනීමට රජපක්ෂ පවුල මත පදනම් වූ දේශපාලන බල කදවුර සමත් වී තිබේ. එහි කිසිදු විවාදයක් නොමැත. එමෙන්ම සුලු ජනවර්ගවල සාතිශය බහුතර කැමැත්ත හිමිකර ගැනීමට එජාපය සමත් වී තිබේ. ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක මත  ලංකාවේ සිංහල කතා කරන ජන වර්ගය සහ දෙමල කතා කරන ජනවර්ගය පැහැදිලි බෙදීමක් සනිටුහන් කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මෙය මේ මැතිවරණයට පෙර පැවති මැතිවරණ වලදීත් දැකිය හැකිවූ කරුණක් වන අතර මෙවර  ජනාධිපතිවරණයේදී එය නැවතත් තහවුරු  කර තිබේ.

       ප්‍රධාන පක්ෂ දෙකට ඡන්ද බෙදී ගිය ආකාරය සහ ඒ මගින් ලාංකේය දේශපාලනයේ මේ මොහොතේ චලනයන් පිලිබදව සකච්ඡා කිරීම පැහැදිලිවම වෙනම පළල් මාතෘකාවකි. එම සංවාදය පසුවට තබා ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලයෙන් විද්‍යාමාන වන ලාංකේය දේශපාලනයේ ඉරණම පිලිබදව කෙටි විමසුමක් සිදුකිරීමට මේ ලිපිය මගින් අපි අපේක්ෂා කරමු.

        ජනතා විමුක්ති පෙරමුණ මත පදනම් වූ ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වූ මහේෂ් සේනානායක අපගේ සංවාදය සදහා මේ මැතිවරණයේ විකල්ප අපේක්ෂකයන් වශයෙන් අපි සලකුණු කරමු.  එම දෙදෙනාට  විකල්ප අපේක්ෂකත්වය සදහා  සුජාත බවක් පවතීද යන්න සම්බන්ධයෙන් විවාදයක් පැවතියත් සියලු සීමාකම් සහිතව එම දෙදෙනා අවම තත්ත්වයන් යටතේ හෝ ක්‍රම විරෝධී දේශපාලන කදවුර නියෝජනය කල විකල්ප අපේක්ෂකයන් දෙදෙනා වශයෙන් අපි පිලිගත යුතුය.

ඉතාම කෙටියෙන්  මුලින්ම කිව හැක්කේ මේ විකල්ප  අපේක්ෂකයින් දෙදෙනාම මැතිවරණ දේශපාලනය තුල මෙම ඡන්ද ප්‍රතඵපලයෙන් ඉතා පැහැදිලි පරාජයක් ලබා ගෙන තිබෙන බවයි. අපේක්ෂකයින් දෙදෙනාටම හිමිවී තිබෙන්නේ ඡන්ද ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් පමණි.  ප්‍රතිශතයක් වශයෙන් 4%ටත් අඩු ප්‍රමාණයකි.

         මේ මැතිවරණයේදී මේ අපේක්ෂකයන් දෙදෙනා මෙතරම් අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම මගින් බොහෝ දේශපාලන පණිවිඩයන් ප්‍රදර්ශනය කරන බව අපි විශ්වස කරමු. නිදහසින් පසුව ගෙවුන දශක හතකට අධික කාලය මුලුල්ලේ තට්ටුමාරු ක්‍රමයට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක රාජ්‍ය පාලනයේ නිරතවීමත්, සමස්ත රාජ්‍ය තන්ත්‍රය පුරාවට විහිදී පැතිරී ගිය දූෂණය,අකාර්යක්ෂමතාවය, නාස්තිය ආදී සාධක නිසා සමස්ථ දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන ජනප්‍රිය මතවාදයක් සමාජයේ ඇති වී තිබුණි. එම මතවාදයට ආමන්ත්‍රණය කරමින් ප්‍රධාන ධාරාව ප්‍රතික්ෂේප කරන සහ නව සමාජ දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන යම් දේශපාලනික සාක්ෂරතාවයකින් යුක්ත මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද වලට ආමන්ත්‍රණය කිරීමටත්, ඒ මගින් ආරම්භක ප්‍රවේශයක් වශයෙන් හෝ යම් ජනතීරුවක් මැතිවරණයේ දී ආකර්ෂණය කර ගැනීමටත් මේ විකල්ප කදවුර යම් උත්සහයක් දරනු ලැබීය.

 ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ආකර්ෂණීය මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වූ බව සහ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල කැපවීමක් එම කණ්ඩායම දරනු ලැබූ බව පිලිගත යුතුය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් පරිභාහිර සිවිල් සමාජ නියෝජිතයින් නාමධාරී සමාජ ක්‍රියාකාරිකයින් සහ කලාකරුවන් ජාතික ජනබලවේගයේ මැතිවරණ වේදිකාව තුල සහ ප්‍රචාරක ව්‍යාපාර තුල යම් වැදගත් කාර්යභාර්ය ඉටු කරනු ලැබූ බව හොදින්ම ප්‍රදර්ශනය විය. 1982 පැවති ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීරගේ මැතිවරණ ව්‍යාපාරය වැනිම වූ ආකර්ෂණීය මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වීමට ජවීපේ මෙවරත්  කටයුතු කල බව කිව හැක. පලමු ජනාධිපතිවරණයේදී විජේවීර සම්බන්ධයෙන් පාක්ෂිකයින් තබා තිබූ ආකාරයේම දේශපාලන බලාපොරොත්තුවක් මෙවරද ජවිපේ පාක්ෂිකයින් තබා සිටියේය. විශේෂයෙන් 1982 ජනාධිපතිවරණයේදී මෙන්ම මේ ජනාධිපතිවරණයේදීත් ශ්‍රීලනිපය නියෝජනය කරන ඡන්ද බැංකු වෙන් සැළකිය යුතු ප්‍රමාණයක් කඩා ගැනීමට ජවිපෙට හැකිවෙතැයි ජවිපෙ විශ්වාස කල බව සහ ඒ වෙනුවෙන් කැප වූ බව හදුනාගත හැක. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබුණ තත්ත්වය තුල මැතිවරණයට ඉදිරිපත් වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. සිරිමාවෝ, අනුර වැනි ශ්‍රීලනිප නායකයින් මැතිවරණ ව්‍යාපාරයේදී කොබ්බෑකඩුවගෙ කකුලෙන් ඇද්ද බව ප්‍රසිද්ධ රහසකි. මේ දේශපාලන වාතාවරණය තුල සහ රෝහණ විජේවීරගේ විප්ලවීය ආකර්ෂණීය තරුණ නායකත්වයත් ඉතා දැවැන්ත සහ නිර්මාණශීලි ප්‍රචාරක ව්‍යාපාරයත් නිසා ජවිපේ  පාක්ෂිකයින් සිය නායකයාගේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් උද්දාමයෙන් යුතුව උණුසුම් බලාපොරොත්තු තබාගෙන සිටි බව එම මැතිවරණය සම්බන්ධයෙන් දන්නා කවුරුත් පිලිගනිති. මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව ජාතිය අමතා සිදුකරන කථාව රෝහණ විජේවීර විසින් කෙටුම්පත් කර තිබූ බව එකල ප්‍රකාශයට පත්විය.  නමුත් අවසානයේදි  ලැබුනු මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිව හැක්කේ කන්දක් විලිලා මීයෙක් වැදූ බව නොවේද?

පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂය නිර්මාණය කිරීමෙන් පසුව පවා ශ්‍රිලනිපයට ස්වකීය ඡන්ද බැංකුවේ අවසාන ශේෂය වශයෙන් ඡන්ද ලක්ෂ 15 ක් රැක ගැනීමට හැකිවිය. මෙවර ජනාධිපතිවරණයේදි  ශ්‍රිලනිපය ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදීමට තීරණය කිරීමත් සමග එම ඡන්ද ලක්ෂ පහලොවෙන් යම් සැලකිය යුතු ප්‍රමාණයක් විකල්ප දේශපාලනයක් සදහා ආකර්ෂණය කර ගැනීමේ ශක්‍යතාවයක්  පැවති බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.

එමෙන්ම අනුර කුමාර දිසානයක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන මොහොත වන විට ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය තුල ඉතා සක්‍රීය සහ ආකර්ෂණීයතම නායකයෙකු බවට පත් වී සිටි බව සත්‍යකි. විශේෂයෙන්ම රෝහණ විජේවීරගේ පැවති යම් යම් සීමාකම් සහ දුර්වලතාවයන් සමග සසදද්දී අනුර කුමාර දිසානයක මහතා ලංකාවේ දේශපාලනය පිලිබද විශිෂ්ඨ දැක්මකින් යුතු අතිශය ආකර්ෂණීය විකල්ප දේශපාලන නායකයා වූ බව පිලිගත යුතු සත්‍යකි. එම සියලු තත්වයන් තුල අවම වශයෙන් මෙවර ජාතික ජනබලවේගයට ඡන්ද ලක්ෂ 10 ක ප්‍රමාණය පහසුවෙන් ලබා ගත හැකි බවට පෙනෙන්නට තිබුණි.

   මහේෂ් සේනානායක මහතා නියෝජනය කල ජාතික ජනතා ව්‍යාපාරය තුල දීප ව්‍යාප්ත මට්ටමේ ක්‍රියාකාරිත්වයක් සහිත සර්වෝදය ව්‍යාපාරයද විය.  පවතින සම්ප්‍රධායික අකාර්යක්ෂම සහ දූෂිත දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ සටන් පාඨය පෙරටු කරගෙන ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා වූ මහෙෂ් සේනානායක මහතා මිලිටරි නායකයෙකු වුවත් සිවිල් දේශපාලන නායකයෙකු වශයෙන් ක්‍රමයෙන් රූපාන්තරණය වෙමින් පැවති බව පෙනුනි. ශක්තිමත් සහ ආකර්ෂණීය ප්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ජාතික ජනතා ව්‍යාපාරය අපොහොසත් විය. නමුත් විකල්පයක් අක්පේෂා කරන, විවිධ හේතු නිසා ජවිපේ ප්‍රතික්ෂේප කරන දේශපාලන සාක්ෂර තාවයකින් යුක්ත පාවෙන ඡන්ද පදනමින් අවම වශයෙන් ඡන්ද ලක්ෂයේ සීමාව වත් ඉක්මවා යාමට මහේෂ් සේනානායක මහතා සමත් වෙතැයි විශ්වාස කල හැකි තත්වයක් මැතිවරණ ව්‍යාපාරය තුල පෙනෙන්නට තිබුණි.

             ජාතික දේශපාලනයේ තීරණාත්මක මැතිවරණය ජනාධිපතිවරණය වීම තුල සමස්ථ රටවැසියාම ප්‍රධාන බලකදවුරු දෙක වටා පෙලගැසීමේ යථාර්තය තුල ජනාධිපතිවරණයකදී වෙනත් අපේක්ෂකයෙකුට ඡන්ද රැස් කිරීමේ පැහැදිලි අභියෝගයක් පැවති බව සත්‍යකි. නමුත් වෙනසක් සම්බන්ධව බලාපොරොත්තු දල්වමින්, විකල්ප අපේක්ෂාව වූ මේ අපේක්ෂකයන් සහ ඔවුන් නියෝජනය කල දේශපාලන ව්‍යාපාර මේ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වන විටම එම යථාර්තය හොදින් දැන සිටියේය. එම ව්‍යාපාර මේ මොහොතේ මේ මැතිවරණයට තරග කිරීම තුල ප්‍රදාන ප්‍රවාහයෙන් පරිභාහිර විකල්ප දේශපාලන කදවුර ප්‍රමාණාත්මක වශයෙන් සහ ගුණාත්මක වශයෙන් ශක්තිමත් කිරීමේ කාර්ය භාර්ය ඔවුන් වෙත පැවරී තිබුණි. සැබැවින්ම ලාංකේය දේශපාලන පොලව නිර්මාණශීලී විකල්ප දේශපාලනයක් ඉල්ලා සිටින බව යථාර්තයකි.   

කෙසේ වෙතත් මෙවර විකල්පය පිලිබදව දලවා සිටි නැවුම් බලාපොරොත්තු බොදවී ගොස් තිබේ. තමුන්ට පාර්ලිමේන්තුව තුල ලැබෙන මන්ත්‍රීධූර  කිහිපයට පත්වන ජවිපෙ නායකයින් විසින්, ආකර්ෂණීය විපක්ෂ මන්ත්‍රී භූමිකාවක් පණපොවමින් ජාතික දේශපාලනය තුල අවධානයක් ලබා ගැනීමට 1994 න් පසුව සමත් වී තිබේ. ජවිපේ පාර්ලිමේන්තු භූමිකාව දශක තුනකට ආසන්න වුවත් එම සීමාව ඉක්මවා යාමට  තවමත් ජවිපේ ස්වකීය ඡන්ද පදනමින් පරිණතවී නොමැති බව මේ මැතිවරණ ප්‍රතිඵලය සාක්ෂි දරයි.  සිවිල් සමාජය ලංකාවේ බල දේශපාලනයට අවතීර්ණ වනවා නම් ඔවුන්ට හුරුපුරුදු සටන් පාඨ හා සංවාද සාකච්ඡා වලින් පරිභාහිර විශාල දේශපාලනික වැඩ කොටසක් සිදු කල යුතු බව මහේෂ් සේනානායකගේ මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්වා දී තිබේ. එයින් අදහස් වන්නේ විකල්පයක් අවශ්‍ය නැති බව නොවේ. නමුත් මේ දේශපාලන යථාර්තය මේ දේශපාලන බලවේගයන් විසින් නිහතමානීව තෙරුම් ගෙන ස්වකීය දේශපාලන ක්‍රියාකාරිත්වය වෙනස් කර නොගන්නා තාක් දුරට මේ ප්‍රතිඵලයෙන් එහා බලාපොරොත්තු තබා ගැනීම සිහිනයක් පමණි.   


                                                                        සුදේශ් ප්‍රසන්න ජයවර්ධන  

Please follow and like us:

1 thought on “විකල්පයේ අභියෝගය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *