මහ මැතිවරණය නිමා වී තිබේ. මෙය ලියන මොහොත වන විට ප්‍රතිපල නිකුත් වී නොමැති නිසා ඡන්ද ප්‍රතිපල පිළිබඳව නිශ්චිතවම යමක් අපි තවම දන්නේ නැත. නමුත් පොහොට්ටු පක්ෂය ජයග්‍රහණය කර තිබෙන්නට තිබෙන ඉඩ බොහෝ වැඩි බව අපේ විශ්වාසයයි.
මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සමයේ එළිදැක් වූ ඉරාජ්ගේ වීඩියෝව නිසා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ජවිපාවුන් ලෙසින් නාමකරණයක් ලැබී තිබේ. අද අපි කෙටි සටහනක් තබන්නේ මේ ජවිපාවුන් ගැනයි.
මෙවර මැතිවරණයෙන් ජවිපාවුන් කී දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ දැයි අපි නොදනිමු. නමුත් මන්ත්‍රී ආසන දහයකට ආසන්න ගණනක්වත් ලබා ගැනීමට ඔවුන් සමත් වෙතොත් එය ජයග්‍රහණයකි. ලංකාවේ සුළු ජාතික සහ ප්‍රාදේශීය අනන්‍යතාවයකින් තොරව ප්‍රධාන දේශපාලන ප්‍රවාහනය තුළ මැතිවරණ දේශපාලනය තුළ විකල්ප දේශපාලනය නියෝජනය කරන්නේ ජවිපාවුන්ය යන්න පිළිගත යුතු සත්‍යවේ. ජවිපේ සම්බන්ධයෙන් බොහෝ අඩු ලුහුඩුකම් විවේචන සහ චෝදනා බොහෝ ප්‍රමාණයක් තිබේ. ඒ කෙසේ වෙතත් එම සියලු සීමාකම් මධ්‍යයේ ජවිපාවුන් නියෝජනය කරන දේශපාලන තීරුව මේ මොහොතේ ලාංකීය දේශපාලනයේ නොතකාහැරිය නොහැකි වැදගත් තීරුවක්ය යන්න අපගේ අදහසයි. එමෙන්ම සාධනීය දේශපාලන අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් තබා ගත හැකි එකම දේශපාලන තීරුව වන්නේත් ජවිපාවුන්ය යන්න අපගේ අදහසයි.
එමනිසා ජවිපාවුන් සමඟ වන සංවාදය සහ විටෙක අරගලය යැයි කිවහැකි සම්බන්ධතාවය නිමාවන එකක් නොවේ. ලංකාවේ දේශපාලනයේ සුභදායි අපේක්ෂා වෙනුවෙන් ජවිපාවුන් සමඟ වන අපේ ගණුදෙනුව අඛණ්ඩව සිදු කල යුතු යැයි අපි සිතමු. මේ එයට ආරම්භයක් පමණි. ඔවුන් සම්බන්ධයෙන් අපිට තිබෙන දේශපාලන විවේචන හෝ ඔවුන්ගේ ඡන්ද අඩුවීම යනා දී වූ කිසිදු කරුණක් ජවිපාවුන් සමඟ වන අපේ ගනුදෙනුවට බාධාවක් නොවන බව කිව යුතුය.
සුදේශ් ජයවර්ධන