පුරවැසි මාධ්‍යකරණයේ මේ නිමේෂය

ලෝකයේ මාධ්‍ය භාවිතාවන් පිළිබඳව වන සියලුම ක්‍රියාකාරිත්වයන් සහ අර්ථකතනයන් ගෙවුන දශකයක පමණ වන ඉතිහාසයේ සමාජ මාධ්‍ය භාවිතාවේ සිදු වූ විප්ලවයත් සමඟින් උඩු යටිකුරු වූ බව තහවුරු කිරීමට උපමා උපමේයන් යොදමින් වචන නාස්ති කිරීමට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවයකි. අපේ කාලයේ අපි දෑසින් දුටු විශාලතම ගෝලීය විප්ලවය මේ සන්නිවේදන විප්ලවය යැයි අපි සිතමු. වර්තමානය වන විට සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල රැහැන් පට වලින් සමස්ත මිනිස් ශිෂ්ටාචාරයම වෙලාගෙන තිබෙන්නේ මීට දශක දෙක තුනක අතීතයට ගොස් නැවත සිතුවොත් මෙවැන්නක් සිදුවේ යැයි සිහිනෙකින් පවා නොසිතූ ප්‍රමාණයකිනි.

ඉදින් තව දුරටත් සමාජ මාධ්‍ය වල පැවැත්ම සම්බන්ධයෙන් හෝ මේ වෙබ් අඩවි වල හිමිකරුවන් මුදල් උපයනවා ආදී වශයෙන් වූ ළදරු තර්ක සහ කතාවන් ගැන තත්පරයක් වත් කාලය නාස්ති කිරීම මෝඩ කමකි. ධනේශ්වර ලෝකයේ මිනිසුන්ගේ ආකර්ෂණය සඳහා සහ මිනිසුන් ඇද බැද තබා ගැනීම සඳහා මේ වෙබ් අඩවි වල අලෙවි අංශ ඉතා සූක්ෂමව වෙළද ප්‍රයෝගයන් භාවිතා කරන බවට හෝ එම ප්‍රචාරණ ක්‍රියාවලියේ ආකර්ෂණීය භාවය විසින් මිනිසුන් මේ වෙබ් අඩවි වෙත අබ්බැහි වන බවට හෝ කිසිදු විවාදයක් නොමැත. මේ වෙබ් අඩවි වල අපි කාලය ගත කරන තරමට මාර්ක් සකබර්ග් ඇතුළු මේ වෙබ් අඩවි වල හිමිකරුවන්ගේ බැංකු ගිණුම් තරවෙන බවත් කිසිසේත්ම අරුමයක් නොවේ.

නමුත් මෙවැනි බාල බොළඳ තර්ක මත මේ යුගයේ මිනිස් ශිෂ්ටාචාරයේ සන්නිවේදනයේ  විප්ලවීය භාවිතාව සම්බන්ධයෙන් විවේචනය කිරීමට තරම් යමෙක් ඉදිරිපත් වේ නම් ඔහු තරම් මෝඩයෙකු තවත් නැත යන්න අපගේ අදහසයි. එයින් මේ සමාජමාධ්‍ය ක්‍රියාකාරිත්වයේ පවතින සියලු අවර ගණයේ භාවිතාවන් සහ තරගකාරී වෙළඳ අරමුණු උත්කර්ෂයට නැගීමට අපි කටයුතු කරන්නේ නැත. ඒ සියල්ල සම්බන්ධයෙන් සාධනීය විවේචනයක් කරමින් වුවත් අපේ සියලු සමාජ දේශපාලන කලා සාහිත්‍ය ආදී සමස්ත ක්‍රියාකාරිත්වයන් සඳහා වඩා නිර්මාණශිලි ලෙසින් මේ මාධ්‍යයන් භාවිතා කළ යුතුය යන්න අපගේ අදහසයි.

ඉදහිට යම් සමාජ සංවාදයක් සඳහා මේ අවකාශය යොදා ගන්නා ක්‍රියාකාරීන් උදෙසා ෆේස්බුක් චන්ඩින්, ෆේස්බුක් බුද්ධිමතුන් ආදී වශයෙන් අවඥාසහගත හෙලා දැකීම් කරන වුන් සම්බන්ධයෙන් අනුකම්පා කරමින් මේ තාක්ෂණික මෙවලම අපේ ක්‍රියාකාරිත්වයන් සඳහා වඩාත් ප්‍රායෝගිකව සහ නිර්මාණශීලීව යොදා ගැනීමට අප දැනුවත් විය යුතුය යන්න අපගේ අදහසයි. මේ මාතෘකාව පිළිබඳව කථා කිරීමට මෙවැනි කෙටි ලිපියකින් සිතන්නටවත් නොහැක. නමුත් මේ සම්බන්ධයෙන් සංවාදයක් සාකච්ඡාවක් ඇරඹිය යුතුය යන්න අපේ අදහසයි. මේ ඒ සඳහා ආරම්භයක් පමණි. ඉදිරියේදී මේ පිළිබඳව අපි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *